(හර්ෂණ තුෂාර සිල්වා)
ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ආර්ථික කටයුතුවලට සහාය දීමේ අරමුණින් ප්‍රතිපත්තිමය පොලී අනුපාත පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ඒ අනුව මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (16) හදිසි රැස්වීමක් පවත්වමින් එම තීරණය ගෙන තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.25 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.25 දක්වාත් පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යනු නිත්‍ය පහසුකම් යටතේ මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති මිලදී ගැනුම් ගනුදෙනුවලට අදාළ දෛනික පොළී අනුපාතිකය වන අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනු ශ්‍රී ලංකා මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රතිවිකුණුම් ගනුදෙනුවලට අදාළ වන දෛනික පොළී අනුපාතිකයයි.
ඊට අමතරව බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වර්තමාන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4 දක්වා අඩු කිරීමට ද මහ බැංකුව පියවර ගෙන තිබේ.
2019 වසරේ අවසාන සමයේදී අඩු අගයක පැවැති මෙරට ආර්ථික වර්ධන වේගය රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිසාත් ජනාධිපතිවරණයෙන් පසු ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ යෑම නිසාත් යථා තත්ත්වයට පත්වීමට පටන් ගත්තේ යැයි ද මහ බැංකුව සඳහන් කරයි.
කෙසේ නමුත් ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය දේශීය ආර්ථික කටයුතු කෙරෙහි අඛණ්ඩව බලපෑම් කරනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
මුල්‍ය වළෙඳපොළ තුළ කලබලකාරී තත්ත්ව ඇති කරන සමපේක්ෂණ (පසුව ඉහළ මිලකට අලෙවි කර ලාභ ලැබීමේ අරමුණින් දැන් වැඩි වැඩියෙන් මිලදී ගැනීමේ) ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් වළකින්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.
නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන බව ද එම බැංකුව සඳහන් කරයි.
පවතින අසාමාන්‍ය තත්ත්වවලට සාර්ථකව මුහුණදීම සඳහා රජයට අවශ්‍ය අරමුදල් සුමටව රැස් කිරීමට මහ බැංකුව ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද එම බැංකුව කියයි.
ගෝලීය හා දේශීය වෙළෙඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති හා නියාමන කටයුතු යනාදී පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ‘ෆෙඩරල් රිසව්’ බැංකුව සහ තවත් රටවල් රැසක මහ බැංකු පොලී අනුපාත කපා හැරීමට අද (16) පියවර ගත්තේය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටනේදී ආර්ථික කටයුතුවලට සහාය දැක්වීමේ අරමුණින් ඇමෙරිකා මහ බැංකුව සහ අනෙකුත් ගෝලීය බැංකු එම පියවර ගෙන තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා වෙළෙඳපොළ කඩා වැටී ඇති අතර ලෝක ආර්ථිකයේ විශාල කොටසක් අඩපණ වී ඇත.
යුරෝපීය මහ බැංකුව, ජපාන මහ බැංකුව ආදී ලොව මහ බැංකු රැසක් ඒකාබද්ධව මෙම පියවර ගෙන ඇති අතර මීට දශකයකට පෙර ඇති වූ ලෝක මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී ද මහ බැංකු මේ ආකාරයේ එකාබද්ධ පියවර ගත්හ.
නව කොරෝනා වයිරසය නිසා ආයෝජකයන් ද අර්බුදකාරී හා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති අතර මේ හේතුවෙන් කොටස් හා බැඳුම්කර වෙළෙඳපොළවල ද දැඩි පසුබෑමක් දක්නට ලැබේ.
පොළී අනුපාත අඩු කිරීමට මුලින්ම පියවර ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන අතර ප්‍රධාන පොලී අනුපාත බිංදුවක් දක්වා අඩු කිරීමට එම බැංකුව පියවර ගත්තේය.
නවසීලන්ත මහ බැංකුව ද වාර්තාගත ලෙස පොළී අනුපාත අඩු කිරීමට පියවර ගත් අතර මේ සතියේ වෙළෙඳපොළ කටයුතු සඳහා ආසියාවේ වෙළෙඳපොළ කටයුතු ඊයේ ආරම්භ කළේය. කෙසේ නමුත් රජයේ, බැංකු සහ වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු නොවිණි.
ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව එරට ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩි කිරීමට පියවර ගෙන තිබූ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට බ්‍රහස්පතින්දා තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.
මීට අමතරව චීන මහ බැංකුව සහ තවත් බැංකු රැසක් මේ ආකාරයේ පියවර ගෙන ඇත.
මේ අතර මේ වසර ආරම්භයේදී ඇමෙරිකානු ඩොලර් 71.75ක් ලෙස දැක්වුණු බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 30ක් දක්වා අඩු වී තිබේ.