රොමානියාවේ කොරෝනා රෝහලක ගින්නකින් 10ක් මරුට


රොමානියාවේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් 10 දෙනකු පමණ මියගොස් තවත් කිහිපදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඊසාන දිග පියත්‍රා නියම්ට් නගරයේ පිහිටි රජයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගින්න හටගෙන තිබේ.

රෝගීන් බේරාගැනීමට උත්සාහ කළ එක් වෛද්‍යවරයෙකු ද ගින්නෙන් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසේ.

තුවාලලත් වෛද්‍යවරයා හමුදා ගුවන් යානයකින් බුකාරෙස්ට් අගනුවර රෝහලකට ගෙනගොස් ඇත.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය නෙලූ ටාටාරු පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රෝහලේ ප්‍රථිකාර ලබන අනෙකුත් කොවිඩ් රෝගීන් ඉයාසි නගරයේ රෝහලකට මාරුකර යැවූ බවයි.

යුරෝපීය රටක් වන රොමානියාවෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 350,000ක් පමණ වාර්තාවී ඇති අතර මරණ 8,813ක් සිදුවී තිබේ.

දැඩි සත්කාර ඒකක වල රෝගීන් 1,149ක් පමණ ප්‍රතිකාර ලබයි.


(බීබීසී ඇසුරිණි - 085)