අගමැති ප්‍රේමදාසට ‘දිවැස්’ ලැබෙයි


 

නිට්ටඹුව, රන්පොකුණුගමින් පස්සේ ඊළඟට රුක්මලේ රුක්මල්ගම, ඊළඟට පොල්ගස්ඕවිට මත්තේගොඩ. මේවායේ පසු විපරම් කටයුතු වෙනුවෙන්ද වැඩපිළිවෙළක් තිබුණා. අමාත්‍යාංශය යටතේ පැවති පොදු පහසුකම් මණ්ඩලය පහසුකම් සැපයීම වෙනුවෙන් යොදා ගැනුණා. අංග සම්පූර්ණ නිවාස සංකීර්ණ හිමිකෙරුණේ ගමින් නගරයට සංක්‍රමණය වී රැකියා කරන රජයේ සේවකයන්ට (ඔවුන් විවාහ වී සිටිය යුතුවීම සුදුසුකමක් වී තිබුණා).

උදාගම් සංකල්පයේ තිඹිරිගෙය වුණේ ප්‍රේමදාස මහතා යාපහුවේ සියඹලාගස යටදී පැවැති කතාබහකදී. මේ තුන්දෙනාගේ ධාවන තරගය දෙස බලා සිටි ප්‍රධාන පුද්ගලයා වුණේ අගමැති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමායි.


ඔහු බලා සිටියේ ධාවන තරගයෙන් දිනන්නේ කවුරුන්ද කියලයි. ප්‍රේමදාස ඇමැතිවරයා විවෘත කරන හැම උදාගමකටම විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් කැඳවීම ලැබුණේ ජයවර්ධන අගමැතිවරයාට. ඔහු පැමිණ ඔසවන්නට තිබූ කොඩි තුනෙන් එසැවුයේ ජාතික කොඩිය. ප්‍රේමදාස ඇමැතිවරයා අගමැති ජයවර්ධන මහතාව කැඳවාගෙන උදාගම්මානය පුරා යන්නේ හරියට කළ හපන්කම් පෙන්වන්න වගෙයි. ගෙවල් පමණක් නෙමෙයි. සශ්‍රීක ලෙස වැඩුණු ගෙවතු පලදරමින් තිබීමත් සියලු යටිතල පහසුකම් ගම්මානය තුළ සපුරා තිබීමත් යන කරුණු මත අගමැතිවරයා ඉතා තෘප්තිමත් වුණා. ඒ විතරක් නොවෙයි. ජංගම කාර්යාල විශේෂයකුත් ප්‍රත්‍යන්ත ප්‍රදේශවල තබන්න ප්‍රේමදාස ඇමැතිවරයා සමත්වුණා. ඒවායින් ප්‍රාදේශීයව ජීවත්වන ප්‍රජාවගේ ප්‍රශ්න බොහොමයක් විසඳුණා.


ප්‍රේමදාසයන් කෙරෙහි අර දෙපළ කිසියම් අවතක්සේරුවක සිටින්න පටන් ගත්තා. ඒ උගත්කම පැත්තෙන්. ප්‍රසිද්ධියේම නොවුණත් අප්‍රසිද්ධියේ ප්‍රේමදාසයන්ගේ උගත්කම විවේචනය වුණේ බොහොම පහත් විධියට. ප්‍රේමදාස  ඇමැතිවරයා මේ බව දැන සිටියා. ඔහු කිසිවිට සැලුණේ නැහැ. ඔහු අගමැතිවරයාගේ හිත දිනාගන්න සමත් වුණේ රටට වැඩ කරමින්. නමුත් අප කලින් සඳහන් කළ ඇමරිකාවෙන් පැමිණි නබීල් හම්ඩි හා රෙන්හැඞ් ගොතර්ඩි යන දෙදෙනා හොඳ අපූරු අධ්‍යයනයක් කර තිබුණා. මේ තරම් ගෙවල් හැදීමත් කෙරෙන්නේ කවර ඉලක්කයක් අරබයාද කියා ඔවුන් නිගමනයෙන් තීරණය කළේ “මෙය දේශපාලන උවමනාවෙන් කරන ව්‍යපෘතියක්” බවයි. ඔවුන් ඒ  නිගමනය දී තම රටට යන්න ගියා. ඔවුන්ගේ නිගමනය අන්තිමේ සනාථ වුණා. ප්‍රේමදාස ඇමැතිවරයාට ජයවර්ධන අගමැතිතුමාගෙන් තම අගමැතිකම ප්‍රේමදාස ඇමැතිතුමාට ලැබුණා. ඒ අගමැතිකම ඔහුට ප්‍රදානය කළ ජයවර්ධන මැතිතුමා ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම්දීමත් සමග එතුමාගේ වැඩ කටයුතු තව තවත් පුළුල් කළා. එකක් වුණේ ජංගම කාර්යාලවලට ජයවර්ධන අග්‍රාමාත්‍යවරයාව  සිටියදී සහභාගි නොවන්නැයි නියෝග දුන් ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රේමදාස මහතා අගමැතිවරයා වීමෙන් පසු සෑම ජංගම කාර්යාලයකටම සහභාගී කරවා ගැනීමට හැකිවීම.


අග්‍රාමාත්‍ය වීමෙන් පසුව නිවාස වැඩසටහන් නිමවූයේ  නැහැ. එහි කූඨප්‍රාප්තිය වුණේ ගම් උදා සැණකෙළිය. එය සෑම ජූනි මාසයකම පැවැත්වුණේ ප්‍රේමදාස අගමැතිවරයාගේ උපන් දින සැමරුම් දිනයද සමරමින්. මුලින්ම යාපහුවෙන් පටන් ගත් ගම් උදාව සෑම වසරකම තැබීමට හැකිවුණේ විශාල වියදමක් දරමින්. මහියංගණය, කඹුරුපිටිය, කතරගම  ආදී ඈත පළාත්වල ගම් උදාව සාර්ථකව පැවැත්වුවා. ඒ අත්දැකීම් නම් හරිම අපූරුයි. ඒත් කතරගම ගම්උදාවේදී ගී ගැයූ ජෝතඅිපාල ඉන්පසුව මෙලොවින් සමුගෙන ගියේ ලංකාවාසීන් ශෝක සයුරේ ගිල්වමින්. ඒක කාටත් අමතක නොවන ගම්උදාවක්. ගම් උදාව සැණකෙළිය පසුබිමේ ඇත්තේ රසවත් කතා පෙළක්. ඒවායේ මුලක් පටන්ගැනීම තරමක් දුෂ්කර වැඩක්. ඒත් ඒ වනවිට ප්‍රේමදාස අගමැතිවරයාගේ හැසිරීම් සහ ඔහු විසින් තම අභිමතය පරිදි  නිලධාරීන් හසුරවනු ලැබීම් විශේෂයෙන් සඳහන් කළ හැකියි. ඔහුට නැතිවුණේ දිව්‍යඥානය පමණයි. ඊටත් ඔහු එක්තරා විසඳුමක් සොයාගෙන තිබුණා. හිමිදිරි පාන්දර තම සුචරිතයේ දොර විවෘත කර තිබුණේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ප්‍රශ්න ලිපි මගින් ඉදිරිපත් කිරීමට. එසේ ප්‍රශ්න ඉදිරිපත් කළ බොහෝ දෙනෙකුට තම තමන් බලාපොරොත්තු වන විසඳුම් ලැබුණා. ඒවා ලැබීමත් සමඟ රට පුරා ජනතාව අතරට ප්‍රේමදාස අගමැතිවරයාගේ බලපරාක්‍රමය විශ්වාස කරන්න පටන්ගෙන තිබුණා.

ජගත් රණතුංග