ගුවනට නොයන ශ්‍රී ලන්කන් යානාවලට උපරිම ආරක්ෂාව


 

කෝවිඩ් - 19 වයිරසය ලෝ පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් වර්ගයේ යානා 27 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ගාල්කර තිබේ. එම ගුවන් යානා එකතැන ගාල්කර තැබීමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ගුවන් යානයේ ඇන්ජින් ආවරණය කර දමා තිබේ.

මෙම එන්ජින් ඉතාම සැහැල්ලු සුළං පෙති වලින් සමන්විත වන අතර ඒවා ගුවන් තොටුපොළක පවතින සාමාන්‍ය  සුළඟින් පවා අනායාසයෙන් ක්‍රියාත්මක වේ. එවන් අවස්ථාවකදී කුඩා කුරුල්ලෙකු නැතහොත් කෘමියකු මෙම ඇන්ජිම ඇතුළට රිංගා ගියද සුළං පෙත්ත ක්‍රියාත්මක වන හෙයින් සතා ඒ ඇතුළතදීම විනාශයට පත්වෙයි. අනතුරුව ඇන්ජිම නරක් වන හෙයින් ගුවන් යානා දිගු කලක් ගාල්කර තබන අවස්ථාවලදී ඒවායේ ඇන්ජිම ආවරණය කරනු ලැබේ. ගුවන් යානයේ ඇන්ජින් දූවිල්ලෙන් ආරක්ෂා කරගැනීමත් මෙම ආවරණයේ තවත් අපේක්ෂාවකි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෝකයේ රටවල් 63 කට අයත් ගමනාන්ත 147 කට පියාසර කරයි. එහෙත් කොවිඩ් - 19 වසංගත රෝග තත්වය නිසා ලෝකයේ බොහෝ රටවල ගුවන් තොටුපොළ වසා දමා ඇති අතර සම්බන්ධිත ගුවන් සේවාද නතර කර තිබේ. එබැවින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයටද සිය යානා ගාල්කර තැබීම හැර විකල්පයක් නැත.

කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහනය සහ බෙහෙත් ප්‍රවාහයන සඳහා ගුවන් යානා කිහිපයක් වරින් වර යොදාගන්නා බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික මාධ්‍ය කළමණාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

(ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල )