අගමැතිට එරෙහි විශ්වාසභංගයේ පැරැණි කතා-2
බලය යනු නියගලා විසක් බව කියනු ලැබේ. ඉතා යහපත් අදහස් උදහස් සහ ප්‍රතිපත්ති දරමින් සිට බලයට පත්වන අය ටික දිනකින්ම මෙම විසට ගොදුරුවී අන්ත දුෂිතයෝ බවට පත්වෙති. මනස වියරු වී පිස්සු කෙළිති. නොදැනුවත්ව අපචාරයට ගොදුරු වෙති. සමීපයේ සිටින කේවට්ටයන්ගේ බසට මුලාවී අමාරුවේ වැටෙති. ලෝක දේශපාලන ඉතිහාසයේ පවා මෙවැනි සිද්ධි බහුලය. දැන හෝ නොදැන දහනායක මහතා ද මෙම තත්ත්වයට පත්වු බව සිතාගත හැකිය. තුර්කියේ සිටි ගෝගියා භාෂා නමැත්තා ප්‍රකට මැජික්කරවකු විය. ඔහුගේ මැජික්වලට ලොවම වශී වී සිටි බව කියනු ලැබේ. දහනායක මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ තමාද ගෝගියා පාෂා වැන්නෙකු බවය.
රාජ්‍යය සහ පක්ෂය යනු ආයතන දෙකක් වුවද රාජ්‍ය නායකත්වයට පත් වූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද නායකයා බවට පත්වුවද ඔහු එම පක්ෂයේ නීත්‍යනුකූල සාමාජිකයකු වූවේ නැත. එනිසාම පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ඔහු ගැන සැක කළහ.
බණ්ඩාරනායක අගමැතිතුමාගේ ක්‍රියා පිළිවෙත අගය කළ සමහර නායකයෝ නව අගමැතිවරයාට අප්‍රසාදය පළ කළහ. අගමැතිවරයා නව පක්ෂයක් ඇරඹීය. එය ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යැයි නම් විය. ආරාධනා ලැබුවා වුවත් ටී. බී. ඉලංගරත්න, මෛත්‍රීපාල සේනානායක, ඒ. පී. ජයසූරිය, ආර්. ජී. සේනානායක වැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දහනායකගේ පක්ෂයට බැඳීම ප්‍රතික්ෂේප කළහ. මෙම හේතුව නිසා තමාගේ පක්ෂයට බැඳුණු මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා වැනි අය ආරක්ෂා කිරීමට දහනායක මහතාට සිදුවිය. වරප්‍රසාද නිසා පක්ෂ නායකයා වටා ගොනුවන ළාමක බලවේග ඔහු වටා රොක්විය. අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයක් ඇතිකර එහි ස්ථිර ලේකම්වරයා ලෙස මුදල් ඇමැතිවරයාගේ සොහොයුරු සිඞ්නි ද සොයිසා මහතා පත් කිරීම සිදුවිය. එයද විපක්ෂයේ දැඩි විවේචනයට ලක්විය.
මෙම සියලු කරුණු පදනම් කරගෙන විපක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා 1959 එක්තෝබර් 30 වැනිදා දහනායක ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේය. එහි ප්‍රධානම චෝදනාව වූයේ බණ්ඩාරනායක ඝාතන නඩුවේ චුදිතයන්ව අත්අඩංගුවට ගැනීම අගමැතිවරයා විසින් වළක්වනු ලබන බවයි.
ආචාර්ය ඇන්. ඇම්. එම විවාදයේදී මෙසේ කීවේය.
මම අරලියගහ මන්දිරයට ගොස් දහනායක මහතා හමුවී බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, සී. අමරසිංහ සහ අනුර ද සිල්වා යන හතර දෙනා සිරභාරයට ගන්නා ලෙස බලකර සිටියෙමි. ඔවුන් සාක්කිකරුවන් ලුහුබඳිමින් සිටින බවට මට ඒ වනවිට තොරතුරු ලැබී තිබුණි. එහෙයින් ඔවුන් වහා සිර කළ යුතු යැයි මම කියා සිටියෙමි. මෙය මම අගමැතිට දන්වා පැය භාගයක් ඇතුළත එය බුද්ධ රක්ඛිතට දැන්ගන්නට ලැබී තිබුණි. බුද්ධරක්ඛිත සිර කළේ ඉන් දින දහයකට පසුවය.
ඇන්. ඇම්. මෙසේ ද කීය.
පිලිප් ගුණවර්ධන මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමට සති තුනකට පමණ පෙර සෞඛ්‍ය ඇමැතිනියගේ නිවසේ සාකච්ඡාවක් පැවැත්වුණි. මෙයට බුද්ධරක්ඛිත සහ දහනායක ද සහභාගි වූහ. “පිලිප් කැබිනට්ටුවෙන් නෙරපා දැමුවහොත් මාස දෙකක් ඇතුළත මම ඔබ අගමැති කරන්නෙමි.”යි බුද්ධරක්ඛිත මෙම සාකච්ඡාවේ දී දහනායකට කීය. මම කිව් දේ කරන මිනිහෙක්. මම එක අගමැතිවරයෙක් හැදුවා. මට පුළුවනි තව අගමැතිවරයෙක් හදන්න බුද්ධරක්ඛිත කීවාලු. ඇත්ත තමා ඔහු කිව් දේ කරන මිනිහෙක්.”
“සැප්තැම්බර් 23 වැනිදා දහනායක මහතා නිවිතිගල මන්ත්‍රී ඩී. ඇෆ්. හෙට්ටිආරච්චි මහතා මුණ ගැසුණා. හෙට්ටි ඔබ දහගේ ඇමැති මණ්ඩලයට එකතු වෙනවාද?” දහනායක ඔහුගෙන් ඇසුවා.
මෙසේ කියූ ඇන්. ඇම්. පෙරේරා මහතා හෙට්ටිආරච්චි මහතා දෙසට හැරී “එය ඇත්ත නේ”දැයි විමසුවේය. එය සත්‍ය බව හෙට්ටිආරච්චි මහතා පිළිගත්තේය.
විවාදය අවසානයේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 43ක්ද විරුද්ධව ඡන්ද 48ක්ද ලැබීමෙන් විශ්වාසභංගය වැඩි ඡන්ද පහකින් පරාජයට පත්විය. එකල ව්‍යවස්ථාව අනුව සුළු ජාතික නියෝජනය සඳහා මන්ත්‍රීවරු හයදෙනකු පත් කිරීම සිරිතකි. එයිනුත් බහුතරය වූවේ යුරෝපීය ජාතිකයන්ය. එම ඡන්ද හය ලැබීමෙන් පසුව ද අගමැතිවරයාගේ වැඩි ඡන්ද ගණන පහක්වීම නිසා රජයට බහුතරය අහිමිවී ඇති බව සක්සුදක් සේ පැහැදිලි විය.
තමා ආරක්ෂා කිරීමට ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිවරු පොකුරු පිටින් මධ්‍යම රාත්‍රියේ දී අගමැතිවරයා විසින් නෙරපා දමනු ලැබීය. 1959 දෙසැම්බර් තුන් වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර ඒ බව ඇමැති මණ්ඩලයවත් දැන සිටියේ නැත. තමන්ගේම පක්ෂය ලෙස ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවාගෙන තවදුරටත් දිගටම බලයේ සිටීම සඳහා ජනතාව අතරට ගිය දහනායක අගමැතිවරයාට හිමිවූයේ ආසන හතරක් පමණි. එතෙක් කලක් අපරාජිතව රැකගෙන සිටි ගාල්ල ආසනයෙන් ද ඔහු පරාජයට පත්ව තිබුණි.
මහජන මතය හැසිරෙන ආකාරය ගැන නායකයන්ට අවබෝධයක් තිබිය යුතුමය. එමෙන්ම සඳහන් කළ යුතු තවත් කරුණක් ද වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරූ අය අතරින් දහනායක මහතා ඉතිහාසයට එක් නොවන්නේ මන්දැයි සමහර විචාරකයෝ තවමත් විමසති. මේ කතාව එයට ද පිළිතුරකි. එනම් ඉතිහාසයට එක්වන්නේ පක්ෂය සහ එහි ප්‍රතිපත්තිය ආරක්ෂා කළ නායකයන් විනා ඒවා විනාශ කළ පුද්ගල නාමයන් නොවන බවට වන ඓතිහාසික සත්‍යයයි. එය අතීතයට වර්තමානයට මෙන්ම අනාගතයට ද එක ලෙස බලපානු ඇත. එය සෑම පක්ෂයකටම ද පොදුය.
සෝමසිරි වික්‍රමසිංහ