අගමැති ප්‍රේමදාසට පොලිසියෙන් සද්දයක්


 

දි වංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1988 දී මෙරට ජනාධිපති ධුරයට පත්වීමට පෙර දේශපාලන ක්ෂේත්‍රයට අදාළ විවිධ තනතුරු කීපයක්ම දරා තිබුණේය. ඒ අනුව ඔහු මුලින්ම තම දේශපාලන ගමන අරඹන ලද්දේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙනි. 


අනතුරුව ඉන් ඉදිරියට පය තැබූ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, කැබිනට් ඇමැති, අගමැති සහ විධායක ජනාධිපති වශයෙන් තේරී පත්වූයේ මහජන ඡන්දයෙනි. ඒ අනුව ප්‍රේමදාස මහතා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ පහළම තැනින් පටන්ගෙන ඉහළම ස්ථානය දක්වා ගිය කෘතහස්ත දේශපාලනඥයෙකු වශයෙන් කට පුරා හැඳින්විය හැකිය. 
එම මුල් කාලයේ සිටම ඔහු තුළ පැවැති විශේෂත්වයක් වූයේ කිසිම දෙයක් තම දෑසින් දැක හොඳින් අවබෝධ කර ගන්නා තුරුම ඊට අදාළ තීන්දු තීරණ ගැනීමට ඉක්මන් නොවීමයි. 
“මම කවුරුවත් කියපු පළියට හෝ කාගෙන්වත් අහපු පළියට තීන්දු ගන්නේ නෑ”යි කී එතුමා පසු කාලයක දී යම් ව්‍යාපෘතියක් හෝ යෝජනා ක්‍රමයක් ඇරඹීමට පෙර අදාළ ප්‍රදේශයටම ගොස් නිරීක්ෂණය කිරීමට පෙලඹී සිටියේය. පසුකාලයක දී ප්‍රේමදාස මහතා තම උදාගම් සංකල්පය ක්‍රියාත්මක කරනු ලැබුවේ ද අදාළ ප්‍රදේශයට ගොස් එහි පිහිටීම, පරිසරය, ස්වාභාවික සම්පත් සහ අඩු ලුහුඬුකම් ආදිය පිළිබඳව සියැසින්ම දැක බලා ගැනීමෙන් අනතුරුවය. 


ප්‍රේමදාස මැතිතුමා 1978 වසරේදී මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු වරක් මහව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ගොස් තිබුණේ එහි උදාගමක් පිහිටු වන ලෙස ප්‍රදේශයේ දේශපාලන බලධරයා විසින් කළ ඉල්ලීමක් පිළිබඳව සොයා බැලීමටය. 


අදාළ ප්‍රදේශයටම ගොස් පුළුල් වශයෙන් විමසා බැලූ අගමැතිවරයා එදින රාත්‍රිය ගත කිරීම සඳහා අඹන්පොළ පිහිටි තම වත්තට යන අතරතුර ඊට පසු දින තම නිලධාරීන් කීප දෙනෙක් එම ප්‍රදේශයට ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. එකල දැන් මෙන් ජංගම දුරකථන සේවාවක් නොතිබුණ අතර සාමාන්‍ය දුරකථන සේවය ද පැවතුණේ ඉතාමත් මන්දගාමී තත්ත්වයකය. “සර් පොලිසියට ගියොත් නං ඉක්මනට කෝල් එකක් ගන්න පුළුවන් වෙයි. මහව පොලිසිය තියෙන්නෙත් මේ ළඟමයි.” 


එසේ කී ආරක්ෂක නිලධාරියා මහව පොලිසිය අසල රිය නතර කරන ලෙස රියැදුරාට උපදෙස් දුන්නේය. 


“ඔය කට්ටිය එන්න ඕනෑ නැහැ. මම තනියම ගිහින් කෝල් එක අරගෙන එන්නම්”යි කී අගමැතිවරයා තම ආරක්ෂක නිලධාරීන් පිරිස ඔවුන් පැමිණි වාහනයේම නතර කරවා තනියම පොලිසිය තුළට ගියේය. එතුමා ඒ මොහොතේ සැරසී සිටියේ සුදු සරමකින් සහ දුඹුරු පැහැති බුෂ් කෝට් එකකිනි. ඒ මොහොතේ එයි කාර්ය භාර නිලධාරියා වශයෙන් සිටියේ තරමක් සැර පරුෂ සාජන්ට්වරයෙකි. 


කාකි කොට කලිසමකින් සහ සුදු පැහැති අත්දිග මේස් බැනියමකින් සැරසී යම් සටහනක් ලියමින් සිටි එම සාජන්ට්වරයා අසලටම ගිය ප්‍රේමදාස මහතා ‘රාලහාමි මට කොළඹට හදිසි කෝල් එකක් ගන්න පුළුවන්ද?’ යි ඇසුවේය. ආගන්තුක බුෂ්කෝට්කාරයාගේ එම ප්‍රශ්නයෙන් සාජන්ට්වරයා කොපමණ කෝපවූවාද යි කිවහොත් ඔහුට උන්හිටිතැන් පවා අමතක විය. ඔහු එලෙස කෝපවූයේ සාජන්ට්වරයෙකු වූ තමන්ට අර බුස් කෝට්කාරයා රාලහාමි යැයි ඇමතූ බැවිනි. තමන් අසලට පැමිණි අමුත්තා දෙසවත් නොබැලූ ඔහු ‘තමුසෙ හිතුවද මේක තැපැල් කන්තෝරුවක්ය කියලා’ යි වහලේ උළු කැට පවා කඩා වැටෙන තරම් හඬකින් බෙරිහන් දුන්නේය. 


‘රාලහාමි මට හදිසි කාරණේකටයි. කොළඹට කතා කරන්න ඕනෑ’ යි අමුත්තා යළික් වරක් කියද්දී ‘කවුද තමුසෙ මොකටද කොළඹට කතාකරන්නේ?’ යි ඇසූ සාජන්ට්වරයා තමන් ඉදිරියේ සිටි අමුත්තා දෙස රවා බැලුවේය. ඔහු එම ප්‍රශ්නය ඇසූ හඬින් කලබල වූ රාලහාමිලා කීප දෙනෙකුම එදෙස හැරී බලත්ම අමුත්තා කවුරුන් දැයි හඳුනාගත් ඔවුන්ගේ දෙනෙත් උඩගියේ ඉබේටමය. 


‘රාලහාමි මම ප්‍රේමදාස. හදිසි රාජකාරි වැඩකටයි මට කොළඹට කතා කරන්න ඕනෑ’ යි ඔහු යළිත් කියද්දි එක්වරම හිස ඔසවා අගමැතිවරයා දෙස බැලූ සාජන්ට් ඊළඟ මොහොතේ දියෙන් ගොඩ දැමූ මාළුවෙකු මෙන් ගැහෙන්නට විය. අනතුරුව වහා හුනස්නෙන් නැගී සීරුවෙන් සිට ආචාර කළ ඔහු, ‘ඉඳගන්න සර්’ යි කියමින් තමන් වාඩි වී සිටි අසුන අගමැතිවරයාට පිරිනැමුවේ සට සට ගා වෙවුලමිනි. 


එහෙත් ඒ දෙසවත් නොබලා අසල තිබූ බංකුවේ හිඳගත් අගමැතිතුමා තමන්ට අවශ්‍ය දුරකථන ඇමතුම ලබාගත්තේය. අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටව ගියේ ‘මීට පස්සෙ රාජකාරියෙ යෙදිල ඉන්නකොට තමන්ගෙ තනතුරට අදාළ නිල ඇඳුම ඇඳගෙන ඉන්න අමතක කරන්න එපා’ යි එම පොලිස් නිලධාරියාට අවවාදයක් ද කරමිනි.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි