‘කොවිඩ්-19’ වසංගතය මුළු ලෝකයටම අභියෝගයක් වී අවසන්ය. බොහෝ රටවල් ‘කොවිඩ්-19’ වසංගතය හමුවේ අන්ත අසරණ වී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ අපි ද ඊට එරෙහිව සටන් වැද සිටින්නෙමු. මෙරට සිටින පුරවැසියන් ආරක්ෂා කරගැනීමට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතරම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් කෙරෙහිද සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට බලධාරීහු පියවර ගත්හ.
තානාපති සේවාව හරහා එම ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යෑමට ආණ්ඩුවත් අදාළ බලධාරීනුත් ගන්නා වෙහෙස අමතක නොකළ යුතුය. මේ අවස්ථාවේ මෙම ක්‍රියාදාමය වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සහ විදේශ දූත මණ්ඩල ඉටු කරමින් සිටින්නේ අතිශය භාරදූර වගකීමකි. ඒ සම්බන්ධව පැහැදිලි කරගැනීම ද මේ මොහොතේ වැදගත් ය.
“මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිලිය. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලවලට එක් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් සම්බන්ධ කරගත හැකි නිසාත් ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් අප තානාපති කාර්යාල ගත හැකි සෑම පියවරක්ම ගන්නා නිසාත් මෙසේ පීඩාවට පත්වීමට හේතුවක් නැත. විශාල ආපදාකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකා රජය ඔබගේ දරුවන් හා හිතෛශීන් වෙනුවෙන් පෙනී සිටින බව අපි පැහැදිලිව කිවයුතුය.
විදේශ සබඳතා අමාත්‍යංශය ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය පිළිබඳ පසුවන්නේ නිරන්තර විශ්ලේෂණයකිනි. ඒ අතරම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ පෙර සූදානමකින් පසුවන බවද කිව යුතුය. එසේම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ උද්ගත වන ගැටලු සහ අභියෝගවලට මුහුණදීමට අවශ්‍ය පසුබිමද අප මේ මොහොතේ සිට සකස් කරමින් පවතී”.
කෝවිඩ් 19 වයිරසය ලොව පුරා ව්‍යාප්ත වන විට එම වයිරසය නිසා ශ්‍රී ලංකාවට එල්ල වෙන බලපෑම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ හේතුවෙන් උද්ගතව ඇති ගැටලුවලට මුහුණදීම සඳහා විදේශ සබඳතා අමාත්‍යංශය සහ විදෙස් දූත මණ්ඩලයන්ගේ කාර්යභාරය, ඒවායේ දායකත්වය සහ පෙර සූදානම සම්බන්ධයන් පැහැදිලි කර ගැනීම අවශ්‍යය.
“ලෝකයේ විවිධ ප්‍රදේශවල මෙම ‘කෝවිඩ් 19’ වයිරසය නිසා නිසා උද්ගතව ඇති ගැටලු විවිධාකාරය. උදාහරණ ලෙස දකුණු ආසියාවේ රටවල විශාල ශ්‍රී ලාංකික සිසු පිරිසක් සිටිති. ඒවගේම ශ්‍රී ලාංකික ආයෝජකයෝද මේ රටවල විසිරී සිටිති. වර්තමානයේ ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමය.
අපි මැදපෙරදිග දෙසට යොමුවුවොත් එහි සේවය කරන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 පමණය. ඔවුන් දැන් මුහුණදෙන්නේ සිය රැකියාව අහිමිවීම සහ ඉන් පසු ජීවතය ගෙනයාම කියන ගැටලුවලටය. යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ වෙසන ලාංකිකයෝ සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවට පත්වෙලා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන අපි ‘කන්ටැක්ට් ලංකා’ කියන වෙබ් පිටුව නිර්මාණය කළෙමු. අපගේ අරමුණ මිලියන 2.6 පමණ වන විදෙස්ගත ලාංකිකයන් සමග සෘජුව සම්බන්ධවීමයි. ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමය.
මෙම වෙබ් පිටුව පසුගිය මාර්තු 26 වැනිදා දියත් කළ පසු මේවන විට එහි ලියාපදිංචි වී සිටින පිරිස 45,770 කි. ඒ හරහා අපට විදෙස්ගත ලාංකිකයන්ගේ සමහර ගැටලු පැය කිහිපයක් ඇතුලත විසඳීමට හැකියාවක් ලැබුණි. පසුගිය දිනවල එවැනි සිදුවීම් රැසක් වාර්තා වුණි.”
“මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරණක් වන්නේ මැදපෙරදිග සේවය කරන අපගේ විදෙස් ශ්‍රමිකයන් අප වෙනුවෙන් ඉටුකරන වැදගත් මෙහෙවෙරයි. මේ මොහොතේ අපි ඔවුන් වෙනුවෙන් ලබාදෙන අවධානය අන් අයට වඩා අඩුය යන හැගීම කිසිසේත්ම ඔවුන්ට ඇති නොවිය යුතුය.
ඔවුන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතා හරහා අපට කළ හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී පැහැදිලිව ප්‍රකාශ කිරීමට කැමතිය. ඒවගේම ශ්‍රම සංක්‍රමණ සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානය සහ කරිටාස් වැනි සංවිධාන, මැදපෙරදිග වෙසෙන රැකියා අහිමිවී ඇති පිරිස්වලට යම් සහාය දක්වන වන බව වාර්තා වී තිබේ. මෙලෙස ගැටලුවලට මුහුණපා සිටින සමහර ලාංකිකයන් නීත්‍යනුකූල වේවා, නීති විරෝධි වේවා, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකිය යුතුය. එම රටවල මෙම ශ්‍රී ලාංකිකයන්ට සැලකීමක් නොලැබෙන්නේ නම් අපි ඒ සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කළ යුත්තෙමු. ඒ සඳහා පෙර සූදානමින් කටයුතු කළ යුතුය.
ලංකාවේ ‘කෝවිඩ් 19’ වසංගත රෝගී තත්ත්වය සමනය වන තුරු තමා රැදී සිටින රටෙහිම රැදී සිටින ලෙස ලංකා රජය කළ ඉල්ලීම සහ එයට විදෙස්ගත ලාංකිකයන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය.
අපට මේ වන විට ලෝකයේ විසිරී සිටින ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබේ. ඔවුන් නැවතත් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජය මේ මොහොතේ පැහැදිලි ස්ථාවරයක සිටින බව කිව හැකිය. එම නිසා මම මගේ දූතමණ්ඩල ප්‍රධානීන්ට දන්වා සිටියේ මේ මොහොතේ අපට ඉටුකළ නොහැකි පොරොන්දු ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදෙන ලෙසය.
මේ මෙහොතේදී වඩාත්ම වැදගත් කාර්ය වන්නේ ලාංකිකයන්ට මුහුණදීමට සිදුව ඇති අපහසුතා සමනය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමය. එය අපි සෑම කෙනෙක්ම අවබෝධ කර ගත යුතුය. එනමුත් විදෙස්ගත ලාංකියන්ට අප පැහැදිලිව පවසන්නේ විශාල ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගතවුවහොත් ශ්‍රී ලංකා රජය ඔවුන් ඉන් ගලවා ගැනීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බවය. මට ඒ ගැන විස්වාසයි.
වූහාන්වල සිසුන් සහ ඉන්දියාවේ සිටි වන්දනා පිරිස් ගෙන්වා ගත් ආකාරයට අවශ්‍යතාව අනුව අනෙකුත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා බව කිව යුතුය.
ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවිය හැකි ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද ඇති කරුණු මේ මොහොතේ අමතක නොකළ යුතුය.
අද දිනයේ උද්ගතව ඇති තත්ත්වයට මුහුණදෙමින් හෙට දවස සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව ද අප සිතිය යුතුය. වර්තමානයේ අපට ඉහළින් ඇදෙමින් ඇති අඳුරු වලාවන් පරදා ඉන් පිටතට පැමිණිය හැක්කේ එලෙස සැළසුම් සහගතව කටයුතු කිරීමෙන් පමණි.
විදේශ සබඳතා අමාත්‍යංශයේ ආර්ථික කටයුතු අංශය මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් යුතුව මේ වනවිට කටයුතු කරමින් සිටී. ඔවුන් මෙම කටයුතු සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක අමාත්‍යංශය සහ ආයෝජන මණ්ඩලය හා එක්වී සිටී. මෙහිදී වැදගත් වන ආර්ථික සාධකයක් තමයි ‘ඉල්ලුම’. වර්තමානයේ යම් භාණ්ඩයක ඇති ඉල්ලුම පහළ යන්නේ එම භාණ්ඩය විකුණා ගැනීමට හැකිවේද නොව්ද යන චකිතය හේතුවෙනි. මෙම චකිතය මේ අවස්ථාවේදී ලෝකය පුරා පවතින තත්ත්වයකි. ඒ නිසා අපි මෙම යථාර්ථයටද මුහුණ දිය යුතුය.
තේ වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන වෙත මෙම අවස්ථාවේදී ඇතැම් රටවල්වලින් වැඩි ඉල්ලුමක් තිබේ. ඒවගේම අපි සාම්ප්‍රදායිකව නිෂ්පාදනය නොකළ භාණ්ඩ සඳහා ද මේ වන විට විශාල ඉල්ලුමක් ලැබී තිබේ. විශේෂයෙන්ම මුහුණු හා සිරුර ආවරණ සැපයීම සඳහා අපගේ නිමි ඇදුම් නිෂ්පාදකයන් වෙත ඇණැවුම් ලැබී තිබේ. අපි මෙම ඉල්ලුම සම්බන්ධයෙන් පෙර සූදානමකින් පසු වුණෙමු. එනිසා අපට මෙම අවස්ථාවෙන් සාර්ථක ප්‍රයෝජන ගැනීමට හැකි වී තිබේ.
ඒ වගේම මේ මොහොත වන විට විදේශ සංචාරකයෝ 15,000 පමණ ලංකාවේ රැදී සිටිති. ඔවුන් ලංකාව පිළිබදව ලබාදෙන ප්‍රතිචාරය ද ඉහළය. පසුගිය දිනක බීබීසී පුවත්සේවයට එසේ රැදී සිටින විදේශිකයකු ලබාදුන් සාකච්ඡාව ඔබට මතක ඇති. එයට ලැබුණු ධනාත්මක ප්‍රතිචාර අපට මුදල් ගෙවාවත් ලබා ගැනීමට හැකියාවයක් නැත. එම විදේශිකයා විඩියෝව හරහා ලංකාව පිළිබදව ලෝකයට විශ්වාසයක් සහ ධනාත්මක සහතිකයක් දුන්නේය”.
මේ අවස්ථාවේදී විදෙස්ගත ලාංකිකයන්ගෙන් අපට ලැබී ඇති සහාය අගය කළ යුතුය. ‘කෝවිඩ් 19’ අරමුදලට ඔවුහු සිය උපරිම දායකත්වය දක්වමින් සිටිති. ඒවගේම ඔවුන් අපට අවශ්‍ය වෛද්‍ය ආම්පන්න ලබා දෙමින් සිටින බව කිවයුතුය. මම මෙවන් දායකත්වයන් තව තවත් ලබාදෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි. එසේම අපගේ මිත්‍ර රාජ්‍ය වෙතින්ද ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේදී මූල්‍යමය හා ද්‍රව්‍යමය සහාය ලබාදෙන ලෙසය. එසේම අපගේ ණය වාරික ගෙවීමට ඇති දින වකවානු වෙනස් කිරීම සඳහා සාකච්ඡා කිරීම ආදියද මේ අවස්ථාවේ සිදු කෙරෙමින් පවතී. එවන් සහන සැලසිය හැකි උපරිමයෙන් සලසන ලෙස ද මම ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
‘කෝවිඩ් 19’ වයිරසය පිළිබදව චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් මුලින්ම කරණු හෙළිවන අවස්ථාවේදී මෙම වයිරසයේ ක්‍රියාකාරීත්වය පිළිබදව අප දැන සිටියේ නැත. එනමුත් ඉන් උද්ගතවූ තත්ත්වයට මුල සිටම මුහුණ දුන්නේ චීනයේ තිබෙන අපගේ තානාපති කාර්යාලය සහ කොන්සල් ජෙනරල් කාර්යාලයි.
අලුතින් උද්ගතවූ මෙම තර්ජනයට මුහුණදුන් මුල්ම ශ්‍රී ලාංකික පිරිස වූ වූහාන් ප්‍රාන්තයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසත් ඉන්පසුව වයිරසය පැතිරීයන අවස්ථාවේ චීනයේ සිටි අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසත් මෙරටට ගෙන්වා ගැනීමට මූලික වූයේ මෙම විදේශ දූත මණ්ඩලය. ඔවුන්ව මෙම අවස්ථාවේ වීරයන් ලෙස සලකන්නේ එනිසාය. ආපදා අවස්ථාවකදී මෙවන් කාර්යභාරයක් ඉටුකිරීම ඕනෑම තානාපති කාර්යාලයක මූලික වගකීමකි. එනමුත් මෙම අවස්ථාවේදී අපට මුහුණදීමට සිදුවූ තත්ත්වයට මීට පෙර මුහුණදී නැත. අපි එදා චීනයේදී මුහුණදුන් තත්ත්වය අද වන විට ලෝකය පුරාම ඇති වී තිබේ.
මෙම කාර්යයේදී අපි කෙතරම් සාර්ථකද යන්න කාලයා විසින් අපට පවසනු ඇත. මෙම මොහොතේදී විදේශ සබඳතා අමාත්‍යංශය ලෙස අපිට කළ හැකි සියලු කාර්ය එනම් මෙම තත්ත්වයට මුහුණදී කටයුතු කිරීම, අනාගතයේ ඇති විය හැකි තත්ත්වයට පෙර සූදානමකින් පසුවීම, මෙන්ම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ ඇති විය හැකි අභියෝග ජය ගැනීමට සූදානම් වීම ආදිය සඳහා කැපවී කටයුතු කිරීමට අපි සූදානමකින් සිටින්නෙමු.
රවිනාථ ආර්යසිංහ මහතා විසින්
එවන ලද ලිපියක් ඇසුරිනි