56 විප්ලවයේ මුණසිංහ ලකුණ


 

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ යුග පෙරළියක් හැරවුම් ලක්ෂ්‍යයක් ඇතිකිරීමට සමත් වූ සිංහල මහා සභාව ආරම්භ කළේ 1934 වසරේ මැයි මාසයේ 19 වැනිදාය. 


පිටකොටුවේ බෞද්ධ මන්දිරයේ දී ආරම්භ වූ සිංහල මහා සභාවේ සමාරම්භක සභාපතිවරයා ලෙස තේරී පත් වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. 


සිංහල මහාසභාවේ පළමු මහා සම්මේලනයක් පවත්වනු ලැබුවේ හලාවත මාදම්පේ දී වන අතර එය ඉතිහාසයට එක් වී ඇත්තේ මාදම්පේ සම්මේලනය යන නමිනි. 


මෙම සම්මේලනය පවත්වා ඇත්තේ 1951 වසරේ ජුලි මස 9 වැනිදා මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට යාබදව එවකට පිහිටා තිබූ ශාලාවකය. 


සිංහල මහා සභාවේ ප්‍රථම සම්මේලනය පැවැත්වු ශාලාවේ හිමිකරු වූයේ ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතාය. ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා හලාවත සහ මාදම්පේ ඇතුළු ප්‍රදේශවල ජනතාව හැඳින්වූයේ ජිම් මුණසිංහ කියන නමින්ය. 


ඒ වන විට සිංහල මහා සභාවේ භාණ්ඩාගාරික තනතුර දැරූ මුණසිංහ මහතා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ රජයේ කර්මාන්ත හා ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ධීවර අමාත්‍යරවයා ලෙසද කටයුතු කරනු ලැබීය. 


මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලයට යාබදව පිහිටි ශාලාවක පැවති සිංහල මහා සභාවේ ප්‍රථම සම්මේලනයේදී පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් සම්මේලනය මෙහෙයවා ඇත්තේ ද මුණසිංහ මහතා විසිනි. 


සම්මේලනයේ මුලසුන හොබවන ලද්දේ බණ්ඩාරනායක මහතාය. 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ, ජෝර්ජ් ආර්. ද සිල්වා, ශ්‍රී නිශ්ශංක, ඒ. පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, ඩී. එස්. ගුණසේකර, සිරිපාල සමරක්කොඩි යන මැති ඇමතිවරුන් සහ පූජ්‍ය කළුකොඳයාවේ ප්‍රඥාසේකර මහ නාහිමියන් උගත් බුද්ධිමත් යතිවරුන්, මුනිදාස කුමාරතුංග, පියදාස සිරිසේන හා ආනන්ද රාජකරුණා වැනි පඬිවරුන්ද සිංහල මහා සභාවේ මාදම්පා සම්මේලනයට සහභාගී වූ අය අතර සිට ඇත. 


සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පත්කර ගත යුතුව ඇතැයි කියන යෝජනාව ඇතුළු රටට ජාතියට හිතකර වැදගත් යෝජනා ගණනාවක්ම සම්මත කරගනු ලැබුවේ මෙම මාදම්පා සම්මේලනයේදීය. 


මාදම්පා සම්මේලනයේ සම්මතකර ගත් යෝජනා ක්‍රියාත්මක කිරීමට අවකාශය සැලසුණේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායක්තවයෙන් 1951 සැප්තැම්බර් මාසයේ 2 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමෙන් පසුවය. 


සිංහල මහා සභාව පිහිටුවීමේ සිට පංච මහා බලවේගයක් යටතේ ජනතාවාදී රජයක් පිහිටුවීමට පුරෝගාමී මෙහෙවරක නිරත වූ බුද්ධිමතුන් සහ පඬිවරුන් අතරේ සිටි ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ එහෙමත් නැත්නම් ජිම් මුණසිංහ මහතා මාදම්පේ ඉරට්ටකුලම මැදවලව්වත්තේ ප්‍රැන්සිස් මුණසිංහ හා ඇන්ජලිනා මුණසිංහ යුවළට දාව උපත ලබා ඇත්තේ 1911 වසරේ පෙබරවාරි මාසයේ 21 වැනිදාය. 


සහෝදරයින් හතර දෙනෙකුගෙන් හා එක් සහෝදරියකගෙන් යුත් පවුලේ තුන්වැනියා වූයේ ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතාය. 
ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ තරුණයා ඉගෙනුම ලැබුවේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි. 


සොහොයුරන් ප්‍රසිද්ධ නීතිඥවරුන් බැරිස්ටර්වරුන් වෙද්දී ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා දේශපාලනය කිරීමට පිවිස ඇත්තේ අවුරුදු 18 දී තරම්ය. 


ඔහු දේශපාලනය කිරීමට ආවේ මිල මුදල් හරි හම්බ කිරීමට නම්බුනාම හෝ බලතල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නම් නොවේ. වැදගත් පවුල් පසුබිමක් තිබූ මුණසිංහ පරම්පරාව වලව්කාරයෝ විය. 


ඒ නිසාම ප්‍රදේශයේ ජනතාව ඔහුව ආමන්ත්‍රණය කළේද මුණසිංහ හාමු කියා වුවත් නම අගට හාමු කියා දමා කතා කිරීමට ඔහු රිස්සුවේ නැත. 


තමාට හාමු කියා කතා නොකරන ලෙස එසේ කියන සෑම කෙනෙකුටම ඔහු පවසා ඇත්තේ ඒ නමට තිබූ බලවත් අකැමැත්ත නිසාමය. 


එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ද වලව් සංස්කෘතිය අතහැර පොදු ජන යුග මෙහෙවරක් කිරීමට දේශපාලනයට පිවිසෙද්දී ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා ද වලව් සංස්කෘතියට පයින් ගසා බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එක්වූයේ පොදු ජනයාගේ සුබසිද්ධිය වෙනුවෙන් ඇප කැප වීමේ ඒකායන අරමුණිනි. 


එයින් එහා ගිය කිසිදු අරමුණක් මුණසිංහ මහතාට නොතිබුණ බව ඔහුගේ ජීවන චරිතය අධ්‍යයනය කිරීමේදී ඕනෑ තරම් සාධක සොයා ගත හැකිය. 


වලව් සංස්කෘතිය අතහැර දමා අවුරුදු 18 දී මුණසිංහ මහතා දේශපාලනයට පිවිස ඇත්තේ ඔහුගේ මව්පියන්ගේ දැඩි විරෝධය මැද්දේය. 


මව්පියන්ට ඕන වී තිබුණේ ඔහුද විදේශයකට යවා වික්ටර් මුණසිංහ මෙන් බැරිස්ටර්වරයෙකු කිරීමටය. 


විදේශ අධ්‍යාපනය ලබා බැරිස්ටර්වරයකු වී මෙරටට පැමිණ යහමින් මුදල් හම්බ කිරීමට මුණසිංහ තරුණයාට ඕනෑ තරම් හැකියාව තිබුණත් ඔහු පොදුජන හිතසුව පිණිස දේශපාලනයට පිවිසියේය. 


මාදම්පේ සුළු නගර සභාව පිහිටුවීමට මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇති මුණසිංහ මහතා 1947 වසරේ එම නගර සභාව ස්ථාපිත කරන විට එහි මුල්ම සභාපතිවරයා ලෙසද පත්වන්නේ ජනතාව ලබා දුන් ඡන්දයෙනි. 


මාදම්පේ සුළු නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ මුණසිංහ මහතා ගම් ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර ඇති බව එහි සභිකයෙක්ව සිටි 73 හැවිරිදි වියේ පසුවන නෙල්සන් දිසානායක මහතා පවසයි. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති මුණසිංහ මහතා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ හිත දිනාගෙන සිටි ඔහුගේ සමීපතම විශ්වාසවන්තයෙක් ද සිට ඇත. 


1952 වසරේ පැවති මහා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වශයෙන් හලාවත මැතිවරණ කොට්ඨාසයට තරග කළ මුණසිංහ මහතා එම ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාව සිටි ෂර්ලි කොරයා මහතාව පරාජය වූයේ ඡන්ද 54ක් වැනි සුළු සංඛ්‍යාවකිනි. 


ෂර්ලි කොරයා ඇමතිවරයා ඡන්ද 12,271කින් පරදවා මුණසිංහ මහතා 1956 මහ මැතිවරණය ජයග්‍රහණය කළේය. 


එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවේ කර්මාන්ත සහ ධීවර උපඇමතිවරයා ලෙස මුණසිංහ මහතා පත්විය. 


ආණ්ඩු පක්ෂය් ප්‍රධාන සංවිධායකවරයා වූයේද මුණසිංහ මහතාය. පිලිප් ගුණවර්ධන සහ විලියම් සිල්වා යන ඇමතිවරුන් දෙදෙනා ඇමතිධුරවලින් ඉවත් කිරීම නිසා ඇති වූ ඇමති මණ්ඩල සංශෝධනයේ දී මුණසිංහ මහතා කර්මාන්ත හා ධීවර ඇමති පදවියට පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා විසිනි. 


අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා සාහසිකයකුගේ වෙඩි උණ්ඩයකට ගොදුරු වී අභාවප්‍රාප්ත වූ පසු බලයට පත් විජයානන්ද දහනායක මහතා 1960 ජනවාරි මස 06 වැනිදා මුණසිංහ මහතා එම තනතුරින් ඉවත්කර ඇත. 


ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සඳහන් කර ඇත්තේ මෙසේය. 


ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා අවුරුදු විස්සකටත් අධික කාලයක් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සමග උරෙන් උර ගැටී කටයුතු කරමින් එතුමාගේ දේශපාලන සටන්වල නිරත විය. තවද අප නායක බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සිංහල මහා සභාවේ භාණ්ඩාකාරික තනතුර දරමින් සිංහල ජාතියේ සංස්කෘතිය හා සහ්‍යත්වය ද ජාතික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට පුරෝගාමී මෙහෙරවක් කළේය. 


1956 මහා මැතිවරණයේදී විජයග්‍රහණය කළ බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක හා කර්මාන්ත හා ධීවර ඇමතිවරයාවූ මුණසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. පක්ෂයේ ප්‍රධාන ලේකම් හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු දරමින් අප අසහාය නායකයාට සම්පූර්ණ සහාය දෙමින් හා එතුමාගේ මැද පිළිවෙත පිළිගනිමින් මුලු රටටත් ස්වකීය ආයතනයටත් අවංකව සේවය කළේය යනුවෙන් ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඒ ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කර ඇත. 


අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු බලයට පත් විජයානන්ද දහනායක මහතා විසින් 1960 ජනවාරි මස හය වැනිදා ඉවත් කළ මුණසිංහ මහතා එම වසරේම මාර්තු 19 වැනිදා පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හලාවත ආසනයට තරග කර ජයග්‍රහණය කළේය. 


එම මැතිවරණයෙන් මුණසිංහ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවත් එම පාර්ලාමේන්තුවේ ආයු කාලය දින තිස් තුනකට පමණක් සීමා වූ නිසා මුණසිංහ මහතාගේ මන්ත්‍රීධුරයද අහිමි වී ගියේ දෛවෝප සහගත ලෙසය. 


එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රථම රාජසනයේ කතාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමේදී මුණසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවකට එරෙහිව එජාපයට පක්ෂව සිය ඡන්දය පාවිච්චි කර තිබේ. 


ඒ ඡන්දයෙන් රජය පරාජයට පත් වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැති ඩඞ්ලි සේනානායක මහතා පියවර ගත්තේය. 
එක්සත් ජාතික පක්ෂයේ සහාය ඇතිව ඇස ලකුණින් සංධානව 1960 මැතිවරණයට හලාවත ආසනය නියෝජනය කරමින් මුණසිංහ මහතා තරග කළත් මුණසිංහ මහතා තරග කළත් එයින් පරාජයට පත්විය. 


හෘදයාබාධයක් වැළඳීමෙන් මුණසිංහ මහතා මිය ගියේ 1968 වසරේ සැප්තැම්බර් මස 17 වැනිදාය. 


විශාල දේපළකට උරුමකම් කී මුණසිංහ මහතාට ඒ සෑම දේපොළක්ම විකුණාදැමීමට සිදුවූයේ දේශපාලනය වෙනුවෙනි. 
මැති ඇමැතිකම් දැරුවත් ඔහු දේශපාලනයෙන් හරි හම්බකර ගත් දෙයක් තිබුණේම නැත. අවසාන කාලය ඔහු ජීවත් වූයේ කුලී නිවසකය. පාර්ලිමේන්තු ගියේ ආවේ කෝච්චියෙනි. එහෙමත් නැතිනම් ලංගම බස් රථයකිනි. 


මේ බව දැනගත් ඡන්දදායකයෝ මුදල් එකතු කර ඔහුට පාර්ලිමේන්තු යාමට ඒමට මෝටර් රථයක් ද මිලදී ගෙන එය පරිත්‍යාග කර ඇත්තේ ඔහු තුළ තිබූ උතුම් ගුණාංග නිසාය. 


වසර ගණනාවක් තිස්සේ දේශපාලනය කර සතපහක්වත් දේශපාලනයෙන් හරි හම්බ නොකර දේශපාලනය වෙනුවෙන් සිය දෝපොළ වතුපිටි පවා විකුණා දැමූ මුණසිංහ මහතා අවසාන කාලයේ කුලී නිවසක පදිංචිව සිටියදී මිය ගියේ පරමාදර්ශී ජීවිතයක අගය රටටම කියා පාමිනි.  


ඔහුගේ ජීවිතයෙන් වර්තමාන බොහෝ දේශපාලනඥයන්ට ගත හැකි ආදර්ශ මෙතෙක් යැයි කියා කිව නොහැක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු මහත්මා දේශපාලනඥයෙකි. 


දේශපාලන කටයුතු නිසාම මුණසිංහ මහතා විවාහ වී ඇත්තේ ද විවාහ විය යුතු කල වයස තරමක් ඉක්ම ගිය පසුවය. 
ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතාගේ විවාහය ගැන 1958 වසරේ ජුලි මස 16 වැනිදා ලංකාදීප පුවත්පතේ 03 වැනි පිටුවේ ඡායාරූප දෙකක් ද සහිතව වාර්තා කර ඇත්තේ මෙසේය. 


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හලාවත මන්ත්‍රී ජේ. සි. ඩබ්ලිව්. මුණසිංහ මහතා තලස්ගාරේ (හලාවත ගමක්) සිසිලි ප්‍රනාන්දු මැතිනිය සමග ප්‍රසිද්ධියක් නැතිවම විවාහ විය. කුණ්ඩසාලේ පාතිමා අප ස්වාමිඳුගේ දේවස්ථානයේදී සිදු කරන ලද මේ මංගල්‍යයේ සාක්කියට අත්සන් කළේ මුණසිංහ මහතාගේ ලේකම් අර්ල් ද සිල්වා මහතාත් සී. ද. අල්මේදා මහතාත්ය. 


හිටපු ඇමතිවරයකුවන ජී. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතාගේ එකම දියණිය වන ඇන්ජලිනා සිසිරි මාලනී වැලිකල මුණසිංහ මහත්මිය වන්නීය. මාලනී මුණසිංහ මහත්මිය මාදම්පේ ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කරන්නීය. 


මාලනී මුණසිංහ මහත්මියගේ එකම දියණිය වෛද්‍යවරියකි. ඇමති පියාගේ ජීවන තොරතුරු ගුණ සුවඳ ගැන දියණිය කියන කතාව ඊළඟට කියවමු.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 
ඡායාරූප : මාදම්පේ එස්. හේරත්