පාකිස්තානයේ හිටපු අගමැතිට - හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා


පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට සහ එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ෂහිඩ් අෆ්රිඩිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පාකිස්තාන මාධ්‍ය සෙනසුරාදා (13) වාර්තා කළ අතර තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ෂහිඩ් අෆ්රිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු රට බවට පත්ව ඇත්තේ පාකිස්තානය යි.

පාකිස්තානයෙන් අද (14) පස්වරු 4 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,32,405ක් වූ අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 2,551කි.

ගිලානිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාකිස්තානයේ ජාතික ගිණුම් කටයුතු වගකීම් කාර්යාංශයට සහභාගී වීමෙන් පසුවය. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට මේ වනවිට 67 වැනි වියේ පසුවෙයි.
පාකිස්තානයෙන් සෙනසුරාදා දිනයේදී පමණක් නව ආසාදිතයන් 6,472 දෙනකු හඳුනාගත් බවත් එරට සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.

ටයිම්ස් ඔෆ් ඉන්දියා/ද ඉකොනමික්ස් ටයිම්ස්

ඡායාරූප – රොයිටර්