සියලු සත්වයෝම මරණයට බිය වෙති. ජීවිතයට ආදරය කරති. තවත් එක් මොහොතක් හෝ වැඩිපුර ජීවත්වීමට ප්‍රිිය කරති. ලෝකයේ සනාතන ධර්මය එයයි. එනිසා බොදු ජනතාවගේ බහුතරය සතුන් මැරීම හෙළා දකිති. කිසිසේත්ම එවැන්නකට මැදිහත් නොවෙති. බෞද්ධ ඉගැන්වීම් අනුව ඔවුනට පනවා ඇති මූලික කොන්දේසි පහෙන් මුල්ම නියමය වන්නේ සතුන් මැරීමෙන් වළකින ලෙසයි. බෞද්ධයෝ ශක්ති ප්‍රමාණයෙන් එම ශික්‍ෂා පදය ආරක්‍ෂා කරති. තමනට හිරිහැර කරන මදුරුවෙකු වැනි කෘමි සතෙකු හැර වෙනත් සතෙකුගේ ජීවිතය හානි නොකළ බහුතර ජනතාවක් මෙරට සිටින බව කීවොත් එය සත්‍යයක් වනු ඇත. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී එවැනි පිළිවෙතක පිහිටා කටයුතු කරන බෞද්ධයෝ පොහොය දිනක දී සතකු මැරීමට කොහෙත්ම ඉදිරිපත් වන්නේ නැත.
එසේනම් අති උතුම් වෙසක් පොහෝ දිනයේ එවැනි දෙයක් සිදුවෙන්නේම නැත. මෙම පසුබිම තුළ වෙසක් උත්සවය සඳහා අමුත්තෙකු ලෙස මෙරටට පැමිණි විදේශීය රාජ්‍ය නායකයකු වූ රජ කෙනෙකු අතින් සිදුවූ ආන්දෝලනාත්මක සත්ව ඝාතනයක් ගැනත් එයින් අතිශය කෝපයට පත්වූ මෙරට අගමැතිවරයා මුහුණ දුන් අපහසුතාවත් මෙයින් විස්තර කෙරේ. එම වෙසක් උත්සවය ද වසරක් පාසා සිදු කෙරෙන වෙසක් උළෙලක් නොවීය. සිදුහත් කුමරු සම්බුද්ධත්වයට පත්වී දෙදහස් පන්සිය වසරක් සපිරෙන බුද්ධ ජයන්ති මහෝත්සවයේදී එයට සහභාගීවීමට පැමිණි රාජකීය අමුත්තෙකු අතින් මෙම සත්ව ඝාතනය සිදුවීමම විශාල අර්බුදයක් බවට පත්විය.
වර්තමානයේ දී ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන සුවිශාල රාජ්‍යය බුද්ධ කාලයේ හැඳින්වූවේ ජම්බුද්වීප හෙවත් දඹදිව යනුවෙනි. එය අපේ අටුවාවලින් දැක්වෙන ආකාරයට කොටස් තුනකට බෙදී තිබුණි. එනම් මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය සහ අන්තර් මණ්ඩලය යනුවෙනි. මෙයින් මහා මණ්ඩලය මධ්‍ය දේශය වූ බව කියවේ. යොදුන් නවසියයක් වූ මෙම මහා භූමි ප්‍රදේශය බුද්ධාදී උතුමන් වහන්සේලාගේ ජන්ම භූමිය ලෙස සැලකේ. මෙම මධ්‍ය මණ්ඩල ප්‍රදේශයේ සීමා වශයෙන් සඳහන් වන්නේ නැගෙනහිරින් කජංගලා නියම් ගම, ගිනි කොනින් සළලවතී ගඟ, උතුරින් උශීරධ්වජ පර්වතය, බටහිරින් ථූනා නම් බමුණුගම වශයෙනි. මෙසේ පැවති ජම්බුද්වීපය මහා ජනපද මෙසේ විය. අංග, මගධ, කෝසල, කාසි, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර සහ කාම්බෝජ යන දහසයයි.
මෙයින් සිදුහත් කුමරු උපත ලද මගධ දේශයේ එදා දේශ මායිම් වූයේ උතුරෙන් ගංගා නදිය ද නැගෙනහිරින් චම්පා නදිය ද නිරිත දිගෙන් වින්ධ්‍යා කඳු වැටිය ද බටහිරෙන් සෝනා නදියට ද වට වූ මගධ දේශය රාජගහ නගරය අගනගරය කොටගෙන පැවතියේය. රජගහනුවර සිට යොදුන් හැටකට ඈතින් පිහිටි කපිලවස්තු නගරය ප්‍රධාන කොටගත් ශාක්‍ය ජනපදය පිහිටියේය. හිමාල කඳුවැටියේ දකුණු පැත්තේ බෑවුම් ප්‍රදේශය ශාක්‍ය ජනපදයට අන්තර්ගත වූවේය. මෙකී ප්‍රදේශය ශුද්ධෝදන රජතුමා විසින් ආණ්ඩු කරන ලදී. පසුව සිද්ධාර්ථ බෝසත් තුමන් දහතුන් වසරක් රාජ්‍ය කළ බව කියවේ. උන්වහන්සේ ගිහිගෙය හැරයාමෙන් පසුව නැවතත් ශුද්ධෝදන රජ යටතට පත්වූ මෙම රාජධානිය භද්දිය නම් ශාක්‍ය රජුද ඉන්පසු මහානාම රජුද මෙම ජනපදය පාලනය කළ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
මෙහි සඳහන් කළ ශුද්ධෝදන රජතුමා තම ඇඹණිය ලෙස තෝරා ගත්තේ කෝලිය වංශික මහාමායා නමැති කුමාරියකි. දෙව්දහ නුවර ප්‍රධාන කරගත් එම රාජධානියේ අංජන නම්වූ රජුගේ දියණිය වූ මහාමයා දේවියට ලද පුත්‍රයා වූයේ සිද්ධාර්ථ කුමාරයාණන්ය. එම දරු උපත සිදුවූයේ ලුම්බිණි සල් උයනේ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. එම උයන ගැන ද මදක් අවබෝධ කර ගැනීමද යෝග්‍යය. දෙව්දහ නුවර වාසය කළ එක් සිටුවරයෙකුගේ ඉතා රමණීය උයනක් තිබුණි. දිනක් කෝලිය වංශික මහා සුප්‍රබුද්ධ රජු සිය බිසව ද සමග එම උයන බලන්නට ගියේය. උයනේ අලංකාරය දුටු එම බිසවට මෙය අයිතිකර ගැනීමේ ආශාවක් ඇතිවිය. ඇය තම සැමියා වූ සුප්‍රබුද්ධ රජුට ඒ බව කීවාය. රජතුමා උයන අයිති සිටුවරයා කැඳවා උයන මිල දී ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළේය. එහෙත් සිටුවරයා එම උයන විකිණීමට තමා තුළ කැමැත්තක් නැතැයි ප්‍රකාශ කළේය. එයින් සිදුවූයේ රජුට බිසවගේ ඉල්ලීම ඉටු කළ නොහැකි වීමයි. එයට පිළියමක් ලෙස රජු දෙව්දහ නුවරට කිට්ටු මහා වනාන්තරයක් හෙළි පෙහෙළි කර අලංකාර උයනක් තැන වූ බව කියනු ලැබේ. එය කලින් මිලයට ගැනීමට උත්සාහ කළ උද්‍යානයටත් වඩා අලංකාර ලෙස තැනූ බව මූලාශ්‍රවල දැක්වේ. රජු එයට එම බිසවගේ නම යොදා ලුම්බිණි යැයි නම් කළේය. සිදුහත් බෝසතාණන් උපත ලද ලුම්බිනිය මෙම සල්වනය පිහිටි උද්‍යානය වේ. බුද්ධ කාලයෙන් පසු සියවස් කීපයකින් රජ පැමිණි අශෝක අධිරාජයා එම ස්ථානයට පැමිණ සිදුහත් උපත නිසා පූජනීයත්වයට පත් මෙම ස්ථානය වන්දනාමාන කොටගෙන එම ස්ථානය බෝසතාණෝ උපත ලද තැන බවට ශිලා ලේඛනයක් මෙන්ම සුවිසල් කුලුනක්ද නිර්මාණය කරන ලදී.
මෙම අති පූජනීය ලුම්බිනිය වර්තමානයේ අයත් වන්නේ නේපාල රාජ්‍යයටය. ඉන්දියාව සහ චිනය අතර පිහිටි මෙම කඳුකර රාජ්‍යය සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දර දේශයක් වේ. අඩි දස දහසක පමණ උසකින් යුත් මනරම් එවරස්ට් කන්ද පිහිටා ඇත්තේ නේපාල් රාජ්‍යයේ නිසා එම කඳුතරණය සඳහා සංචාරකයෝ නිරන්තරයෙන් මෙහි ඇදී එති. ඈත අතීතයේදී ජම්බුද්වීප භූමි තලයට අයත්ව තිබුණද දහ අටවැනි සියවසේදී වෙනම ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ පෘතුවි නාරායන් ෂා නමැති පාලකයෙකු යටතේ බව නේපාල ඉතිහාසයේ සඳහන් වේ. ගුර්කා ජනතාවගේ රජු යන අර්ථයෙන් යුතුව ඔහු එරටට රජ පවුලක් නිර්මාණය කළ පුරොගාමියා විය. නොයෙකුත් හැල හැප්පීම් මැද මෙම රජ පවුල නේපාල රාජධානියේ පාලනය ගෙන ගිය අතර 1956 වසර වනවිට සිහසුන දැරුවේ මහේන්ද්‍ර රජුය.
සම්බුද්ධ වර්ෂ දෙදහස් පන්සියය ලබන විට විශාල උත්සව මාලාවක් පැවැත්වීමට එදා පැවැති සර් ජෝන් කොතලාවල අගමැතිතුමාගේ රජය කල් ඇතිවම කටයුතු සූදානම් කර තිබුණි. විශේෂ වැය ශීර්ෂයක් 1955 වසරේදීම සම්මත කරගෙන තිබූ අතර මෙම කටයුතුවල මූලිකත්වය ගත්තේ එවකට ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ඒ. රත්නායක මහතාය. මෙම උත්සවයේ විවිධ කටයුතු සංවිධානය කිරීම සඳහා අදාළ ක්‍ෂෙත්‍රයන් පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටු ගණනාවක් පත් කර තිබුණි. එමෙන්ම බුද්ධ ජයන්ති මහා උළෙලේ සාර්ථකත්වය සඳහා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහ පිළිගත් උගත් වියත් මහා සංඝයා වහන්සේලාගේ සහභාගීත්වයෙන් උපදේශක මණ්ඩලයක්ද පත් කර තිබුණි. රටපුරා වෙහෙර විහාරස්ථානවල ධර්ම දේශනා ඇතුළු වෙනත් පිංකම් පැවැත්වීම, ධර්ම ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම මගින් ධර්ම දානමය කටයුතු සිදුකිරීම, ත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ආදී කටයුතු රැසක් සඳහා අවශ්‍ය පියවර ගැණුනි. ගුණපාල මලලසේකර මහතාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ද තමන්ගේම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතරම රජයේ වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම සඳහා ද සක්‍රීය දායකත්වය දක්වමින් සිටියේය.
එක් දහස් නවසිය පනස් දෙකේ මහා මැතිවරණයෙන් බලයට පත් වූ ඩඞ්ලි සේනානායක මහතාගේ රජය ඒ වෙන විට අවසන්ව තිබුණි. 1953 ආර්ථික අර්බුදය සමග ඇතිවූ මහා හර්තාලයේ ප්‍රතිඵලයක් වශයෙන් ඩඞ්ලි සේනානායක මහතා අගමැති ධුරය හැරගොස් සිටියේය. අගමැති පදවියට පත්වූ සර් ජෝන් කොතලාවල මහතාගේ ක්‍රියාකාරකම් පමණක් නොව ඔහුගේ හැසිරීම ද රාජ්‍ය නායකයකුගේ පැවැත්මට සුදුසුවන පරිදි සිදු නොවීය. මෙවැනි නොයෙකුත් හේතු නිසා රජය දුර්වල වෙමින් පවතින බව කාටත් රහසක් නොවීය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, බුද්ධාගමට නිසි තැන ලබාදෙන බවට සහ දේශීයත්වය අගයන බවට ආදී වශයෙන් මහජන එක්සත් පෙරමුණ ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තියට මහජනතාවගේ නැඹුරුවක් ශීඝ්‍රයෙන් ඇතිවෙමින් තිබෙන බව වටහාගත් අගමැතිවරයා තත්ත්වය තවදුරටත් නරක අතට ගියහොත් සිදුවිය හැකි අනර්ථය සලකා 1957 මැද භාගය තෙක් ආයු වින්දනය කළ හැකිව තිබූ පාර්ලිමේන්තුව වසර එකහමාරකට පමණ පෙර විසුරුවා හැරීය. එනිසා 1956 අප්‍රේල් මාසයේ 5, 7 සහ 10 වැනි දිනවල මහා මැතිවරණය පැවැත්වීමට කටයුතු කෙරුණි.
පෙර සඳහන් කළ ප්‍රතිපත්ති මත තරග කළ මහජන එක්සත් පෙරමුණ දීප ව්‍යාප්ත මහා ජයග්‍රහණයක් ලැබීය. එය දේශීයත්වයේ ජයග්‍රහණයක් බව පෙනෙන්නට තිබුණි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ මෙහෙයවීමෙන් ලද එම ජයග්‍රහණය සමාජයේ කොන්වීමට ලක්ව සිටින පෙර කී සමාජ කොටස්වලට නිසි තැන ලැබීමකැයි හැඟීමක් ජනතාව තුළ ඇති කිරීමට ම.එ.පෙ. නායකයෝ සමත් වූහ. පෙර සිදු නොවූ වෙනස්කම් ද සිදුවෙමින් තිබුණි. ටයි කෝට් පැලඳ, බටහිර ඇඳුමින් සැරසී, බි්‍රතාන්‍යයෙන් ලැබුණු නම්බුනාම පදක්කම් දවටාගෙන ඇමතිවරුන් දිවුරුම් දීම අතහැර දමා තිබුණි. සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසුණු අමාත්‍යවරු දිව්රුම් දුන් වහාම සමන් මල්වට්ටි රැගෙන කැලණි රජමහා විහාරයට ගොස් බුදුන් වැඳ පුදාගෙන තම කටයුතු ඇරඹූහ. එම රජයේ ප්‍රථම කාර්යයක් ලෙස සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටුවා එහි අමාත්‍යවරයා වශයෙන් ප්‍රකට දේශපාලනඥයෙකු වූ ජයවීර කුරුප්පු මහතා පත් කිරීම සිදු විය. දේශීය සාහිත්‍යය කලාව, සභ්‍යත්වය හා අනෙකුත් අදාළ අංශ දියුණු කිරීම එම අමාත්‍ය අංශයට භාර කෙරුණි.
තවත් මාසයකින් එළඹෙන බුද්ධ ජයන්ති මහෝත්සවයට අවශ්‍ය සියලු කටයුතු නව රජයේ මෙහෙයවීම මත සිදුවෙමින් තිබුණි. අලුත් රජයේ ක්‍රියා පිළිවෙත නිසා ජනතාව තුළ නව ප්‍රබෝධයක් ඇතිව තිබුණ බවද පැහැදිලිව දක්නට තිබුණි.
පෙර සඳහන් කළ ආගමික හා ඓතිහාසික පසුබිම මත බුද්ධ ජයන්ති උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස බුද්ධාංකුර සිද්ධාර්ථ කුමාරයා උපත ලත් ලුම්බිණි සල්උයන ඇතුළත් නේපාල රාජධානියේ කිරුළ දරන මහේන්ද්‍ර වීර වික්‍රම් ෂා රජුට ආරාධනා කිරීම අතිශයින්ම ප්‍රායෝගික විය. එතුමා දිවයිනට සම්ප්‍රාප්ත වූයේ රාජ දේවිය ද සමගය. නිසි රාජ්‍ය තාන්ත්‍රික වත් පිළිවෙත් සහිතව ලංකාණ්ඩුව විසින් එතුමා පිළිගන්නා ලදී. මෙරටේ ගත කරන කාල සීමාව තුළදී සන්තුෂ්ඨිදායක සංචාරයක් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට කටයුතු සංවිධානය කෙරුණි. ඒ වෙනුවෙන් සිදු කළ තවත් එක් ව්‍යාපෘතියක් වූයේ අපේ පැරණී රාජධානින් වූ අනුරාධපුරය සහ පොළොන්නරුවේ සිද්ධස්ථාන සහ නටබුන් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දීමය.
වෙසක් උත්සවය වර්ණවත් කිරීම සඳහා ආරාධනා ලැබුවා වුවත් නේපාලයේ මහේන්ද්‍ර රජු බෞද්ධයෙකු නොවූවේය. ඔහු තෝරා ගැනුණේ මුලින් සඳහන් කළ පරිදි ලුම්බිනියේ වත්මන් පාලකයා වශයෙන් පමණි. මෙම තත්ත්වය හේතු කොටගෙන බෞද්ධ සංස්කෘතිය ගැන හෝ බොදු ඉගැන්වීම් ගැන කිසිවක් දැන සිටියේ නැත. එමෙන්ම වෙසක් පෝය සමයේදී බොදුනු ජනයා හැසිරෙන, අනුගමනය කරන පිළිවෙත සිරිත් විරිත් කිසිවක් ගැන අවබෝධයක් ලබා තිබුණේ නැත. ඔහු තුළ තිබුණේ රාජ මාන්නය සහ හින්දු වත් පිළිවෙත් ගැනවූ දැනුම පමණි. අනුරාධපුර සිද්ධස්ථාන දැක බලා ගෙන ආපසු පැමිණෙන ගමනේ දී විල්පත්තු අභය භූමියට ගොස් එහි නිදහසේ වෙසෙන සතුන් දැක බලා රජු සතුටට පත් කිරීම ද වැඩසටහනේ අංගයක් ලෙස දක්වා තිබුණි. හිමාල කඳු වැටියේ හිම මිදුණු එවරස්ට් මිටියාවතේ අධික ශීතලෙන් යුතු ප්‍රදේශවල මෙන් නොව සම ශීතෝෂ්ණ දේශගුණයක් දරන ශ්‍රී ලංකාවේ ගහ කොළ සතා සිව්පාවුන් පිරි ඝන වාන්තරය දුටු රජුගේ නෙත් සිත් සතුටින් පිනා ගියේය. එහෙත් එම ප්‍රීතිය සොබා දම් දිනිතියගේ නිර්මාණය කෙරෙහි වන ආදරය භක්තිය හෝ සතුට දනවන්නක් වූවේ නැත. ඔහුගේ සතුට වූයේ වනයේ ගැවසෙන සිය ගණනක් වූ මුව රංචුවකින් එක් මුවෙකු මරා දමා දඩ කෙළියේ යෙදීමය. එක් වැව් පිටියක නැවතුණු රාජකීය යුවළ ප්‍රමුඛ පිරිස නිදහසේ තණ උලා කමින් එහෙ මෙහෙ දුව පැන ඇවිදිමින් සිටින මුව රංචුවක් දෙස බලා සිටියහ. එහිදී මහේන්ද්‍ර රජු ඔහුගේ පරිවාර ආරක්‍ෂක නිලධාරියා වූ හෙන්රි කොරෙයා මහතා අමතා තමාට මුවෙකු දඩයම් කිරීමට අවශ්‍ය බවත් එනිසා තුවක්කුවක් ලබා දෙන ලෙසත් දන්වා සිටියේය. රාජකීය අමුත්තාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ශ්‍රී ලාංකේය සංස්කෘතිය ගැන අවබෝධයක් ඇත්තෙකු වශයෙන් එම ඉල්ලීම ඉටු කිරීමට හෝ නොහැකි උභතෝකෝටියකට මුහුණ දුන් පොලිස් නිලධාරි හෙන්රි කොරෙයා මහතා දෙලොවක් මැද අතරමං විය. රජුගේ අපේක්‍ෂාව ඇසූ ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා පැමිණ සිටි ගුර්කා සේනා නිලධාරියෙකු තමාගේ තුවක්කුව රජු අතට දුන් බව කියැවේ.
ගතවූයේ මොහොතකි. තමා අතට පත් තුවක්කුවෙන් එල්ලය ගෙන පුෂ්ටිමත් මුව නාම්බෙකු වෙත වෙඩි පහරක් මුදා හැරීමට රජු කටයුතු කළේය. මුවා මැරී වැටුණි. රජු තමාගේ ම්ලේච්ඡ ආශාව ඉටු කර ගත්තේය. මහේන්ද්‍ර රජුගේ සංචාරය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීහු පිරිසක්ද මේ අතර වූහ. වෙසක් සමයේ, විශේෂයෙන් බුද්ධ ජයන්ති වෙසක් දිනවල එම උත්සවයට පැමිණි ආරාධිත අමුත්තා මුවෙකු මරා දැමුවා යැයි යන ප්‍රවෘත්තිය ඔවුනට මුව මස්වලටත් වඩා රස මසවුලක් බවට පත්වූයේ නිරායාසයෙනි. අද මෙන් සන්නිවේදන පහසුකම් නොතිබුණා වුවත් මාධ්‍යවේදීහු නොයෙකුත් උපක්‍රම මගින් මෙම ප්‍රවෘත්තිය තම ආයතනවලට ලබා දුන්හ. නේපාල රජු සහ පරිවාර පිරිස කොළඹට ආපසු පැමිණෙන විට මෙම අසුන්දර පුවත නිසා ඉහළ තැන්වල ගිනි ඇවිළී තිබුණි. අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනයක මහතා බලවත් අසීරුවට පත්විය. ඔහු කෝපයෙන් වියරු වැටී තිබුණි. අගමැතිවරයා හෙන්රි කොරයාට සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඔහු දන්නා සියලුම රළු වචන පාවිච්චි කරමින් බැණ වැදුණේය. අගමැතිවරයා එතරම් කෝපයට පත්වූ අවස්ථාවක් තමා දැක නැතැයි අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඞ්මන් වීරකෝන් මහතා සටහන් කර ඇත්තේ එබැවිනි.
සෝමසිරි වික්‍රමසිංහ