අකාලයේ ගිලිහුණ දකුණෙන් බිහිවූ වමේ සොඳුරු මිනිසා


 

 

සැබෑ නිදහස පතා සටන්වැදුණු මෙරට දේශප්‍රේමීන්ගේ තිඹිරිගෙය වූයේ වාමාංශික ව්‍යාපාරයයි. ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එම ව්‍යාපාරයේ ප්‍රධාන කඳවුරු දෙක විය.


ඇන්. ඇම්., කොල්වින්, ලෙස්ලි, පිලිප්, රොබට්, කුසුමා, විවියන් සහ එස්. ඒ. වික්‍රමසිංහ වැනි වමේ දැවැන්තයන් අධිරාජ්‍යවාදීන්ටත් ඔවුන්ගේ අනුගාමිකයන්ටත් එරෙහිව එදා පෑ විකුම් අදද අප සිහිකරනුයේ උද්දාමයෙනි.


වාග් සංග්‍රාමයේ යෙදෙමින්ද, ලිපිලේඛන පෙත්සම් අදාළ බලධාරීන්ට ඉදිරිපත් කරමින්ද, අධිකරණයේදී කෙස්පැලෙන තර්ක විතර්ක ගෙනහැර පාමින්ද, සිපිරිගෙයි දුක්විඳිමින්ද, වෙස්වළාගෙන රටින් රටට පැනයමින්, එදා වමේ අය සටන් කළහ.


යළි රට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ස්වාධීන රටක්වූ පසුද මැති ඇමතිධුර දරමින් රට විකිණීමේ හා රාජ්‍ය දේපළ කුණුකොල්ලයට නොරටුන්ට පවරාදීමේ උපාය මාර්ගයන්ට එරෙහිව නිර්භීතව සටන් කළ අතර වමේ නායකයන්ගේ අධිවේගී ක්‍රියාමාර්ග නිසා උරණවූ පාලකයන් ඔවුන් ආණ්ඩුවෙන් නෙරපා දැමීමටද, දඟගෙට යැවීමටද කටයුතු කළ බව වමේ ඉතිහාසය දන්නා අයට රහසක් නොවේ.


කෙසේ වෙතත් මේ වනවිට වාමාංශික පක්ෂ නියෝජනය කරන පිරිස අතර පෙරළිකාර තීන්දු තීරණ ගෙන ක්‍රියාමාර්ගවලට එළැඹෙන්නට තරම් එඩිතර ජවයක් ඇති චරිත හමුවන්නේ කලාතුරකිනි. 


පසුගියදා දැයෙන් සමුගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති චන්ද්‍රසිරි ගජදීර නමැති මානවවාදී චරිතයද එවැනි දුර්ලභගණයේ වාමාංශිකයෙකු බව පැහැදිලිය.


එතුමා දකුණේ මාතර ජනතාවගේත් උතුරේ යාපනය ජනතාවගේත් ආදර ගෞරවය එකවර දිනාගත් දේශපාලන චරිතයකි. ජාතීන් අතර මෙන්ම ආගම් අතරද සමගිය උදෙසා යුග මෙහෙවරක් සිදුකළ ගජදීරයන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් මර්දනය කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 13,750 ක් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමෙහිලා විෂයභාර අමාත්‍යවරයා ලෙස ඉටුකර කාර්යභාරය විශේෂිතය.


ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වන ඩිව් ගුණසේකරයන් හඳුන්වාදුන් පරිදි චන්ද්‍රසිරි ගජදීර සහෝදරයා නොඉඳුල් පරමාදර්ශී මානවහිතවාදී දේශප්‍රේමී චරිතයකි. අමාත්‍ය මංගල සමරවීරද වරක් ගජදීරයන් පිළිබඳ පවසා තිබුණේ ඔහු තරම් නිර්භීත දේශපාලන චරිතයක් මෑතදී නොදුටු බවය.


කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය හරහා දේශපාලනයට පිවිසි ගජදීර තරුණයා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයා විය. කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සම්මේලනයේ සභාපති ධුරය දැරූ අතර ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය නියෝජනය කළේය.


ගුරු වෘත්තියට බට ගජදීරයන්ට කෙටි කලකින්ම ඉන් සමුගැනීමට සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ඇරඹු 80 ජූලි වර්ජනයට සහයවීමේ චෝදනාව මත රැකියාවෙන් පහකිරීමෙනි. ඉන්පසු නීතීඥ වෘත්තියෙහි නියැලෙමින් වාමාංශික දේශපාලනයට අත්වැලක් විය.


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ නිර්ධන පන්තියේ ජනතාවට නීතියේ පිළිසරණ ලබාදුන්නේ ගජදීරයන්ද මැදිහත්වීමෙනි. එතුමා සතුවූ තර්කානුකූල ව්‍යක්ත චාතුර්යය නිසාම දේශපාලන වේදිකාවද විවර විය. 1987 දී මාතර නගර සභාවට තරඟකර තේරීපත්වූ ගජදීරයන් මාතර සංවර්ධන ක්‍රියාදාමයට ශක්තියක් දුන්නේය.


එජාප යුගයේදී දකුණු පළාත් නගර සභාවේ බලය වමේ කණ්ඩායමට හිමිවූ අවස්ථාවේ මැර තර්ජන ගර්ජන හා කුමන්ත්‍රණ දියත්වෙද්දී ගාලු නගර සභාවේ දොරගුළු කඩාගෙන සභාවට ඇතුළුවී කොමියුනිස්ට් ධජය එසවීමට තරම් එතුමා නිර්භීත වූ අයුරු වමේ පැරැන්නෝ සිහිපත් කරති. මෙතරම් විශාල ශක්තියක් ගජදීරයන්ට ආරෝපණය වූයේ එතුමා පැරණි දේශපාලන ගුරුවරුන් ඇසුරෙන් ලැබූ පන්නරය නිසාය.


ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ එස්. ඒ. වික්‍රමසිංහ (අකුරැස්ස), බී. වයි. තුඩාවේ (මාතර) සරත් මුත්තෙට්ටුවේගම (කලවාන) සහ ඊළියන් නානායක්කාර වැනි සටන්කාමී නායකයෝ ගජදීරගේ ගුරුවරුවූහ.


ගජදීර වනාහි පොතේ උගතකු හෝ තවත් එක් මන්ත්‍රීවරයකු පමණක් නොවේ. ඔහු මාක්ස්වාදයත්, කොමියුනිස්ට් වාදයත්, බුද්ධ දර්ශනය හා ආසියානු ජනතා හදගැස්මද මනාව තේරුම් ගත්තෙකි.


88 - 89 භීෂණ යුගයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයටත්, ජවිපෙ අරගලයටත් රාජ්‍ය ත්‍රස්තවාදයටත් නිර්භයව මුහුණදුන් තම ප්‍රතිපත්තිත් පක්ෂයේ ප්‍රතිපත්තිත් යාවත්කාලීන කළ යුග පුරුෂයෙකි.


චන්ද්‍රසිරි ගජදීරයන්ගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු එතුමා හඳුන්වාදුන්නේ එසේය. 1987 දී ගජදීරයන් දකුණු පළාත් සභාවට තරඟකර විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දිනුවේය.


“ඡන්ද දෙන්නට ආවොත් වෙඩි තියල මරනවා.”


පළාත් සභා මැතිවරණය වර්ජනය කළ ආයුධ සන්නද්ධ කල්ලි ජනතාවට කළ තර්ජන හේතුවෙන් දේශපාලන ක්‍රියාකාරීහු  රැසක් මාතර හැර පලාගියහ. සාමාන්‍ය ජනතාව තුවක්කුවට බියෙන් වෙවුල වෙවුලා සිටි මොහොතක ගජදීරයන් ත්‍රස්තවාදයට බියනොවී දික්වැල්ලට ගොස් පක්ෂ නායක ඩිව් ගුණසේකර සමග මහ පාර මැද රැස්වීමක් පවත්වා ජනතාවගේ බිය තුරන්කිරීමට තරම් එඩිතර විය.


“ඔහු ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් නායකයෙක්.” මහින්ද රාජපක්ෂ මහතා අවමංගල්‍ය උළෙලේදී පැවසීය.


1993 දී එතුමා පාර්ලිමේන්තුවට පත්වූ අතර 25 වසරක් තම මන්ත්‍රී ධූරය දැරීය. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යටතේ මුලින්ම ඔහුට වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති ධුරය පිරිනැමිණි.


අනතුරුව ස්වදේශ කටයුතු කැබිනට් නොවන ඇමැති පදවියද මූල්‍ය හා සැලසුම් නියෝජ්‍ය ඇමැති ධුරයද දැරූ එතුමා බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය ධුරය දැරූ සමය ඉතිහාසයේ රන් අකුරින් ලියැවිය යුතුය. සැබෑ දේශප්‍රේමියකුගේ මෙන්ම මානවවාදියකුගේ ගතිගුණ පෙන්නුම්කරමින් සිපිරිගෙයින් හා මරණයෙන් කෙළවර විය හැකිව තිබූ තරුණ ජීවිත 13,750ක් මනාව පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට එතුමා ඇපකැපවිය.


පුනරුත්ථාපනය යනු නීතිපොතට එකතුවූ අලුත් වදනකි. එතෙක් නීතියෙන් ලබාදුන් ඉහළම දඬුවම වූයේ මරණයයි. එසේත් නැතිනම් දිවිය පුරා බරපතළ වැඩ ඇතිව සිපිරිගෙයි ලෑමයි. එල්.ටී.ටී.ඊ.යේ සෙබළුන්ට එල්ල වී තිබුණේ රජයට විරුද්ධව සන්නද්ධ අරගලයක් කිරීමේ බරපතළ චෝදනාවය.

සිංහල ත්‍රස්තවාදී තරුණ පිරිස එදා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමයේදී පුනරුත්ථාපනය කර සමාජගතකිරීම නිසා ඔවුන්ට යහපත් ක්‍රියාකාරී මිනිසුන් ලෙස සමාජයට සේවය කිරීමට හැකිවිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදීද එම අත්දැකීමට මුහුණදීමට රජයට සිදුවිය.


පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යවරයා වශයෙන් චන්ද්‍රසිරි ගජදීරයන් විසින් නව අත්හදාබැලීම් රැසක් ඒ සඳහා කර තිබිණි. රැඳවුම් කඳවුරුවල විවිධ ප්‍රසංග හා වැඩමුළු පවත්වා සිරකරුවන්ගේ මෙන්ම රැඳවුම්කරුවන්ගේ කලා කුසලතා නිරූපණය කිරීමට ඉඩ ප්‍රස්ථා සලසාදෙමින් ඔවුන්ගේ අධ්‍යාත්මික ගුණවගාව පෝෂණය කිරීමට හා නිදහස් මනසකින් ජීවිතයට යළි මුහුණදීමට සැලසීම මෙම සංස්කෘතික ක්‍රියාදාමයෙහි අරමුණ විය.


එසේම ආගමික වැඩසටහන් තුළින් තැන්පත් දැහැමි මිනිසුන් ලෙස සමාජගතවීමට ඉඩහසර සලසාදුන් ගජදීරයන් පිළිබඳව තරුණ ප්‍රජාව තුළ ඇත්තේ අසීමිත ගෞරවයකි. ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය.’ යන උදෘත පාඨය තම කොමියුනිස්ට්වාදී දර්ශනය සමග සමගාමී කරමින් එතුමා යුග මෙහෙවරක යෙදුණේය.


අද මැති ඇමැතිවරුන් වෙත ලැබෙන වැටුප්, දීමනා, සන්තෝෂම්, පරිත්‍යාග කිසිවක් චන්ද්‍රසිරි ගජදීරගේ දේශපාලන දර්ශනය තුළ අගනා දේ නොවීය. යුද බියෙන් පසුව දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කතාකළ ක්‍රියාකළ දේශපාලනඥයන් අතර ගජදීරයන්ගේ නාමය කැපී පෙනෙයි. යුද්ධය නිසා ජීවිත, දේපළ ඇතුළු වත්කම් අහිමිවූ දෙමළ ජනතාව යළි තම නිජභූමි තුළ පදිංචිකිරීමට එතුමා උනන්දුවූයේ ඇතැම් ජාතිවාදී අදහස් දරන කැබිනට් සගයන් පවා විමතියට පත්කරමිනි.


‘ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ඇත’ යනු බුදුවදන සනාථකරමින් භීෂණ සමයේදී අකුරැස්ස, ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානයේ පැවැති මංගල්‍ය දේව පූජෝත්සව භූමියේ පුපුරා ගිය එල්.ටී.ටී.ඊ අධිබලැති බෝම්බයෙන් දිවිගලවාගත් අමාත්‍යවරුන් අතර චන්ද්‍රසිරි ගජදීරයෝද වෙති. 73 හැවිරිදි මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයා දැයෙන් සමුගත්තේ සාමය හා සමගිය පිළිබඳ නව චින්තන රටාවක් රටට අවශ්‍ය කර ඇති වකවානුවකය.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි