කොරෝනා මාරාන්තික වයිරසය සම්බන්ධයෙන් තබා තිබූ ඇතැම් පුරෝකථන එකින් එක බිඳ වැටෙමින් තිබේ. අප පුවත්පතට ප්‍රකාශයක් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා තිබුණේ ‘‘කොරෝනා වයිරසය ව්‍යාප්තවීම මැඩ පැවැත්වීම සඳහා ගෙන ඇති තීන්දු තීරණ තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවය. එමෙන්ම රටේ සැබෑ තත්ත්වය එළැඹෙන 17 වැනිදායින් පසුව දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඉකුත් සෙනසුරාදා පමණක්, ඇමෙරිකාවෙන් දිනකට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1497කි. එය මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකාවෙන් මාසයකට ආසන්න කාලයක් පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව හයකි. එය වූ කලී කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහිව කඳවුරු බැඳ දිවා රෑ දෙකෙහි අඛණ්‍ඩව, අනවරතව මෙහෙයුමෙහි නියුතු සෑම පාර්ශ්වයකම කැපවීමෙන් අත්පත් කරගත් ජයග්‍රහණයකි. මෙම තත්ත්වය තවදුරටත් සවිමත්ව පවත්වා ගෙන යෑමෙන් රට මේ අඳුරු ප්‍රපාතයෙන් ගොඩගැනීම සම්බන්ධයෙන් ‘විශ්වාසය’ ජනිත කරවන්නකි.
කොරෝනා මාරාන්තික වයිරසය ආසාදනය වී තිබේදැයි පරීක්ෂා කිරීම ‘නිරෝධායනය’ ලෙස හැඳින්වේ. එය දින 14ක කාලයකට සීමා වී ඇති බවට මතයක් සමාජගතව තිබිණි. නිරෝධායන මධ්‍යස්ථානයක කාලසීමාව දින 14ක් වීම එයට හේතුවය. එහෙත් එම පුරෝකථනය දැන් බිඳ වැටී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ කොරෝනා වයිරසය ශරීරයට ඇතුළු වූ පසුව දින 10ක් වැනි කාලයක් තුළ දී රෝග ලක්ෂණ මතුවන අතර ඇතැම් පුද්ගලයන්ට දින 20ක් ගිය පසුව ද රෝග ලක්ෂණ මතු විය හැකි බවය. ඒ අනුව සැක සහිත කොරෝනා රෝගියකු දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතු අතර ඉන් නිදහස්ව ගිය පසුව තවත් දින 14ක් නිවෙසේ ස්වයං නිරෝධායනය වීම අනිවාර්ය බවය.
රට අබිමුව ඇති අනතුරේ තරම තේරුම් ගැනීමට තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. සෑම පුරවැසියකුගේම පැහැර හැරිය නොහැකි වගකීම වන්නේ මෙම අනතුරු එයට හිමි නිසි අර්ථයෙන් හඳුනා ගෙන එයට අවනතවීමය. එහෙත් ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී පැහැදිළි වන්නේ ඔවුන් මෙම අනතුර හඳුනාගෙන නැති බවය. සමාජානුයෝජනය නොවුණු ඔවුහු තකතීරු ලෙස ක්‍රියා කරති. එමඟින් තමන්ගේත් අනුන්ගේත් ජීවිත අනතුරට හෙළති. මුළු රටම කැරකොප්පුවක් බවට පත් කරති.
ඇඳිරි නීතිය පනවා තිබිය දී පුත්තලම දිස්ත්‍රික්කයේ දන්කොටුව, මෝරුක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක ඉකුත් 4 වැනිදා දහවල් දේව මෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට දන්කොටුව පොලිසිය ක්‍රියා කළ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. අත්අඩංගුවට ගත් පිරිස මෝරුක්කුලිය ප්‍රදේශය පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක් බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.
‘පණ්‍ඩිතයන් සිය දෙනෙකු සමග වාද කර ජයග්‍රහණය අත්පත් කර ගත හැකි වූවද එක මෝඩයකු සමග වාද කර ජයග්‍රහණය කළ නොහැකි බව’ අපේ ජන වහරේ කියමනකි. මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව අදහන්නවුන් මේ මොහොතේ ද එය ප්‍රදර්ශනය කරමින් සිටිති. කවර ජාතිකත්වයකට අයත් වූවද, කවර ආගමක් ඇදහුවද රටේ නිර්මාණය වී ඇති පොදු තත්ත්වය නොසලකා කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. යමකු එම පොදු නීතිය නොතකා කටයුතු කරන්නේ නම් ඔහුට උරුම කර දිය යුත්තේ මහ උළුගෙදර කල්දේරම් බතෙහි රස බැලීමය. රටේ අනාගතය වෙනුවෙන් වෙනත් විකල්පයක් නැත.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයේ දී පානීය ජලය බෙදාහරිමින් සිටී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට 15 හැවිරිදි අයකු පිහියෙන් ඇන තුවාල සිදුකර පලා ගොස් ඇති බවය. මෙම බලවයස්කරුගේ නිවෙසට පැමිණ වතුර දීමට යාමේ දී ඇති වූ බහින්බස්වීමක දී මෙම පිහි ඇනුම සිදු වී ඇතැයි ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
මේ මොහොත වනවිට සමාජය ඉතාම පැහැදිළිවම කොටස් දෙකකට බෙදී ඇත. පළමු කොටස නම් කොරෝනා මාරාන්තික වයිරසයත් සමග සෘජුව ගැටෙමින් එය තුරන් කිරීම සඳහා තම දිවි පරදුවට තබා කටයුතු කරන පිරිස්ය. සෞඛ්‍ය අංශය හා ආරක්ෂක අංශය එහිදී ප්‍රධාන වෙති. දෙවැනි කොටස නම් පොදු මහ ජනතාවය. එම පොදු මහ ජනතාවගේ පරම වගකීම වන්නේ තම දිවි දෙවැනි කොට සිය වගකීම ඉටු කරමින් සිටින පිරිස් වෙත තම නිර්ලෝභී දායකත්වය ලබාදීමය. ඉහත දෙයංශය මේ මොහොතේදී අඩපණ වූවහොත්, කළකිරීම්වලට ලක් වූවහොත් කොරෝනා මර්දන මෙහෙයුම අයාලේ යනු ඇත.
සබුද්ධික ජනයාට මේවා තේරුම් ගැනීමේ හැකියාව තිබේ. එහෙත් මුග්ධයෝ තම සිතැඟි පරිදි කටයුතු කරති. ඔවුන් වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි යන්න නොපමාවම තීරණයකට ආ යුතු තරම්ය.