1940 දශකයේ මුල් කාලයේ සිට එවකට මෙහි පැවැති දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් මෙරටට නිදහස ඉල්ලා එංගලන්ත ආණ්ඩුව වෙත දැඩි ලෙස බලපෑම් කර තිබුණහ. ඒ අනුව එංගලන්ත ආණ්ඩුවට ඒ පිළිබඳව නොසලකා සිටීමට නොහැකි වූයේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවට ඩොමිනියන් තත්ත්වය ප්‍රදානය කිරීමට ඒ වනවිටත් එංගලන්තය තීරණය කර තිබූ බැවිනි. ඒ හැර ඉකුත් දෙවැනි ලෝක සංග්‍රාමයේ දී මිත්‍ර පාක්ෂික හමුදාවන්ට ශ්‍රී ලංකාවේ ස්වදේශීය නායකයන්ගෙන් ලැබුණු සහයෝගය එංගලන්ත ආණ්ඩුවේ පැසසුමට ලක් වී තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සෝල්බරි සාමිවාරයේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමක් මෙරටට එවීමට එංගලන්ත ආණ්ඩුව තීරණය කිරීමයි.
සෝල්බරි කොමිසම රටේ බොහෝ පළාත්වල සංචාරය කරමින් සහ සාක්‍ෂි විභාග කරමින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු රැස් කළේය. ඒ අනුව ඔවුන් විසින් සැකසූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය 1945 වසරේ ජූලි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද්දේ එංගලන්ත ආණ්ඩුවේ ද පූර්ව අනුමැතියට යටත්වය.
එංගලන්තයේ පවතින වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදායට අනුව සැකසුණු නව යෝජනාවලිය යටතේ අභිනව පාර්ලිමේන්තුවක් සෝල්බරි කොමිසම විසින් මෙරටට හඳුන්වා දී තිබූ අතර ඊට අමතරව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් ඊට ඇතුළත් විය.
ඊට පෙර 1931 දී පත්වූ ඩොනමෝර් කොමිසම මගින් පිහිටුවා තිබූ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය එමගින් අවලංගු කෙරිණි. අනතුරුව අභිනවයෙන් හඳුන්වා දෙන ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා වූ මහ මැතිවරණය 1947 ජූලි මස 23 සිට අගෝස්තු 20දා දක්වා වූ දින 19ක් පුරා පැවැත්විණි. එවර ඡන්දය පවත්වන ලද්දේ 1931 දී ඩොනමෝර් කොමිසම මගින් හඳුන්වා දෙන ලද සර්වජන ඡන්ද ක්‍රමයට අනුවය. එහිදී ඡන්ද කොට්ඨාස 89ක් සඳහා මන්ත්‍රීවරුන් 95 දෙනෙක් තෝරා ගැනිණි. එසේ වූයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ තිදෙනෙකු බැගින් තෝරා ගැනුණු බහුඡන්ද කොට්ඨාස 5ක් ඊට ඇතුළත් වූ බැවිනි.
එවර පැවැති මහ මැතිවරණයෙන් මන්ත්‍රි ධුර 42ක් ලබාගත් එජාපය ආණ්ඩු බලය දිනා ගෙන තිබුණේය. එහිදී මෙරට ජනතාව අතරින් වැඩි දෙනෙකුට තරමක ප්‍රශ්නයක් වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අමතරව මහජන ඡන්දයෙන් තෝරා නොගැනෙන සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවිය යුතුයැයි සෝල්බරි සාමිවරයා යෝජනා කර තිබීමයි.
හැබෑටම ඡන්දයෙන් පත්කර නොගැනෙන සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් මොනවට ද පත්කෙරුවේ...?යි ඇසූ වැඩි දෙනෙකුගේ පිළිගැනීම වූයේ එය අනවශ්‍ය ලෙස රජයේ මුදල් කාබාසිනියා කෙරෙන සුදු අලියකු ලෙසිනි. එහෙත් සෝල්බරි කොමිසම එවැන්නක් නිර්දේශ කර තිබුණේ එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලයට අනුරූපවය.
“මේ රටේ ජනතාව දැන් ස්වයං පාලනයක එළිපත්ත මතයි ඉන්නේ. ඒත් ඔවුන්ට දේශපාලන අත්දැකීම් අඩුයි. ඒ නිසා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වන මන්ත්‍රීවරුන් ඇතුළු කැබිනට් මණ්ඩලය හදිසි දේශපාලන තීන්දු තීරණ ගැනීමේ ප්‍රවණතාව වැඩියි. අන්න ඒ තත්ත්වය යම්තාක් දුරකට හෝ සීමා කරන්නයි. සෝල්බරි කොමිසම සෙනෙට් මණ්ඩලයක් පිහිටුවනු ලැබුවේ....” කී අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිගැනීම වූයේ එය කාලෝචිත පියවරක් බවය.
සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 30කි. එයින් 15ක් තෝරා ගැනුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් අතරිනි. ඉතිරි 15 දෙනා ආණ්ඩුකාරවරයා විසින් පත්කරන ලදී. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අයත් නිල කාලය වසර 5කි. මැතිනියගේ රජය උනන්දුවක් දැක් වූ පනතකට සෙනෙට් සභාවේ අනුමැතිය ලබා නොදීමෙන් එම පාලනයට නොයෙක් විට අවහිර කිරීමක් නිසා පාරිලිමේන්තුවේ සම්මත කරන ලද පනතකින් සෙනෙට් මණ්ඩලය අහෝසි කිරීමට එම රජය කටයුතු කළේය.
සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ නිල කාලය වසර 9ක් විය. එහෙත් එම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් සෑම වසර 3කටම වරක් අස්ව යා යුතු විය. ඔවුන් කවුරුන් විය යුතුදැයි තෝරා ගැනුණේ කුසපත් ඇදීමෙනි.
මේ අතර කැබිනට් මණ්ඩලයට අයත් අධිකරණ ඇමැතිවරයා තෝරා ගත යුත්තේ සෙනෙට් මන්ත්‍රීවරුන් අතරින් යැයි නීතියක් ද සෝල්බරි සාමිවරයා විසින් පනවා තිබුණේය. ඔහු එවැනි පියවරක් ගෙන තිබුණේ අධිකරණ අමාත්‍ය ධුරය නිර්දේශපාලනය කිරීමේ පියවරක් වශයෙනි. එහෙත් එහිදී සෝල්බරි සාමිවරයා බලාපොරොත්තු වූ අන්දමේ අපක්‍ෂපාතිත්වයක් එම අධිකරණ ඇමැතිවරුන් වෙතින් දිස් නොවීය.
මේ අතර තවත් ටික කාලයක් ගතවන විට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය බලයට පත්වූ ආණ්ඩුවේ විවිධ අණ පනත් ප්‍රමාද කෙරෙන ස්වභාවයක් පෙන්නුම් කළේය. එය සෝල්බරි සාමිවරයා කිසිම අවස්ථාවක බලාපොරොත්තු නොවූ සිද්ධියක් විය. එසේ වූයේ කලින් කලට බලයට පත්වන ආණ්ඩු මගින් පත්කරන ලද ඇතැම් සෙනෙට් මන්ත්‍රීවරුන් දේශපාලන වාද භේද මුල් කරගෙන ප්‍රතිවාදී ආණ්ඩු මගින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සඳහා යැවෙන බොහොමයක් අණපනත් හිතාමතාම ප්‍රමාද කිරීමේ ස්වභාවයක් විද්‍යමාන වූ බැවිනි.
විශේෂයෙන්ම 1956 දී පත්වූ ශ්‍රීලනිප ආණ්ඩුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනවශ්‍ය ප්‍රමාද කිරීම්වලින් බහුල වශයෙන් බැට කෑවේය. ඒ අනුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ එවැනි ක්‍රියාකාරකම් නිසා 1956 දී සහ 1960 ජූලි මාසයේදී පත් වූ ශ්‍රීලනිප ආණ්ඩුවලට නොයෙක් සම්බාධක ඇති විය
එසේ වුවද 1960 ජූලි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රීලනිපයට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය නිසා ලොකු වාසියක් සැලසී තිබුණේය. එනම් කිසිදු මැතිවරණ කොට්ඨාසයක් සඳහා තරග නොකර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය දැරීම සඳහා අවශ්‍ය නීතිමය පිටිවහල සෙනෙට් මණ්ඩලය වෙතින් හිමිවීමයි.
ඒ අනුව බණ්ඩාරනායක මැතිනිය 1960 ජූලි මාසයේ සිට 1965 දක්වා වූ කාලය තුළ මෙරට අග්‍රාමාත්‍ය ධුරය උසුලනු ලැබුවේ සෙනෙට් මණ්ඩලයේ මන්ත්‍රීවරියක වශයෙනි.
කෙසේ වෙතත් බණ්ඩාරනායක මැතිනියට එහිදී සක්සුදක් සේ පෙනී ගිය කරුණක් වූයේ සෙනෙට් මණ්ඩලය මගින් රටේ ප්‍රගතියට අදාළව සිදුවන සේවය ගැන මොනම අයුරකින්වත් සෑහීමකට පත්වීමට නොහැකි බවයි.
එමෙන්ම 1972.5.22 දින සිට ක්‍රියාත්මක වූ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවටද සෙනෙට් සභාව ගැන කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ඇතුළත් නොකළ නිසා එය දිගටම අහෝසි වී ගියේය.
රුක්මනී ජයතිලක
ඡායාරූපය අන්තර්ජාලයෙනි