ලෝක වසංගත රෝ බියකින් මුළු ලොවම ඔත්පළව තිබිය දී සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සුබ නැකතින්, සුබ මොහොතින් අනිද්දායින් උදා වේ. මරණ බිය රැගෙන පැමිණි කොරෝනා මාරාන්තික උවදුරේ සැහැසි ග්රහණයෙන් මුළු ලොවම නිදහස්ව නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා යන පරම රමණීය ප්‍රාර්ථනාව පෙරදැරිව අලුත් අවුරුද්ද දෝතින් පිළිගැනීමට අපි පෙළ ගැසෙමු.
සෞභාග්‍ය හා සන්තුෂ්ටිය සම්බන්ධ පැහැබර සජීවි සලකුණ වූ බක් මාසය මළකුණු ගණන් කරන තවත් මළවුන්ගේ මාසයක් බවට පත්ව තිබේ. එරබදු මලින් හැඩවෙන කොවුල් නාදයෙන් පිනවෙන බක් මාසය දුක් තැවුල් සාංකාවන් පිරී ගත් පාළු සෝබර සන්තාපයන්ගෙන් පිරී ගොස් තිබේ. ලෝක පරිමාණයෙන් උද්ගතව ඇති මහා ව්‍යසනය හමුවේ ලෝක සිතියමේ අබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයින ද බරපතළ ගැටලුවකට මුහුණ පා තිබේ. මේ මොහොත එයට හිමි නිසි බරින් හඳුනා ගනිමින් බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම්, මග වැරදුණු අවුරුදු කුමාරයාට කල් පසුව හෝ වැඩමවන්නට පාවාඩයක් එළිය හැකිවනු ඇත.
දොළොස් මසින් සපිරුණු කැලැන්ඩරයේ අප්‍රේල් මාසය හෙවත් බක් මාසය සුවිශේෂීය. බක් මාසය යන්නෙන් අර්ථවත් වන්නේ ද සෞභාග්‍යය වේ. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සුබ නැකත අනාදිමත් කාලයක් පුරා රටට සැණකෙළි සිරිය ගෙනාවේය. කපා ගත් අස්වනු වලින් ගෙපැල පිරී ගියේය. තුරු ලතා හා පලබර විය. මලින් පමණක් නොව අලුත් දලුපත්වලින් ද තුරු ලතා සැරසී ගත්තේය. විවේකී සුවය අත්විඳින ජනයා එකිනෙකා අතර ඇති සබඳතා අලුත් කර ගත්හ. වැඩි වර්ධනය කර ගත්හ. ඒ වෙනුවෙන්ම ඇති ජන ක්‍රීඩා ද අලුත් අවුරුදු උත්සව ද ගම් නගර නියම් ගම් ජනපද මගුල් සිරියෙන් පුරවාලුයේය. අලුත් අධිෂ්ඨාන සමගින්, අලුත් බලාපොරොත්තු පැතුම් ප්‍රාර්ථනා සමඟින් අලුත් ජීවිතයට අලුත් හුස්මක් රැගෙන ආවේ මේ බක් මාසයමය.
කරුණු කාරණා එපරිදි වූවද මේ බක් මාසය අඳුරුය. මරණ භීතිය අවුළුවාලමින් තිබේ. නෙත දකින දසුනක, කන වැකෙන පුවතක රැඳී ඇත්තේ සිතේ ප්‍රීතිය පලවා හරින දුක්ඛ දෝමනස්සයන් රැගෙන එන හැඟීම්ය. හාත් පස පරිසරයේ නිදැල්ලේ හැසිරුණු ජනයාට සිය නිවෙස්වලම රැඳී සිටීමට සිදුවී තිබේ. නෑ මිතුරු සබඳතා දුරකතන ඇමතුමකට සීමා කර ගැනීමට සිදු වී තිබේ. මේ සියලු තත්ත්වයන් තව කොතෙක් කලකට දරා ඉවසා සිටීමට සිදුවේද යන ප්‍රශ්නාර්ථය තුළ රැඳී ඇත්තේ අවිනිෂ්චිතභාවය සම්බන්ධ හිස් හැඟීම පමණි. මිනිසුන් ජීවත් කරවන්නේ බලාපොරොත්තු බව සැබෑවක් වුවද මේ ගොරබිරම් පරිසරය තුළ අහිමිව ගොස් තිබෙන්නේ ද බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාවය. බලාපොරොත්තු අහිමි වූ කල ජීවිතයක් නැත. සැබැවින්ම මේ මොහොතේ ලෝක වාසී සකල ජනී ජනයාත් ඔබත් මා ද ඇතුළුව සියල්ලන්ටම හිමි වී තිබෙන්නේ බලාපොරොත්තු නැති හෙයින් ‘ජීවිතය’ අහිමි ජීවිතයක්මය.
එළැඹ ඇති මොහොත එළැඹ ගත් සිහි නුවණින් මෙනෙහි කර ගත යුතුය. තත්ත්වය බැරෑරුම්ය. බිහිසුණුය. එහෙත් එය සදාකාලික ද තාවකාලික ද යන්න තීරණය කිරීමේ අසමසම බලය මහජනයා සතුය. යුද්ධයකදී අපි උණ්ඩය වෙත නොයමු. උණ්ඩය අප වෙත එයි. වසංගතයකදී අප වසංගතය කරා නොගිය ද වසංගතය අප කරා පැමිණෙයි. එහෙත් කොරෝනා මාරාන්තික වයිරසය එනයින් ගත් කල්හි සම්පූර්ණයෙන්ම වෙනස්ය. කොරෝනා මාරාන්තික වයිරසයට අප වෙත පැමිණිය නොහැක. අප ආක්‍රමණය කළ නොහැකිය. කොරෝනා මාරාන්තික වයිරසය සොයා යෑමේ හැකියාව තිබෙන්නේ අපටමය. අප ඒ ගමන යෑමෙන් පමණක් කොරෝනා අප වෙත පැමිණේ. නිවෙසේම රැඳී සිටින්නැයි උපදෙස් දී ඇත්තේ එහෙයිනි.
තත්ත්වය නිවැරැදිව තේරුම් නොගැනීම හෙවත් නොදන්නාකම විනාශය වළක්වා නැති බව ඉතිහාසයේ පාඩමය. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීමෙන් ද විනාශය වළක්වන්නේ නැත. විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම තවදුරටත් යාවත්කාලීන කරන්නේනම් තමාගේ මිනීවළ තමාම කපා ගැනීමේ අයිතිය පවරා ගැනීමකි.
අවධාරණය කළ යුතු කාරණයක් තිබේ. මේ මොහොතේ කිසිවකුට තමන්ට සිතැඟි පරිදි කටයුතු කිරීමට නිදහසක් නැත. නිදහස හා වගකීම හා සමාන්තරව නොයෙදෙන වචන දෙකක් විය හැකි නමුදු වගකීමෙන් තොර නිදහස බොහෝ අතුරු ආන්ත්රාවන් නිර්මාණය කර දී ඇති බව පරම සත්‍යයට අයත්ය. දුස් නැකැත් තුරන්ව නැවුම් පැතුම් රැගෙන පමා වී හෝ අවුරුදු කුමාරයා ගමට වඩම්මන්න නම් ඔබ නිවෙසටම වී කාලය ගත කළ යුතුය. එවිට එරබදු මල් පිපෙනු දැකිය හැකිය. කොවුල් නදට සවන් දිය හැකිය. ජීවිතයට බලාපොරොත්තු පෙරදැරිව අලුතෙන් මුහුණ දිය හැකිය.