අගමැතිගේ අපූරු වැඩ


 

දේ ශපාලනය හා දේශපාලකයින් ගැන නිරතුරුව කතා කිරීම ප්‍රජාතන්ත්‍රිවාදී පාලනයක් පවතින රටවල ප්‍රධාන ලක්‍ෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාලකයින් පත්වන්නේ මහජන ඡන්දයෙනි. එසේ පත්වන පාලකයෝ මහජනතාවගේ සිත් ඇදගැනීම සඳහා විවිධ ක්‍රම හා චර්යාවන් අනුගමනය කරති. සමහර මහජන නියෝජිත මැතිවරණ කාලවලදී එක් ක්‍රමයකටත්, මැතිවරණයෙන් පසුව වෙනත් ක්‍රමයකටත් හැසිරෙති. ක්‍රියාකරති. දේශපාලකයින්ගේ චරිත දෙබිඩි චරිත වශයෙන් බොහෝ දෙනා හඳුන්වන්නේ එබැවිනි. එහෙත් සමහර දේශපාලනඥයෝ ස්වාභාවයෙන්ම හැමදාම වෙනසක් නොකොට ජනතාහිතවාදීව ක්‍රියා කරති. ඔවුන් තනතුරු ගැන ලොකුවට හිස උදුම්මා නොගෙන සාමාන්‍ය පරිදි ක්‍රියා කරන ආකාරය අප අත් දැක තිබේ. එබඳු ජනතා හිතවාදීව සාමාන්‍ය පරිදි පොළවේ පය ගසා ජීවත්වූ දේශපාලනඥයෙකු වශයෙන් දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතා හඳුන්වා දිය හැකිය.


රත්නසිරි වික්‍රමනායක මහතා 1960 දී මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් හොරණ ආසනයට තරග කොට පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහුගේ දක්‍ෂතාවන් හා අවංකභාවය පිළිබඳව අවබෝධ කරගත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරිපෙළ හා පසුපෙළ සියලු දෙනා ඔහුට විශේෂ ඇල්මක් දැක්වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් තනතුර පවා ලැබූ එතුමා 1994 මහමැතිවරණයෙන් ජයගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ රජයේ කැබිනට් අමාත්‍ය පදවියකට හා සභානායක පදවියට පත්විය. ඉන්පසු 2000 වසරේ අගෝස්තු මස අගමැතිවරයා වශයෙන් පත්වූ ඔහු 2000 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති මැතිවරණයෙන් නැවත අග්‍රාමාත්‍ය තනතුරට පත්වී ඇති අතර පසුව 2001 වසරේ බිහි වූ පරිවාස ආණ්ඩුවේ අගමැති ධුරය ද හිමිවිය.


ඉන් පසුව 2001 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වීම නිසා රත්නසිරි වික්‍රමනායක මහතාට විරුද්ධ පක්‍ෂයට යාමට සිදුවූ අතර ඔහුට විපක්‍ෂ නායක ධුරය හිමිවිය. ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රථම පාලන සමය වූ 2005 - 2010 කාලයේදී අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද සේවය කළේ රත්නසිරි වික්‍රමනායක මහතාය. ඒ අනුව සිව්වරක් අග්‍රාමාත්‍ය වූ වික්‍රමනායක මහතා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් මිනීමරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය මහා වැඩ පිළිවෙළට විශාල ශක්තියක් වෙමින් ක්‍රියා කළ ආකාරය නොරහසකි.


රත්නසිරි වික්‍රමනායක මහතා ඕනෑම වෙලාවක හමුවී ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නට තරම් නිහතමානී අයෙකු වූ අතර විපක්‍ෂයේ සිටි 2001 වසරේදී දිනක් මා ඔහු හමුවන්නට දාම්පේ ප්‍රදේශයේ පිහිටි එතුමාට අයත් නිවසට ගියෙමි. එහිදී මා දුටුවේ සාමාන්‍ය ගැමියෙකු මෙන් එතුමාගේ වත්තේ මල්පැළ හා වෙනත් පැළ වර්ග කීපයක් වගා කරමින් සිටින ආකාරයයි. වගා කටයුතුවල නිරතවෙමින් සිටි එතුමා ඉන් ඉවත්ව පැමිණ වාඩිවී මා සමග සාකච්ඡා කළ අතර මා පැමිණි කාරණය විමසා එයට විසඳුමක් ලබා දුනි. ඔහුගේ නිහතමානීත්වය හා සාමාන්‍ය පුද්ගලයකු මෙන් හැසිරුණු ආකාරය ගැන මා තුළ ඇතිවූයේ පැහැදීමකි.

 

 


තවත් එක් සිද්ධියක් මෙහිලා සඳහන් කිරීම උචිත යැයි මම සිතමි. දිනක් මා එතුමා හමුවීමට අරලිය ගහ මන්දිරයට ගියේ මතුගම ප්‍රදේශයේ මාගේ හිතවතකුගේ වැඩක් පිළිබඳව එතුමා දැනුවත් කොට අවශ්‍ය සහාය  ලබාගැනීම සඳහාය. මා අරලිය ගහ මන්දිරයට යන විට තවත් දහ පහළොස් දෙනෙක් අගමැතිතුමා හමුවීමට පැමිණ සිටියහ. දෙතුන් දෙනෙකුගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් පසු මාව කැඳෙව්වේය. මා හිටපු රාජ්‍ය ඇමති කෙනෙක් නිසා විය හැකිය. කෙසේ හෝ එතුමා හමු වූ මා මාගේ ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කළෙමි. එය මැනවින් කියවා බැලූ අගමැතිතුමා මා දුන් ඉල්ලීම්  ලිපිය භාර ගෙන “මා මේකට පිළිවෙළක් කරන්නම් තමුන්නාන්සෙ යන්න” කියා මට කීවේය. “මට ලිපියක් දුන්නොත් හොඳයි.” මම කීවෙමි. “හරි හරි මං ඒක කරන්නම්” කියලා නැවතත් එතුමා මට  කීවේය. මම එතුමාට ආචාර කොට එතැනින් නික්මී ගෙදර ආවෙමි. මා කල්පනා කළේ මගේ ලිපියට අගමැතිතුමා මොනවා කරයිද? බොහෝ මැති ඇමතිවරුන්ට දෙන ලිපිවලට අත්වන ඉරණම මෙයටත් අත්වෙයිද? කුණුකූඩයට දමයිද? ආදී ප්‍රශ්න රැසක් මාගේ සිතේ රැව්පිළිරැව් දුනි. මම ගෙදර ආවෙමි. ඊට පසුදා දවල් මට තැපෑලෙන් ලියුමක් ගෙදරට ආවේය. ඒ ලියුම ඇතුළේ තිබුණේ මාගේ ඉල්ලීම් ලිපියට අදාළව අදාළ නිලධාාරියාට භාර දිය යුතු ලිපියයි. එහි විශේෂත්වය නම් ලිපි ශීර්ෂයක් තිබූ එම ලිපිය එතුමාගේ අත් අකුරින්ම ලියා තිබීමයි. ලිපිය පමණක් නොව ලියුම් කවරයේ මාගේ ලිපිනයද ලියා තිබුණේ එතුමාගේ අත් අකුරිනි. අගමැතිවරයකු වැනි අයෙකුට මෙසේ තම අත් අකුරින්ම ලිපි ලියන්නටත් ලියුම්කවරයේ ලිපිනය පවා ලියන්නටත් වේලාවක් තිබේද? වුවමනාවක් තිබේද? ආදී ප්‍රශ්න රැසක් මසිතට නැගුණි. කෙසේ වුවද එම ලිපිය රැගෙන මාගේ හිතවතා සමග අදාළ කාර්යාලයට ගිය මා අගමැතිතුමා එවා තිබූ ලිපිය දුන් විගස එම ඉල්ලීම ඉටුකිරීමට එම නිලධාරියා වහා ක්‍රියා කළේය. මේ අකාරයට කීපවිටක් එතුමා හමු වූ අවස්ථාවලදී භාරදුන් ලිපිවලට මා හට පිළිතුරු එවා  තිබුණේ එතුමාගේ අත් අකුරෙනි. මේ නිසාම මා හොරණ ප්‍රදේශයේ මා හිතවත් යහළුවකුගෙන් විමසා සිටියේ රත්නසිරි වික්‍රමනායක මහතාගෙන් කරන ඉල්ලීම් පිළිබඳව ක්‍රියා කරන ආකාරයයි. කළ හැකි හැම වැඩක්ම කෙරෙන  ආකාරයෙන්ම කිරීම එතුමාගේ ප්‍රතිපත්තිය යැයි ඔහු මට කීවේය. කෙසේ වෙතත් ඊට පසු එතුමාද මාද සහභාගි වූ උත්සවයකදී රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමාට එතුමා දුන් ලිපි කීපයක් පිළිබඳව අවශ්‍ය කටයුතු ඉතා හොඳින් ඉටු වූ බව මම කීවෙමි. අත් අකුරින්ම ලිවීමෙන් අදාළ නිලධාරීන් තුළ ලිපිය ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා කියලත් මම කීවෙමි. එවිට එතුමා කීවේ “ඕක ලියුම හදන්නයි. ටයිප් කරන්නයි ආපසු පියන් කෙනෙක් මුද්දර ගහන්නයි දින ගණනක් සති ගණනක් ගත කරනවාට වැඩිය හොඳ නැද්ද මමම අවශ්‍ය දේ ලියල ලියුම්කවරෙත් ලියල මේක තැපෑලට දාන්න කියලා දුන්නම” කියලා මට කීවේය. මා කිව්වා “සර් කියන කතාව ඇත්ත. අද කාර්යාලයකින් ඉක්මනින් වැඩක් කරගන්න එක බොහොම අමාරු හුඟක් පරක්කු වෙන වැඩක්” කියා මම කීවෙමි. රත්නසිරි වික්‍රමනායක අග්‍රාමාත්‍යතුමා එතුමාට ලැබෙන හැම ඉල්ලීම් ලිපියකටම මෙලෙස අත් අකුරින්ම පිළිතුරු ලියන්නට ඇතැයි මම නොසිතමි. නොකියමි. එය කිසිවෙකුටත් කළ නොහැක. නමුත් එවැනි දේශපාලන නායකයිනුත් අප ශ්‍රී ලංකාවේ සිටි බව හැඟෙන විට ඔවුන් සම්බන්ධයෙන් මතුවන්නේ නිරායාස ගෞරවයකි.