අගමැති ගිවිසුම ඉරා දමයි


 

සෘජු මැතිවරණ
(ඈ) රට සභා නියෝජිතයන් කෙළින්ම පත් කිරීම සඳහා විධිවිධාන සැලසීම, ඡන්දදායක කොට්ඨාස වෙන් කිරීම සඳහා කොමිසන් සභාවක් හෝ කීපයක් පත්කිරීම සඳහා විධිවිධාන සැලසීම, රට සභාවලට ඇතුළත් වන දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රට සභාවල මන්ත්‍රීවරුන් වශයෙන් ක්‍රියාකිරීමට බලය දීමේ ප්‍රශ්නය සඳහා සලකා බැලිය යුතුව ඇත. රජයේ දිසාපතිවරුන් රට සභා කොමසාරිස්වරුන් බවට පත්කිරීමේ ප්‍රශ්නයද සලකා බැලිය යුතුය.


විශේෂ බලතල 
(ඉ) පාර්ලිමේන්තුව විසින් බලතල පැවරීම හා එම බලතල පනතින් විග්‍රහ කිරීම, කෘෂිකර්මය හා සමූපකාර ව්‍යාපාරය, ඉඩම් හා ඉඩම් සංවර්ධනය, ජනපද පිහිටුවීම, අධ්‍යාපනය, සෞඛ්‍යය, කර්මාන්ත හා ධීවර කර්මාන්තය, නිවාස සහ සමාජ සේවය, විදුලි බලය, ජල කර්මාන්ත හා මංමාවත් ඇතුළු නිශ්චිත කටයුතු සම්බන්ධයෙන් රට සභාවලට බලය තිබිය යුතුයැයි ගිවිස ගන්නා ලද අතර බලතල පිළිබඳව අවශ්‍ය පැහැදිලි කිරීම් පනතට අඩංගු කරනු ලැබේ.


ජනපද යෝජනා ක්‍රම
(ඊ) ජනපද යෝජනා ක්‍රම සම්බන්ධයෙන් රට සභාවලට හිමි බලතල අතරට, තම බලප්‍රදේශය තුළ පිහිටි ඉඩම් පවරා දිය යුතු සුදුස්සන් තේරීමේ බලයත් එවැනි යෝජනා ක්‍රමයන්හි යෙදවිය යුතු නිලධාරීන් තේරීමේ බලයත් ඇතුළත් විය යුතුයැයි ගිවිස ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් දැනට ගල්ඔය සංවර්ධන මණ්ඩලයෙන් පාලනය වන ප්‍රදේශයේ තත්ත්වය සැලකිල්ලට භාජනය කිරීම අවශ්‍යයි.


බදු හා ණය
(උ) යෝජිත කෙටුම්පතට අනුව රට සභා සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යවරයාට ඇති බලතල අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුවට පැවරීමේ අදහස ඇතිව පනත් කෙටුම්පත ප්‍රතිසංශෝධනය කිරීම.


(ඌ) මධ්‍යම ආණ්ඩුව විසින් රට සභාවලට තොග වශයෙන් ආධාර මුදල් සැපයීම, ආධාර මුදල් ගණන් බැලීම පිළිබඳ ප්‍රතිපත්ති සැලකිල්ලට භාජනය කිරීම, බදු අය කිරීම හා ණය ගැනීම පිළිබඳ බලතල රට සභාවට හිමි වන්නේය.


මෙම නිවේදනය ප්‍රකාශයට පත්වීමත් සමගම රටපුරා ජාතිවාදී බලවේග ඇවිස්සුණි. සිංහල ජනයා පාවාදී ඇතැයි සිංහල අන්තවාදී බලවේග චෝදනා කළ අතර ද්‍රවිඩ ජනයා පාවාදී ඇතැයි ද්‍රවිඩයෝ චෝදනා කළහ. මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය, වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න ආදීහු සිංහල පාර්ශ්වයේ ඉදිරියෙන්ම සිටියහ. ජී. ජී. පොන්නම්බලම්, සී. සුන්දරලිංගම් ආදී නායකයෝ දෙමළ කොට්ඨාසයේ ප්‍රමුඛත්වය ගත්හ. එම උසිගැන්වීම් මත බණ්ඩාරනායක රජයට සහ චෙල්වනායගම් මහතාට විරුද්ධව විශාල ප්‍රචාරයක් දියත් වුණි. 1956 පරාජයෙන් පසු මඳක් පසු මා සිටි එක්සත් ජාතික පක්‍ෂයද පවතින දේශපාලන වාතාවරණයේ වාසිය ලබා ගනු පිණිස කල එළි බැස්සේය. එය බණ්ඩාරනායක -  චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව දෙවිවරුන්ගේ ආශිර්වාදය පතා මහනුවරට කොළඹ සිට දැවැන්ත පා ගමනක් සංවිධානය කරනු දක්නා ලදී. මෙම පා ගමන නුවර දක්වා ගියහොත් ගැටුම් ඇති වී, තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට පත්වනු ඇතැයි වටහාගත් අගමැතිවරයා එය වළක්වන ලෙස තමාගේ හිතෛෂී දේශපාලන සගයෙකු වූ ගම්පහ මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාට උපදෙස් දුන් බව කියවේ. එයට ප්‍රතිචාර දැක්වූ ඇස්. ඩී. තම අනුගාමිකයන් පිරිසක් සමග ගම්පහ ආසනයේ මායිම වූ ඉඹුල්ගොඩ කන්ද කපාපු හන්දියේදී පා ගමන්කරුවන්ට ගමන් මග අවහිර කරනු ලැබූ බව කියවේ. කෙසේ හෝ දැවැන්ත පෙළපාළිය ඉඹුල්ගොඩදී ආපසු හැරවීමට ඇස්. ඩී. සමත් විය. 


ගරුතර ස්වාමීන් වහන්සේලාගේ විරෝධය තවත් පාර්ශ්වයක උණුසුම් වෙමින් තිබුණි. එහි උච්චතම අවස්ථාව සටහන් කරමින් අගමැතිතුමාගේ රොස්මිඞ් පෙදෙසේ නිවස ඉදිරිපිට සංඝයා වහන්සේලාගේ සත්‍යග්‍රහයක් පැවැත්වුණි. එයට නායකත්වය දුන්නේ රජය බලයට පත්කිරීමට මහත්සේ කැපවීමක් කළ පිරිසකි. දැවමොට්ටාවේ අමරවංශ හිමි, තල්පාවිල ශීලවංශ හිමි, ආදී ස්වාමීන් වහන්සේලා ඒ අතර මුල්තැන ගත්හ. එම සත්‍යග්‍රහය පැවැත්වුණේ අගමැති නිවස ඉදිරිපිට මහ මාවතේය. එනිසා අගමැතිතුමා මහත් අපහසුතාවට පත්විය. මෙම ගැටලුව ගැන පහදාදීමට අගමැතිවරයා සත්‍යග්‍රහකරුවන් හමුවට ගියේය. භික්‍ෂූන් වහන්සේලාගේ තදබල දෝෂාරෝපණයකට ලක්වීමට ඔහුට සිදුවිය. ඒ මොහොතේම ගිවිසුම ඉරා දමන ලෙස හිමිවරු එතුමාට බලකළහ. එම බලපෑම මත අගමැතිවරයා බණ්ඩාරනායක - වෙල්වනායගම් ගිවිසුම සිය අතින්ම ඉරාදමා එය අහෝසි කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.


චෙල්වනායගම් මහතා කෝපයට පත්විය. ෆෙඩරල් පක්‍ෂය සටනට බැස්සේය. සිංහල ශ්‍රී අකුර සහිත අංකය සහිත වාහනවල තාර ගෑමේ ව්‍යාපාරයක් උතුරෙන් බිහිවිය. සිංහල ප්‍රදේශවල දෙමළ නාම පුවරුවල තාර ගෑමෙන් ප්‍රතිචාර දක්වනු ලැබුහ. මෙය කෙතරම් දුර දිග ගියාදැයි කියතොත් ඉතිහාසයේ ප්‍රථම වරට මහා ජාතිවාදී ගිනි ජාලාවක් බිහිවූවේය. එතෙක් සිංහල - දෙමළ ජනවර්ග දෙකම ජීවත්වූවේ සහෝදරයන් මෙනි. ප්‍රථම වරට මෙම ප්‍රජාවන් දෙක එකිනෙකා මරාගත්හ. පසු කලෙක අවාසනාවන්ත තිස් අවුරුදු යුද්ධය ඇතිවීමටද මෙම ගිවිසුම් අහෝසි කිරීම බලපෑ බව විද්වතුන්ගේ මතය වී ඇත. වර්තමානයේදීත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙන් පවා අපේක්‍ෂා කරනුයේ යුද්ධයේ අමිහිරි තුවාල අමතක කර ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම බව කියැවේ. එවැනි බැරෑරුම් අවස්ථාවකදී අපේ අතීත අත්දැකීම් සිහිපත් කිරීමද කාලෝචිත වනු නිසැකය.

සෝමසිරි වික්‍රමසිංහ