අකාලයේ පාර්ලිමේන්තුව අහිමි වූ මහජන නියෝජිතයන්ගේ පුරාණයෙන්



ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අභියාචනා අධිකරණය විසින් අහෝසි කරනු ලැබ ඇතැයි මාධ්‍ය වාර්තා කළේය. එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ප්‍රකාශ කර ඇත. එනිසා මෙහි අවසාන නිගමනය දැන ගැනීමට හැකිවනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයෙන් පසු එම තීන්දුව ප්‍රකාශයට පත්වූ විටදීය. 


එක්දහස් නවසිය හැත්තෑ අටේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමෙන් පසු මෙවැනි මන්ත්‍රීධුර අහෝසි කිරීම් දක්නට නොලැබුනු  වුවද ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු එක්දහස් නවසිය තිස් එකේ වසරේ සිටම වරින්වර සිදුවී ඇති බව මැතිවරණ පුරාණය විමසීමේදී පෙනී යයි. එම යුගයේ මැතිවරණ නීතියට අනුව යම්කිසි අපේක්ෂකයකු ජයග්‍රහණය කළ විට ඔහු මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාමේදී නීතියේ ප්‍රතිපාදන සීමාව ඉක්මවා කටයුතු කර ඇත්නම් (මැතිවරණ නීතියක් කඩකර ඇත්නම්) ඒ පිළිබඳ විමර්ශනය කිරීමට මැතිවරණ උසාවි ක්‍රමයකට ඉඩ සලස්වා තිබුණි. මැතිවරණ ව්‍යාපාරය ගැන අතෘප්තියට පත් ඡන්දදායකයෙකුට ඡන්ද පෙත්සමක් මගින් මේ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා සිටීමට හැකියාව තිබුණි. එය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු පත් කරනු ලැබීය. මෙමගින් දීර්ඝ නඩු විභාග පවත්වා වැරදිකරුවන්ගේ මන්ත්‍රීධුර අහෝසි කළ අවස්ථා බොහෝ තිබුණි. ප්‍රතිවාදී අපේක්ෂකයාගේ චරිතයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීම යන චෝදනාවට වැරැදිකරුවන් වීම නිසා බොහෝ දෙනෙකුගේ මන්ත්‍රීධුර අහිමි වූ බව අපට මතකය. 


එය අපේක්ෂකයා හෝ ඔහුගේ ආධාරකරුවකු විසින් කළා වුවද මෙම නඩු පැවරීම කළ හැකිවිය. මෙවැනි නඩු විභාගවල රසවත් තොරතුරුද බොහෝය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නුවරඑළිය ආසනය පුරප්පාඩු වූ අවස්ථාවකදී අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. එහිදී අපේක්ෂකයන් වූ මහනුවර නගරාධිපතිවරයා ලෙසද කලක් කටයුතු කළ සර් බෙනට් සොයිසා සහ නුවරඑළිය මතුරට ආදායම් පාලක :ෘගඍගධග* නිලධාරියා ලෙස සේවය කළ ඇම්. ඩී. බණ්ඩා මහතාත්ය. මෙම තරගයෙන් ඇම්. ඩී. බණ්ඩා මහතා ජයග්‍රහණය අත්කර ගත්තේ පහසුවෙනි. එහෙත් මැතිවරණයේදී බණ්ඩා මහතාගේ ආධාරකරුවකු බෙනට් සොයිසා මහතාගේ චරිතයට හානිවන අන්දමේ අපහාසාත්මක ප්‍රකාශ කිරීම මගින් සොයිසා මහතාගේ ජයග්‍රහණය වළක්වන ලදැයි චෝදනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. එම නඩුවේදී ඇම්. ඩී. බණ්ඩා මහතා වෙනුවෙන් පෙනී සිටියේ එවකට ලංකාවේ සිටි දක්ෂතම නීතිඥවරයා ලෙස පිළිගැනුණු රාජනීතිඥ එච්. වී. පෙරේරා මහතාය. හැකි සැම ආකාරයෙන්ම හරස් ප්‍රශ්න අසමින් තම සේවාදායකයා බේරාගැනීමට උත්සාහ කළ නමුදු එය සාර්ථක නොවන බවත් බණ්ඩා මහතාට ආසනය අහිමිවන බවත් රාජනීතිඥ පෙරේරා මහතාට වැටහී ගියේය.  අන්තිම තුරුම්පුව වශයෙන් මෙම වැරැදි ප්‍රකාශය කර ඇති තැනැත්තා තමාගේ ආධාරකරුවකු නොවන බව අධිකරණයේ කියා සිටින ලෙස සේවාදායකයාට උපදෙස් දුන්නේය. නොඑසේනම් නිසැකවම මන්ත්‍රී ධුරය අහෝසි වන බවටත් අනතුරු ඇඟවීය. එයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ “දිවා රාත්‍රී නොමැතිව මා වෙනුවෙන් මාස ගණනක් වෙහෙස වුණු ඒ මිත්‍රයා මගේ ආධාරකරුවකු නොවන බව කටක් ඇර මම කියන්නේ නැහැ. මන්ත්‍රීකම  නැති වෙනවා නම් නැතිවුණදෙන්. මම ඒ බොරුව කියන්නේ නැහැ” කියාය. සාක්කි කූඩුවේදී ඒ තමාගේ ආධාරකරුවෙකැයි ඔහු පිළිගත්තේය. ඇම්. ඩී. බණ්ඩා මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් විනිසුරුවරයා තීන්දුව දුන්නේය. කෝපයට පත් රාජ නීතිඥවරයා බණ්ඩා මහතාට, “ඔබ කවුන්සලේට හරියන මිනිහෙක් නොවෙයි. පන්සලට ගිහින් හතර පෝයට  සිල් ගන්නවා”යි  කී බව පැරණි වාර්තාවන්හි සඳහන් වේ. 
එදා පැවති සදාචාරාත්මක මහත්මා දේශපාලනය ගැන කතා කිරීමේදී මෙය කදිම නිදසුනකි. 


මැතිවරණ පෙත්සම් නිසා මන්ත්‍රීධුර අහිමි කිරීම් පිළිබඳව වාර්තා තැබූ ආසන කීපයක්ම මෙරටේ පවතී. මහනුවර සහ උතුරු කොළඹ ආසන දෙක ප්‍රධාන තැනක් ගනී. එහි විශේෂත්වයක් වන්නේ උතුරු කොළඹ ආසනයේ ඡන්ද පෙත්සම් නඩු නිසා ආසන දෙකක මන්ත්‍රීවරු දෙදෙනකුගේ ආසන අහිමි වීමය. 


සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු 1931 දී ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උතුරු කොළඹ ආසනයේ ප්‍රථම මන්ත්‍රීවරයා වශයෙන් ජනතා වරමින් පත්වූයේ කොළඹ හිටපු පුරපතිවරයකු ද වූ දොස්තර රත්නජෝති සරවනමුත්තු මහතාය. ඒ මහතාගේ පත්වීමට එරෙහිව ප්‍රතිවාදී පාර්ශ්වයෙන් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරන ලදුව එයට වැරදිකරුවීම නිසා මන්ත්‍රීධුරය සඳහා නුසුදුස්සකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කරන ලදී. සරවනමුත්තු මහතාට මන්ත්‍රීධුරය දැරිය හැකිවූ කාලසීමාව මාස අටක් පමණි. ලංකා ව්‍යවස්ථාදායකයේ ඉතිහාසයේ ප්‍රථම වරට ඡන්ද පෙත්සමකින් වැරැදිකරුවා ලෙස තීන්දු කර මන්ත්‍රීධුරය දැරීමට නුසුදුස්සකු වශයෙන් නම් කරන ලද ප්‍රථම මන්ත්‍රීවරයා වන්නේ සරවනමුත්තු මහතාය. 


එයින් ඇතිවූ පුරප්පාඩුව සඳහා පත්කර ගනු ලැබුවේ හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳ වූ නේසම් සරවනමුත්තු මහත්මියයි. අභාග්‍යයකට මෙන් ඒ මහත්මියට මන්ත්‍රීධුරය දැරීමට අවස්ථාව හිමිවූයේ මාස අටක් පමණි. ඒ ඇයද මැතිවරණ පෙත්සමකට වරදකාරිය වූ බැවිනි. මේ හේතුව නිසා උතුරු කොළඹ ආසනයට තවත් අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. නේසම් සරවනමුත්තු මහත්මියට එම ඉරණමට මුහුණදීමට සිදුවූයේ හිටපු මන්ත්‍රීවරයකු වූ සිය සැමියාට ඡන්ද නඩුව නිසා සත් වසරකට ප්‍රජා අයිතිය අහිමිකර තිබියදී බිරිඳගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කළේය යන චෝදනාව ඔප්පුවීම නිසාය. මන්ත්‍රී ධුරය අවලංගු කරනු ලැබුවද ඇයගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරනු ලැබුවේ නැත. එනිසා ඊළඟට පැවති අතුරු මැතිවරණයටද තරග කර ජය ගැනීමට නේසම් සරවනමුත්තු මහත්මිය සමත් වූවාය. එම අඹු සැමි යුවළ එතරම්ම ජනතාව අතර කීර්තියක් දිනාගෙන සිටියහ. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය අවසන් වනතුරු සරවනමුත්තු  මහත්මිය උතුරු කොළඹ මන්ත්‍රී ධුරය දැරුවාය. අනතුරුව එම ධුරයටම 1936 දීද ජයග්‍රහණය කළාය. එහිදී ඇයගේ ප්‍රතිවාදියා වූයේ එවකට මෙරට සිටි ප්‍රධානම දේශපාලනඥයකු වූ කම්කරු පක්ෂයේ නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ මස්සිනා වූ නීතිඥ ඇම්. ජොසප් ද සිල්වා මහතාය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගය ආරම්භයේ සිටම ඒ. ඊ. ගුණසිංහ මහතාද මැද කොළඹ ආසනයේ මන්ත්‍රීධුරය දරමින් සිටියේය. ලංකාවට නිදහස සහ ආණ්ඩු ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඉල්ලා සර් ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක ආදී ප්‍රබල නායකයන්ගේ නායකත්වයෙන් ලංකා ජාතික සංගමය ක්‍රියාත්මක වෙමින් තිබුණු මෙම යුගයේ කොළඹ නාගරික කම්කරු පන්තිය මෙහෙයවමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා සටන් වදිමින් එඩිතරව සටන් කළ නායකයා වූයේ ගුණසිංහ මහතාය. එකල අප්‍රමාණ දුක් විඳි කම්කරු ජනතාව කොළඹ බහුලව  ජීවත් වූ නිසා ඔහුටද කොළඹ විශාල බලයක් තිබුණි. මෙම කඳවුරු දෙක අතර කොළඹ නගරයේ බල අරගලයද අතිශයින්ම උග්‍රව පැවැතුණි. ආරම්භයේදී සරවනමුත්තු මහතාට ජාතික සංගමයේ  සහාය හිමිවූ අතර ඒ මහතා මන්ත්‍රී ධුරයට නුසුදුස්සෙකැයි තීරණය වීමෙන් පසු සරවනමුත්තු  මහත්මියට එම සහාය හිමිවිය. සර් ජෝන් කොතලාවල, ඩඞ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන යන නායකයෝද ඒ අතර වූහ. 1941 දී නේසන් සරවනමුත්තු  මහත්මිය පරලොව සැපත් වූ බැවින් නැවතත් අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. 


මෙම තරගයේදී ජාතික සංගමයේ අපේක්ෂකයා වූයේ කොළඹ  උප නගරාධිපතිවරයා මෙන්ම ප්‍රභූ පෙළපතකට අයත් මහමුදලිවරයකුගේ පුත්‍රයෙකු වූ ජෝර්ජ් ආර්. ද සිල්වා මහතාය. දෙවැනි ලෝක මහා සංග්‍රාමය උග්‍ර අතට හැරී ජපන් ප්‍රහාරයකට බියෙන් කොළඹ ජනතාව නගරය අතහැර ගොස් සිටින වකවානුවක මෙම අතුරු මැතිවරණය පැවැත්වූ නිසා ඡන්දය ප්‍රකාශ කළ උතුරු කොළඹ ජනයා සිටියේ ඉතා ස්වල්ප දෙනෙකි. එයින් ජෝර්ජ් ආර්. ද සිල්වා මහතා ජය ගත්තේය. එයට පෙර පැවති මැතිවරණයේදී ඇම්. ජෝසප් සිල්වා මහතාට උපකාර කිරීමේදී මැතිවරණ දූෂණ සිදුවූ බවට චෝදනා කරමින්  ඉදිරිපත් වූ ඡන්ද නඩුවක ප්‍රතිඵලයක් වශයෙන් උතුරු කොළඹ නියෝජනය කළ ඇම්. ජේ. සිල්වා මහතාත් මැද කොළඹ  මන්ත්‍රීවරයා වූ ඒ. ඊ. ගුණසිංහ මහතාත් යන දෙදෙනාම වරදකරුවන් ලෙස නම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය දෙදෙනාගේම මන්ත්‍රී ධුර අහෝසි කර දැමීය. රටට විශාල මෙහෙයක් කර තිබූ ප්‍රකට දේශපාලන පක්ෂ නායකයකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතාට මේ නිසා ටික කලක් ව්‍යවස්ථාදායකයේ කටයුතු කිරීම අහිමි විය. 


රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී අල්ලස් උවදුර ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබුණි. එය වරදක් ලෙස බොහෝ දෙනා නොසැලකුහ. එහෙත් දේශපාලන කරළියේ ප්‍රබලයන් වූ ඩී. ඇස්. සේනානායක, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන ආදී රාජ්‍ය මන්ත්‍රීවරුත් වාමාංශිකයෝත් රජ සබය තුළ මෙන්ම බාහිරවත් මෙම අපකීර්තිමත් ක්‍රියාව දැඩි ලෙස විවේචනය කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්  එවකට ඉහළම ගණයේ නීති විශාරදවරයකු සහ සොලිසිටර් ජෙනරාල් රාජනීතිඥ ඇල්. ඇම්. ඩී. සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් අල්ලස් කොමිසමක් පත්කරන ලදී. එම පරීක්ෂණවලදී හත් දෙනෙකු  වරදකරුවන් ලෙස නම් කෙරුණි. 1943 අප්‍රේල් තුන්වැනි දින නිකුත් කරන ලද එම අල්ලස් කොමිසන් සභා වාර්තාව අනුව ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද බි්‍රතාන්‍ය ජාතික මන්ත්‍රීවරුන්  වූ ඊ. සී. විලර්ස්, එච්. එස්. ෆාර්පිට්, ඩබ්ලිව්. ඊ. නිව්න්හැම් යන තිදෙනාත් නුවරඑළිය රාජ්‍ය මන්ත්‍රී ඊ. ඩබ්ලිව්. අබේගුණසේකර, කළුතර මන්ත්‍රී චාර්ල්ස් බටුවන්තුඩාව, බළංගොඩ මන්ත්‍රී එච්. ඒ. ගුණසේකර, ත්‍රිකුණාමලය - මඩකළපුව මන්ත්‍රී ඊ. ආර්. තම්බිමුත්තු සහ බණ්ඩාරවෙල මන්ත්‍රී ඩී. ඩී. ගුණසේකර යන මන්ත්‍රීවරු වැරැදිකරුවන් බවට තීරණය විය. එම පසුබිම මත මේ සියලු දෙනාම මන්ත්‍රීධුරවලට නුසුදුස්සන් බවට පත්වූ අතර මෙම නිර්දේශ එළිදක්වන සමය වන විට බටුවන්තුඩාවේ මහතා මියගොස් සිටියේය.


දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රුවන්වැල්ල ආසනයට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ අවිස්සාවේල්ල ආසනයට පිලිප් ගුණවර්ධන මහතාත් ජය ලබා පැමිණීම මෙරට ව්‍යවස්ථාදායකයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් වේ. රටට අලුත් මගක් පෙන්වන ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරන්නන් වූ බැවිණි. එම පක්ෂය විප්ලවකාරී සහ මාක්ස්වාදී ප්‍රතිපත්තියක් මත ගෙනගිය සාධනීය ලක්ෂණයක් පෙන්නුම් කරන ලද අතර ජනතාවටද එය අලුත්ම අත්දැකීමක් විය. 1939 වනවිට යුරෝපයෙන් ඇරඹුණු දෙවැනි ලෝක මහා සංග්‍රාමය ලෝක ඉතිහාසය වෙනස්වෙන බොහෝ සිදුවීම්වලට පාදක විය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් වූ ලංකාවද යුද්ධයේ පීඩාව කෙරෙහි ඇදී ගියේ නිරායාසයෙනි. යුද්ධයේදී හිට්ලර්ගේ පැසිස්ට්වාදයෙන් ලෝකය ගලවාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා තම අධිරාජ්‍යයේ සියලුම යටත් රටවල් තමනට ආධාර කළ යුතු යැයි බි්‍රතාන්‍යයේ බලවත්තු ඉල්ලා සිටියහ. එහෙත් ලංකා සමසමාජ පක්ෂය එය නිර්දය ලෙස ප්‍රතික්ෂේප කළේය. එහි මතය වූවේ මාතෘ භූමිය යටත් කොට තබාගෙන සූරාකන යටත් විජිතවාදීන්ට යුද්ධය දිනාගැනීම සඳහා කිසිදු ආකාරයකින් සහාය නොදැක්විය යුතු බවත් මෙය ලෝකයේ ප්‍රජාත්න්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කෙරෙන සටනක් නොව අධිරාජ්‍යයන් තරකර ගැනීම උදෙසා වන්නක්ද වන බවයි. මෙය බි්‍රතාන්‍ය රජයේ බලවත්  කෝපයට හේතුවිය. සමසමාජ පක්ෂය නීති විරෝධී කර තහනම් කරන ලදුව නායකයන් අත්අඩංගුවට ගනු ලැබූහ. එයින් ප්‍රධානතමයින් වූවේ ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා යන මහත්වරුය. යුද්ධය උග්‍රවී ලංකාවට ජපන් ආක්‍රමණයක තර්ජන පහළවීමත් සමග බි්‍රතාන්‍ය පාලකයන් මහත් බියට පත්වූවේ ලංකා සමසමාජ පක්ෂය ජපානයට සහාය පළ කර ඔවුනට උදව් කරනු ඇතැයි සැකයෙනි. මෙයට තවත් දේශපාලන  පසුබිමක් ද තිබුණි. ඉන්දියාවේ විප්ලවකාරී සහ මාක්ස්වාදී මෙන්ම පළමු පෙළ නිදහස් අරගලයේ නායකයෙකු ද වූ සුබාෂ් චන්ද්‍රබෝස් මහතා කෙළින්ම ජපානයට සහාය පළ කළේය. බි්‍රතාන්‍යයන් බිය වූවේ මේ පසුබිමෙනි. කුමන මොහොතක හෝ ජපන් ආක්‍රමණයක් සිදුවන  බවත් ඒ අවස්ථාවේදී අත්අඩංගුවේ සිටින සියලුම සමසමාජවාදීන් මරා දමනු ඇතැයි ඔවුනට වාර්තාවී තිබුණි. එයට අනුව යෙදූ උපාය මාර්ග ඔස්සේ සමසමාජ නායකයෝ සිරිභාරයෙන් පැන ගියහ. රහසිගතව ඉන්දියාවට ගිය ඔවුහු එහි විප්ලවවාදී පක්ෂ සමග එක්ව ආරූඪ නාම යොදාගෙන රැකියා කරමින් ජීවත්වූහ. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා විශ්වනාත් නම් බැංකු නිලධාරියකුද පිලිප් ගෝවින්දන් නමින්ද, ලෙස්ලි ගුණවර්ධන හා විවියන් බ්‍රාහ්මණ යුවළක් ලෙසින්ද ආදී වශයෙන් වෙස් වළාගෙන කටයුතු කළහ. මේ අතරවාරයේ නිවාඩු නොලබා රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීම්වලට සහභාගී නොවීමේ හේතුවෙන් රුවන්වැල්ල සහ අවිස්සාවේල්ල ආසන දෙක හිස්වූ ලෙස සලකන්නට තීරණය කෙරුණි. ඒවාට අතුරු මැතිවරණ පැවැත්වූ අතර වෙනත් අය එම මන්ත්‍රී ධුරවලට පත්වූහ. 


මන්ත්‍රීධුරවලට නුසුදුස්සන් වූ අය ගැන අවධානය යොමු කිරීමේදී නිසැකවම සාකච්ඡා කළ යුතු කාරණයක් වන්නේ මහනුවර ආසනය සහ ඉලංගරත්න පවුලයි. දේශපාලන ක්ෂේත්‍රය පාරම්පරික ප්‍රභූ පන්තියට  උරුමයක් වශයෙන් මුල් බැසගෙන පැවැති යුගයක එයට කිසිදු සම්බන්ධයක් නොතිබුණු පහළ මධ්‍යම පංතියේ ගැමි පවුලක ටිකිරි බණ්ඩා ඉලංගරත්න දරුවා උපත ලද්දේය. අධ්‍යාපනයෙන් පසුව රජයේ ලිපිකරුවෙකු වශයෙන් සේවයට බැඳුණු ඔහු තම ක්‍රියාශූරතාව නිසා රජයේ ලිපිකරු සේවා සංගමයේ සභාපතිවරයා ලෙසද පත්ව චිර ප්‍රසිද්ධ 1947 මහා වැඩවර්ජනයේදී එහි නායකයා බවටද පත්විය. නිදහස ලබා නොතිබුණු එම යුගයේ බි්‍රතාන්‍ය පාලකයන් විසින් සේවයෙන් නෙරපා දමන ලදී. ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම යෙදී තිබුණේ මේ දිනවලමය. කලෙක සිටම මහනුවර ආසනය නියෝජනය කරමින් සිටියේ ප්‍රබල ඇමැතිවරයකු සහ ලංකා ජාතික සංගමයේ සභාපති පදවියද හෙබවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාය. වැඩවර්ජනය ගැන රටේ පැවති උනන්දුව ගැනද සැලකිල්ල දැක්වූ වමේ නායකයෝ ස්වාධීන සමාජවාදී අපේක්ෂයකු වශයෙන් ඉලංගරත්න මහතා තරගයට ඉදිරිපත් කළහ. තරගයෙන් ජෝර්ජ් ඊ ද සිල්වා මහතා ජයග්‍රහණය කළ නමුදු මැතිවරණ දූෂණ සිදු කරන ලදැයි චෝදනා කරමින් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් විය. ජෝර්ජ් ඊ ද සිලවා මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණි. ඒ පිළිබඳව අතුරු මැතිවරණයට තරග වැදුණේ ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාගේ පුත් ෆ්‍රඞ් ඊ. ද සිල්වා (එජාප) සහ ස්වාධීන සමාජවාදී අපේක්ෂක ටී. බී. ඉලංගරත්න මහතාත්ය. එයින් ඉලංගරත්න මහතා ජයගත් අතර එම පත්වීමට විරුද්ධවද ඡන්ද පෙත්සමක් ඉදිරිපත්විය. එම නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ටී. බී. ඉලංගරත්න මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි කළේය. තවත් අතුරු මැතිවරණයක් සඳහා මහනුවර ආසනය සූදානම් කරනු ලැබීය. රැකියාව අහිමිවීම නිසාත් ඡන්ද නඩු වැලක් නිසාත් ආර්ථික හා මානසික පීඩාවට පත්ව සිටි ඉලංගරත්න මහතා දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට සූදානම් විය. එහෙත් ඔහුගේ අනුගාමිකයන්ගේ බලකිරීම මත එයට ඉඩ නොලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්  සිය බිරිඳ වූ තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය තරග බිමට පිවිසියාය. 


එකල බලවත්ව පැවති සමසමාජ කොමියුනිස්ට් පක්ෂ නායකයෝ මහනුවර ආසනයේ කඳවුරු බැඳගෙන තමරා කුමාරි ඉලංගරත්න මහත්මියගේ මැතිවරණ කටයුතුවලට සහාය දුන්හ. එක්සත් ජාතික පක්ෂය තම උපරිම  ශක්තිය යොදා  තම අපේක්ෂක ඒ. සී. ඇල්. රත්වත්තේ මහතාගේ ජයග්‍රහණය උදෙසා ඇප කැපවීමෙන් කටයුතු කළේය. එවකට එජාප උප නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තම ඥාතියකු ද වූ රත්වත්තේ මහතාගේ ජයග්‍රහණය පිණිස පැවැති ප්‍රධාන රැස්වීමක් අමතමින් මෙසේ පැවසූ බව වාර්තාවන්හි දැක්වේ. ‘ඉලංගරත්න මහතා දේශපාලනයට බැස වෘත්තිය සමිති වැඩ කරන්නට ගිය නිසා අපරාදෙ රැකියාව නැතිකර ගත්තා. එතුමා හොඳ මනුස්සයෙක් වුණත් දැන් එයා කරදරේ වැටෙන්නයි යන්නෙ. ඡන්දෙත් පැරදුණා. ඡන්ද පෙත්සම් නඩුවෙනුත් පැරදුණා. දැන් මොන ක්‍රමයකින් හරි තමරා දිනුවොත් එයාට බිරිඳත් නැතිවෙනවා. ඒ මොකද කියනවා නම් එයා කවුන්සලේට යන්නෙ හොරගොල්ල හරහා. එහෙ මම ඉන්නවානෙ’ දෙපැත්ත කැපෙන කතා කීමෙහි රුසියකු වූ බණ්ඩාරනායක මහතා ඉඟියෙන් අභිනයෙන් රඟදක්වමින් කළ මෙම ප්‍රකාශය  ජනතාවගේ හාස්‍යය මතුකිරීමට සමත් විය. ඡන්දයෙන් තමරා ජයග්‍රහණය කළාය. ගතවූවේ ටික දිනකි. දේශපාලන බිමේ ස්ථිර සතුරන් හෝ මිතුරන් නැතැයි සුපුරුදු කියමනට අනුව තමරා ඉලංගරත්න මහත්මිය බණ්ඩාරනායක මහතාගේ ශ්‍රීලනිපය ආරම්භ කිරීමේදීම එම පක්ෂයට එක්වූවාය. එසේ ඇතිවූ ප්‍රතිපත්තිමය දේශපාලන සබඳතාව දිවි හිමියෙන්ම ආරක්ෂා කළ ඉලංගරත්න යුවළ පසුකාලීන රජයවල ප්‍රබලයෝ බවට පත්වූහ.


මේ ආකාරයෙන් මන්ත්‍රීධුර අහිමි වූවෝ සිය ගණනක් අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දැක්වේ. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් කිරීමට මෙම ලිපියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. එයින් අති බහුතරය මැතිවරණ වැරැදි සම්බන්ධ නඩුවල තීන්දුවලට අනුව කළ අහෝසි කිරීම්ය. එහෙත් අවසාන වශයෙන් තවත් එක් සුවිශේෂී සිදුවීමක්  අවධානයට යොමු කිරීම කාලෝචිතය. 1977 දී බලයට පත් රජය පත් කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාවක නිර්දේශය මත හිටපු අගමැතිවරියද වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේ අත්තනගල්ල මන්ත්‍රීධුරයෙන් නෙරපා හැරීම එම සිද්ධියයි. අගමැති ධුරය දරද්දී  බලය අයුතු ලෙස යෙදවීමද ඇතුළු චෝදනා කීපයක් යටතේ කොමිසම හමුවට පමුණුවන ලද ඇය එහි නඩු විභාගයට ඉදිරිපත් නොවූවාය. ඒක පාර්ශ්විකව කරන ලද පරීක්ෂණයෙන් සිරිමාවෝ මැතිනිය වැරැදිකාරිය බවට නිර්දේශ කරන ලද අතර එයට සමගාමීව 1980 ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවක් අනුව අත්තනගල්ලේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමට සහ ඇයගේ ප්‍රජා අයිතිය වසර හතකට අත්හිටුවීම සිදුවිය.


ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සහ පිළිපදින ජනතාවක් සිටින රටක මන්ත්‍රී ධුර අහෝසිකිරීම හෝ දිගටම පවත්වාගෙන යාමේ තීන්දුව දෙනු ලබනුයේ ජනතා පරමාධිපත්‍ය යැයි කියනු ලබන මහජනතාවටම පමණි. අතීතයේ සිදුවූවාක් මෙන්ම අනාගතයේදීත් ජනතා තීන්දුව නිසැකවම වැදගත්වනු ඇත.

සෝමසිරි වික්‍රමසිංහ