බස්තියන්ටත් පයින් යන්න වුණ දා


ඇඳිරි නීතීය ඉවත් කිරීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ජනතාව සිය දෛනික රාජකාරී හැකි පමණින් ඉටු කරගැනීමට අවශ්‍ය පියවර වහ වහා ආරම්භ කළහ.

එමෙන්ම  රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින්ගෙන් තුනෙන් එකක පිරිසකට සිය අතවශ්‍ය රාජකාරී සඳහා කාර්යාලවලට අද(11) සිට පැමිණෙන ලෙස  දන්වා තිබීමෙන් ඔවුන්ද උදෑසන සිට සිට රාජකාරී ස්ථාන සඳහා යාමට වෙහෙසෙන අයුරු දිවයින පුරා නගරවල දකින්නට ලැබිණි. එහෙත් බස් රථ නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අයුරුද දකින්නට ලැබිණි.

රාජකාරියට වාර්තා කිරීම අවශ්‍ය යැයි පෙන්වා දී තිබුණද වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නිර්දේශය මත පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට අවසර දී තිබුණේ අත්‍යවශ්‍ය සේවාවල සේවක සේවිකාවන්ට පමණි. පෞද්ගලික ආයතන සහ වෙනත් රජයේ හා සංස්ථා වල සේවකයෝ ප්‍රවාහන පහසුකම් නොමැතිව මහත් සේ රස්තියාදු වන ආකාරය මෙන්ම ඇතැම් බස් නැවතුම්පොළවල සීමා රහිතව මගීන් රැදී සිටිනු අයුරුද දකින්නට ලැබිණි. එය යම් ආකාරයකින් ජනතාවගේ සෞඛ්‍ය තත්වයටද ගැටළුවකි.

මීරීගම දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත්වූ දුම්රියේ මගීන් 84 කට පහසුකම් සුදානම් කර තිබුණද එහි පැමිණියේ මගීන් 35 දෙනකු පමණි. ඉතිරි ආසන 49 ම හිස්ව පැවතියේය.  හලාවත සිට කොළඹ ආ කෝච්චියේ සිටියේ මගීන් 8 දෙනකු පමණි.
කෙසේ වෙතත් මේ වන විට  සෞඛ්‍ය අංශ  නිර්දේශ කර ඇත්තේ තවත් සති දෙකක් පමණ ගත වන තුරු පොදු ප්‍රවාහන සේවා කටයුතු ආරම්භ නොකරන ලෙසයි.

සේවා ස්ථාන වෙත යාමේ අපේක්ෂාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මගීන් රැඳී සිටි ආකාරය පහත ඡායාරූප වලින් දැක්වේ.

(අනීෂා මානගේ - තංගල්ල)