අකලට පැවති අකලට පැවති මැතිවරණවල පරාජයේ ඉතිහාසය


අද අප රටේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම අපට හිමි වන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය මගින් රටට හිමිවුණ සර්වජන ඡන්ද ක්‍රමය හරහායි. 1833 කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රථමයෙන්ම 15 දෙනකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක, විධායක සභාවන් ශ්‍රී ලංකාවට උරුමකර දුන් අතර ඒ ඓතිහාසික ගමන් මගෙහි වර්තමාන විකාශනය වන්නේ මන්ත්‍රීවරු 225 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවයි. අප රට නිදහස ලැබූ දා සිට අද දක්වා පාර්ලිමේන්තු මැතිවරණ 16ක් තබා රටේ ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීවරු තෝරා පත්කර ගත් අතර මේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව අප රටේ විවිධ නම්වලින් හදුන්වා දී ඇත. 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලට අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙසත්, 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණවලදී පාර්ලිමේන්තුව ලෙසත්, 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව ජාතික රාජ්‍ය සභාව ලෙසත්, 1978 ජනාධිපති ආණ්ඩු ක්‍රමය යටතේ නැවතත් පාර්ලිමේන්තුව ලෙසත් අර්ථ දක්වා ඇත. මේ කුමන නමකින් හැදින්වුවද මෙය රටට ප්‍රතිපත්ති හදන ව්‍යවස්ථාදායකයයි.


1947 ආරම්භ කළ පක්ෂ අනුව මන්ත්‍රීන් තෝරන ව්‍යවස්ථාදායකය 2017 වන විට අගමැතිවරු 11 දෙනෙකු යටතේ පාලනය වූ අතර 1978න් පසු ජනාධිපතිවරණ 07ක් පවත්වා ජනාධිපතිවරු 05 දෙනෙක් තෝරා ගත්හ.

(ජනාධිපතිවරු 06 දෙනෙකි. ඩී. බී. විජේතුංග මහතා ඡන්දයට ඉදිරිපත් වූයේ නැත.) නමුත් මේ ලිපියේ අරමුණ එය නොවේ. එනම් පවත්නා රජයත් මැතිවරණ පැවැත්වීමට නියමිත කාලයට ඉක්මන් වීමත් නියමිත කාලයට ප්‍රමාද වීමත් හේතු වූයේ ජයග්‍රහණයට නොව පරාජයටයි. ඉතිහාසයේ මේ සියලුම අවස්ථාවලදී මැතිවරණ මෙහෙය වූ එකල බලයේ සිටි කණ්ඩායම පරාජයට පත්විය.

 

 

1952 මාර්තු මස ඩී. එස්. සේනානායක මැතිතුමා අසු පිටින් වැටී මියයාම නිසා හිස් වූ අගමැති තනතුරට ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර ඩඞ්ලි සේනානායක පත්කර ගන්නා ලදී. ටික දිනකින් පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමට මන්ත්‍රී ආසන 74ක් ලබා ආණ්ඩුව පිහිටුවන ලදී. නමුත් රටේ ආර්ථිකය එතරම් ශක්තිමත් නොවීය. ලංකාවේ වෙළඳ ද්‍රව්‍යවල මිල ගණන් පහත යාම නිසා රජයේ ආදායම අඩුවිය. මේ නිසා ආණ්ඩුව පිටරටින් ගෙනෙන සහල්වලට දී තිබූ බදු සහන ඉවත් කරන ලදී. මේ හේතුව නිසා පිටරටින් ගෙන්වන සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩිවිය. මේ නිසා මුළු රටේම කැලඹීමක් ඇති වී අගමැතිතුමාට එරෙහිව රටපුරා උද්ඝෝෂණ හර්තාල් ව්‍යාපාර ඇතිවිය. අගමැතිතුමා තම ධුරයෙන් ඉල්ලා අස්වී සර් ජෝන් කොතලාවල මැතිතුමාට අගමැතිකම භාර දී විදේශ ගතවිය. මේ අභියෝග හමුවේ 1956 වන තෙක් රජය ගෙනගිය තමන්ට තවත් වසරක නිල කාලයක් තිබියදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තීරණය කරන ලදී. එජාප රජයේ අවසන් කාලයේදී ද්‍රවිඩ පක්ෂ ඔවුන්ගෙන් ඈත් වූ අතර 1951 දී එජාපයෙන් ඉවත් වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහත්මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ එක්ව මහජන එක්සත් පෙරමුණ පිහිටුවාගෙන 56 මැතිවරණයට ඉදිරිපත් විය. බණ්ඩාරණායක මැතිතුමාට පංච මහා බලවේගය මේ මැතිවරණයේ දී විශාල සහයෝගයක් ලබා දුන් අතර සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ පොරොන්දුව නිසා විශාල ජන ප්‍රසාදයක් හිමි වී මහජන එක්සත් පෙරමුණට ආසන 54 කුත්, නව ලංකා සම සමාජ පක්ෂයට ආසන 14ක් හිමිවන විට පාලක එජාපයට හිමි වූයේ ආසන 08කි. තව වසරක් බලයේ සිටීමට හැකියාව තිබුන ද නියමිත කාලයට කලින් මැතිවරණය පවත්වා තමන් අත වූ බලය විරුද්ධ පක්ෂයට පූජා කරන්නට එජාපයට සිදුවිය.


1959 බණ්ඩාරණායක මැතිතුමාගේ ඝාතනයෙන් අනතුරුව අගමැති තනතුර ඩබ්. දහනායක මැතිතුමාට හිමි වූ අතර හිතුවක්කාරී ගමනක නිරත වෙමින් විටින් විට තම කැබිනට් මණ්ඩලය වෙනස් කරමින් ගිය අත්තනෝමතික පාලනය නිසා 1960 මාර්තු පවත්වන ලද මැතිවරණයේ දී අගමැතිතුමාට තම මන්ත්‍රී අසුනවත් රැකගැනීමට නොහැකි විය.
තට්ටුමාරු ක්‍රමයට ගලාගිය මැතිවරණ ජයග්‍රහණ බෝතලේ වලව්වත්, හොරගොල්ල වලව්වත් අතර බලය අතින් අතට දෝලනය වූ අතර 1970 බලයට පත් සමගි පෙරමුණ රජය ඉතිහාසයේ විශාලම මැතිවරණ ජයග්‍රහණය ලබා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන ලදී. පැවති මැතිවරණයෙන් 2/3 ජයග්‍රහණයක් හිමි වූ අතර එතෙක් රටේ පැවති ඩොමීනියන් තත්ත්වයෙන් රට මුදවා ගැනීමට එම ප්‍රතිඵලය ප්‍රමාණවත් විය. ශ්‍රී ලංකාව නිදහස් නිවහල් ස්වෛරී ජනරජයක් බවට පත්විය. එතෙක් පැවති අග්‍රාණ්ඩුකාර ධුරය වෙනුවට ජනාධිපති ධුරයක් ද, ශ්‍රී ලංකාවේ අධිකරණයට අවසන් අධිකරණ බලයත්, බි්‍රතාන්‍ය රැජිනගේ ඔටුන්න ලෙස නිර්මාණය කර තිබූ අපේ රාජ්‍ය ලාංඡනයට නව අරුතක් එක්කළ අතර රන් පවුම් වතු පවරා ගැනීමටත් රටට නව ආණ්ඩු ක්‍රමයක් ලබා දීමට සමත් වූ සිරිමා රජය නියමිත කාලයට වඩා වසර දෙකක් ප්‍රමාද කර මැතිවරණය පැවැත්වීම නිසා සිදු වූයේ 2/3 බලයක් තිබූ රජයට 1977 මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වීමට සිදුවිය. ඔවුන්ට සිදුවුණේ ආසන 08 කින් සෑහීමකට පත්වීමටයි. එක්සත් ජාතික පක්ෂයට 5/6 බලයක් සහිතව ආසන 142 ක් හිමිවූ අතර, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විරුද්ධ පක්ෂය බවට පත්විය. සමගි පෙරමුණ දරුණු සෝදාපාළුවකට පත්වූයේ මැතිවරණය වසර දෙකකින් කල් දැමූ නිසාය.

 

 

හොරගොල්ල වලව්ව අතේ තිබූ බලය 1977 දී සේදවත්තට හිමි වූ අතර පසුව කෙසෙල් වත්තටත් ඉන්පසු නැවත 1994 හොරගොල්ලට බලය මාරු විය. 2010 වසරේ ජනාධිපතිවරණයෙන් 2 වරට ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයේ මාවත 2017 තෙක් වැටී තිබුණු අතර එතුමා ගත් තීරණයකට අනුව බලය අවසන් වීමට තවත් වසර දෙකක් තිබිය දී මැතිවරණයකට ප්‍රවේශ විය. එහිදී එජාපය ප්‍රමුඛ ශ්‍රීලනිප විරුද්ධ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ කණ්ඩායම්වල එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් කර මහින්ද රාජපක්ෂ මැතිතුමා පරදවා ජයග්‍රහණය ලැබීමට සමත් විය. තවත් වසර දෙකක් නීත්‍යානුකූලව බලයේ සිටීමට හැකියාව තිබියදී තම ශක්තිය උරගා බැලීමට මහින්ද රාජපක්ෂ මහතා ඔට්ටුවට තැබුවේ තම අතේ තිබූ විධායක බලතල සහිත ජනාධිපති ධුරයයි. ප්‍රතිඵලය වූයේ වසර දෙකකට පෙර පුටුවෙන් බැස යාමට සිදුවීමයි.


මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය එක පිළිවෙළට ගලා යාමට ඉඩ නොදීම නිසාම ලක් ඉතිහාසය පුරාම එම වැරැද්ද කළ පක්ෂයට හෝ කණ්ඩායමට අත් වූයේ පරාජයයි. ඉතිහාසයේ මැතිවරණ ප්‍රතිඵල ඊට උදාහරණ ගෙනහැර දක්වයි. තම තමන්ගේ බල පුළුවන්කාර කමින් මැතිවරණ කලින් පැවැත්වූවත්, පසුව පැවැත්වූවත් ඊට ඉතිහාසය නිසි දඩුවම් දී ඇත.
1956 දීත්, 1977 දීත්, 2015 දීත් සිදුවූයේ එකම කාරණයයි. එම නිසා සියලුම පාර්ශ්වවල දේශපාලන ශරීර සෞඛ්‍යයට මෙම තත්ත්වය එතරම් හිතකර නොවේ. මැතිවරණ කලින් පැවැත්වීමත් නියමිත කාලයට පසුව පැවැත්වීමත් යන කාරණ ද්විත්වයම එම ආණ්ඩුවලට නිසි දඩුවම් ලබා දී ඇත. එය මතුවටත් එසේ නොවේ යැයි කිව හැක්කේ කුමන පදනමකින් ද?

 

 

 

 


උපාලි උඩුගමසූරිය