සංචාරකයින්ට රක්ෂණ ක්‍රමයක්


(තිළිණි ද සිල්වා)

කොරෝනා වසංගතය පාලනය කර රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සියලු සංචාරකයන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එලෙස මෙරටට පැමිණෙන සංචාරකයන්ට කොවිඩ්-19 වයිරසය සදහා රක්ෂණ ආවරණයක් ද හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සංචාරක අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සංචාරකයන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රක්ෂණ ආයතන නියොජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සංචාරක අමාත්‍ය කර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කළේ පුද්ගලික හා රාජ්‍ය දෙඅංශයටම ගැලපෙන පරිදි මෙම රක්ෂණ ක්‍රමය සකසන බවය.

සංචාරකයන්ට රට විවෘත කළ හැක්කේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව බවත් පෙන්වා දුන් ඇමතිවරයා සංචාරකයන්ට රට විවෘත කිරීමට හැකි වූ දිනයක ඔවුන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය  ප්‍රායෝගික වැඩපිළිවෙළ සැකසීමට රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සංචාරක ව්‍යාපාරයේ නිරත ලක්ෂ ගානක් පීඩාවට පත්ව සිටින අතරම කොවිඩ්-19 වසංගතය පාලනය කර රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසුව රටට සංචාරක ආකර්ෂණය ඇති කරගැනීමේ වැඩපිළිවෙළ යටතේ සංචාරකයින්ට  රක්ෂණාවරණ ලබා දීම එහි  එක් වැඩසටහනක් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කණ්ඩායම් වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවත්, දැනටමත් මේ පිළිබඳ විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවද කීවේය.

අමාත්‍යංශ ලේකම් එස් හෙටිටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරයේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මිකා විජේරත්න සහ රාජ්‍ය හා පෞද්ගලික රක්ෂණ සමාගම් ප්‍රධානීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්වූහ.