ශ්‍රී ලංකාවේ දෙවැනි අගමැතිවරයා ලෙස කටයුතු කළ ඩඞ්ලි සේනානායක මහතා අභාවප්‍රාප්ත වූයේ 1973 වසරේ අප්‍රේල් මස 13 වැනිදාය.
ඩඞ්ලි සේනානායක මහතා රෝහල් වාට්ටුවක් තුළ මියයන මොහොතේ ඔහුගේ ඇඳ අසල රැඳී සිටිමින් සාත්තු සප්පායම් කළ, බෙහෙත්හේත් ලබාදුන් හෙද නිලධාරිනියකවන මැගී පෙරේරා මහත්මිය එතුමාගේ අභාවය සිදුවූ ආකාරය ගැන සංවේදී ලිපියක් 1973 වසරේ අප්‍රේල් මස 22 වැනිදා ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද “ශ්‍රී ලංකාදීප” පුවත්පතේ ලියා පළකර ඇත.
එම ලිපිය සහිත පුවත්පත සුරැකිව තබාගෙන මා අතට පත් කළේ ඉපැරණි දේවල් අගය කරන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී කේ. එම්. එච්. බෝවල මහතාය.
ඒ නිසා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී බෝවල මහතාට ඉරිදා ලංකාදීපයේ දියතේ විශේෂ ස්තූතිය පිරිනමමි.
මම එතුමාගේ ඇඳ අසල රැඳී සිටියෙමි යන ශීර්ෂ පාඨය යටතේ “ශ්‍රී ලංකාදීප” පුවත්පතේ එම සංවේදී ලිපිය පළවී ඇත්තේ මැගී පෙරේරාගේ ඡායාරූපයක්ද සමගිනි.
මීට වසර 44කට ඉහත දී පළවූ ඒ ලිපිය මෙසේ පෙළ ගස්වන්නෙමු.
මේ රටේ සිවුවරක්ම අගමැති පදවිය දැරූ ශ්‍රේෂ්ඨම නායකයකු වූ ඩඞ්ලි සේනානායක මහතා අවසන් හුස්ම හෙළන විට මම එතුමාගේ ඇඳ අසල රැඳී සිටියෙමි.
එතුමා අභාවප්‍රාප්ත වන මොහොතේ එතුමාගේ ලෙඩ ඇඳ අසළ සිටීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් ලෙස සිතුනිද එය වසාගෙන සිත් සතන්හි පැතිරෙන සංවේගයෙන් මම ඉමහත් වේදනා විඳිමි.
සිදුවූ සියල්ල හරියට මැදියම් රැයෙක දුටු සිහිනයකි. ඒ එක්කම දුක් සිහිනයකි. වේලාව රාත්‍රී 11.20ය. සේනානායක මහතා කොළඹ කොල්ලුපිටියේ ඩර්ඩන්ස් රෝහලේ අංක 30 කාමරයේ ඇඳ මත වැතිරී සිටී. ආටිගල, විජේනායක, ප්ලේටර් කල්දේරා යන විශේෂඥ දොස්තර මහත්වරු එතුමාගේ ඇඳ අසල රැඳී සිටිති. සිංහල අලුත් අවුරුද්ද උදාවී මොහොතක් ගතවුණා පමණි. මහ විපතක් අප හැම ගිලගන්නට එන්නාක් මෙන් වටපිටාව අඳුරු, මූසල ගතියක් පෑවේය. මේ අවිනිශ්චිත මොහොතේ කාමරය තුළ සියල්ල නිහඬය. මේ නිහඬ බව මැකී යන්නේ සේනානායක මහතා සිහින් හඬින් නගන කෙඳිරිල්ලකිනි.
වෛද්‍යවරු ඇඳ අසලම රැඳී බලා සිටිති. වාට්ටුවේ ටෙලිෆෝනය නොකඩවා නාද වෙයි. මට ඒ ටෙලිෆෝනයේ හඬ නෑසෙයි. මේබල් සේනානායක හෙද සොහොයුරිය සේනානායක මහතාට අන්තිම ඉන්ජෙක්සනයද විද්දාය.
මගේ තාත්තා අවුරුදු 68ක් ජීවත්වුණා. මම අවුරුදු 61ක් ජීවත්වුණා ඇති නේද? යි එදා උදේ සේනානායක මහතා මා සමග කී සැටි මට මතක් වෙයි.
සර් ඊට වඩා කාලයක් ජීවත් වෙන්න ඕනෑ. සර්ට දැන් සනීප නිසා තව අපේ ආයුෂත් අරගෙන ජීවත්වෙන්න කියා මා කී විට එතුමා මුව පුරා ස්තූති කළේය.
13 වැනිදා සවස 4.00ට පමණ වූ මේ කතාබහ දැන් මගේ හිතේ ඇඳී මැකී යළිත් අලුත්වෙයි. එතුමා තම මරණය ගැන නොදැන සිටියත් අපේ එකම බලාපොරොත්තුව තිබුණේ මේ ජන නායකයා ජීවත්කරලීමට හැකි සෑම උත්සාහයක්ම දැරීමයි.
ඩඞ්ලි සේනානායක මහතාගේ සොහොයුරු රොබට් සේනානායක මහතාත් ඔහුගේ බිරිඳත් ඇඳ අසල වටවී කඳුළු සලමින් සිටියහ. තවත් නෑදෑ හිතවතුන් සියයකට අධික පිරිසක් එළියේ රැස් කකා සිටිති. එහෙත් කිසිම ශබ්දයක් අවටින් නොනැගෙයි.
දැන් වේලාව රාත්‍රී 10.00ට පමණ ඇත. බලවත්සේ රෝගාතුරව සිටි ඩඞ්ලි සේනානායක මහතා හදිසියේම ඇඳෙන් නැගිට “මම ඉන්නේ කොහේද? මාව ඉස්පිරිතාලයකට ගෙනියන්න. මට අද පිම්මක් පනින්න ඕනෑ” යැයි කියාගෙන ගියේය.
“සර් අසනීපයෙන් දැන් ඉන්නේ ඉස්පිරිතාලේ තමයි. ටිකක් විවේකගන්න” යැයි මම කීවෙමි. දොස්තර මහත්වරු මුවෙන් නොබැණ වෙන්න යන්නේ කුමක්දැයි බලා සිටිති. කෙනෙකු බෙහෙතක් විදින අතර තවත් කෙනෙක් බොන්න බෙහෙතක් දෙයි.
දේශපාලන ජීවිතයේදී සේනානායක මහතා තුළ දක්නට ලැබුණු ධෛර්යය ඒ අයුරින්ම අවසන් මොහොත දක්වාම නොඅඩුව තිබිණි. එතුමා ඇඳෙන් නැගිටීමට තැත් කරන විට ඇඳ අවට සිටි දස දෙනෙක් පමණ එතුමා අල්ලා ඇඳේ නිදිකරවීමට තැත් කළහ.
ඩඞ්ලි සේනානායක මහතා සිටි කාමරයේ ඇඳ ඉහ ඉද්දරින් තිබූ බිත්ති ඔරලෝසුවේ විනාඩි කටුව ගමන් කරන හඬට වැඩි හඬක් මුළු කාමරය තුළම ඇසෙන්නට නැත. දොස්තරවරු මේ නායකයා තවත් ජීවත්කරලීමට ඉමහත් උනන්දුවක් දක්වති. මම ද මේබල් සේනානායක හෙද සොහොයුරියද ඒ අදිටනින්ම ඔවුන්ට සහාය වීමු.
ඩඞ්ලි සේනානායක මහතා ප්‍රථමවරට රෝහලට පැමිණි දිනය මට තාම මතකයි. ඒ පෙබරවාරි මාසයේ 23 වැනි දිනය. ඔහු වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිට 25 වැනිදා ගෙදර ගියේය.
ඔහු යළි 27 වැනිදා පැමිණ සාත්තු කළ සියලු දෙනාට තෑගි බෝග ලබාදී ස්තූතිකර පිටත්ව ගියේය. අපි ඔහුට යළි රෝගයක් නොවැලඳේවා යැයි පැතීමු.
එහෙත් අපේ පැතීම ඉටු නොවිණ. ඩඞ්ලි සේනානායක මහතා යළි බලවත් සේ රෝගාතුරව අප්‍රේල් මස 03 වැනිදා රෝහලට ඇතුළත් විය.
5, 6, 7, 8 යන දින සාමාන්‍ය ලෙස ගෙවී ගියේය. 9 වැනිදා රාත්‍රී සුපුරුදු පරිදි නිදාගත් නමුත් අලුයම දෙකට පමණ ඔහුට හුඟක් අමාරුවිය. වහාම වෛද්‍යවරු කැඳවන ලදහ. අවශ්‍ය විශේෂ ප්‍රතිකාර සලසන ලදී. පසුවදා අලුයම 7 වන විට එතුමා තරමක් සුව අතට හැරිණි.
10දා උදේ ඇමරිකාවේ සිට පැමිණි විශේෂඥ වෛද්‍යවරයා ඩඞ්ලි සේනානායක මහතා පරීක්ෂාකර බැලුවේය. 11 සහ 12 යන දින දෙකද සාමාන්‍ය ලෙස ගෙවී ගියේය. වෛද්‍යවරු විශේෂ පරීක්ෂාවෙන් සේනානායක මහතාට ප්‍රතිකාර කරති.
12 වැනිදා උදේ නවයට දොස්තර ආටිගල මහතා ඇවිත් පරීක්ෂාකර බලන විට “අද මට හරියට තිබහයි. ඇයි බොන්න දෙයක් දෙන්නේ නැත්තේ. සේලයින් විතරද බොන්න දෙන්නේ. ජින්ජර් බියර් බොන්න ටිකක් දෙනවාද” කියා එතුමා විමසීය.
දොස්තර ආටිගල මහතා කිසිවක් කියා සිනාසුනා පමණි. “සර්ට බොන්න දෙන්න හොඳ නැහැනේ. නැත්නම් දොස්තර මහත්තයා නියම කරයි. හොඳ නැති නිසා තමා සර්ට දෙන්නෙ නැත්තේ” කියා මම කීවෙමි. එවිට ඩඞ්ලි සේනානායක මහතා කිසිවක් නොකියා බලා සිටියේය. එවිට ඩඞ්ලි සේනානායක මහතාට අංශක 101ට උණ නැග තිබිණි.
වහාම වෛද්‍යවරු කැඳවා ඔහුට විවේකයෙන් සිටීමට සැලැස්වීමි.
ඒ අවස්ථාවේ සිටම නෑදෑ හිතවතුන් නොකඩවා රෝහලට පැමිණෙන්නට පටන්ගත් නමුත් ඔහුට ඒ කිසිවක් මතක නැත. නෑදෑ හිතවතුන් රෝහල අවට භූමියේ රැස්කකා සිටි අතර රොබට් සේනානායක යුවළ පමණක් ඇඳ අසල රැඳී සිටියහ.
ඩඞ්ලි සේනානායක මහතාට අමාරුවන විට එතුමාගේ නහර ඉලිප්පී අමාරු බව මුලින් දැන ගන්නට ලැබුණත් එතුමා කිසිවිටකත් තමාට අමාරු බව කියා කාටවත් කරදර නොකරයි. එහෙත් ළඟ සිටින අයට ඔහුට අසාධ්‍ය බව මුහුණෙන් පෙනී ගිය නිසා වහාම අවශ්‍ය ප්‍රතිකාර සැලැස්සුවෙමු.
පවුලේ අනෙකුත් අය ඩඞ්ලි සේනානායක මහතා සිටි කාමරය හොඳ නැති බව කියා නව ගොඩනැගිල්ලේ අලුත් වාට්ටුවේ කාමරයක් ලබාදීමට තැත්කළ නමුත් එතුමා ඊටද කැමැත්ත පළ කළේ නැත. එතුමා හැමවිටම විනීතව, නිහතමානීව කතාකරයි. රෝහලේ සියලුම සේවක සේවිකාවන්ට කාරුණිකව කතා කරයි. කිසිවිටෙක කේන්තියෙන් පසුවූයේ නැත. මේ නිසා ඩඞ්ලි සේනානායක මහතාට අසාධ්‍යවූ හැම විටකම මුළු රෝහලේම සුළු සේවකයාගේ පටන් ඉහළම තැනැත්තා දක්වා සියලු දෙනාම මේ නායකයාගේ ජීවිතය ගලවා ගැනීම සඳහා කටයුතු කළහ.
ඩඞ්ලි සේනානායක මහතා අවසන් හුස්ම හෙළන මොහොතේම මා හඳුනන පත්‍ර කලාවේදියෙක් ටෙලිෆෝනයෙන් කතාකර නායකතුමාගේ සැපදුක් විමසීය. මට ඔහුට උත්තර දීමට හෝ කතා කිරීමට හඬක් නැත. මම ඉකි බිඳිමින් කඳුළු හෙළුවෙමි. ඔහු සිදුවී ඇති විපත තේරුම් ගන්නට ඇතැයි සඳහන් කරමින් හෙද නිලධාරිණී මැගී පෙරේරා සිය සටහන අවසන්කර ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය