මතකය අමතක නොවන තැන්
මෙවර ශ්‍රී ලංකාවට පැමිණි විට වැඩි කාලයක් ගත කළේ ඇඳිරි නීතිය යටතේය. ඊට හේතුව අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයයි. හමුදා භටයින් ඉතා බර යකඩ අවි දරාගෙන හන්දියක් හන්දියක් ගානේ රැඳී සිටිමින් රටේ සාමය රැකීමට ගත් දැඩි උත්සාහය සියැසින් දුටුවෙමි. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් වොෂින්ටන් දෙනුවරට එල්ලවූ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරය මම සියැසින් දුටුවෙමි. එහෙත් මෙදා ලංකාවේ මෙන් එදා වසර 18කට පෙර ඇමෙරිකාවේ ඇඳිරි නීතියක් ක්‍රියාත්මක නොවීය.
2005 දී ජනතා උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට ප්‍රංශයේත් 2010 චිලියේ භූමි කම්පාව සිදුවූ විටත් 2011 දී ඊජිප්තුවේ රාජ්‍ය පෙරළිය සිදුවූ දින කීපයකදීත් 2003 වසරේදී බි්‍රතාන්‍යයේ වයස අවුරුදු 16ට අඩු ළමයින් උදෙසා සතියක පමණ කාලයක්ද ඇඳිරි නීතිය (ක්‍ඹඍත්‍ෑඋ) පනවනු ලැබීය.
මෑත කාලයේ ඇමෙරිකාවේ ඇඳිරි නීතිය පනවන ලද්දේ 2015 වර්ෂයේ බැල්ටිමෝ (ඊ්ඛඔෂඵධඍෑ) නගරයේය. දින 5 ක් රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා මෙම ඇඳිරි නීතිය පනවන ලද්දේ එහි හටගත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් කැරැල්ලක ස්වරූපයෙන් උත්සන්නවීම නිසාය.
කිසියම් රාජ්‍යයක ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි කවර හෝ අවස්ථාවකදී ඇඳිරි නීතිය පනවා එය මැඩපැවැත්වීමට රාජ්‍ය නායකයාට බලය ඇත. ශ්‍රී ලංකාවේ නම් ඇඳිරි නීතිය පනවනු ලබන්නේ රාජ්‍ය නායකයාගේ පූර්ව අනුමැතිය ඇතිව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවය.
මේ මා ලියන්නට යන්නේ ඉස්ලාම් ආගමික අන්තවාදීන්ගෙන් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතු කොට ගෙන 2019 අප්‍රේල් 21 වැනිදා සිට ශ්‍රී ලංකාව තුළ පැනවූ ඇඳිරි නීතිය ගැන නොවේ. හරියටම මීට වසර 48 කට පෙර එනම් 1971 අප්‍රේල් 5 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැනවූ ඇඳිරි නිීතිය ගැනය. එවකට මම දවස පත්‍රයේ මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කළෙමි.
එදා රාජ්‍ය නායිකාව වූයේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකය. පසුව ජනරාල් අනුරුද්ධ රත්වත්තේ අගමැතිනියගේ පෞද්ගලික ආරක්ෂාව භාර සම්බන්ධිකරණ නිලධාරී තනතුර දැරුවේය. ආරක්ෂක ලේකම් වූයේ ආතර් රත්නවේල්ය. පොලිස්පති ස්ටැන්ලි සේනානායක වූ අතර හමුදාපති තනතුර දැරුවේ මේජර් ජෙනරාල් සේපාල ආටිගලය. ගුවන් විදුලියේ සභාපති වූයේ සුසිල් මුණසිංහය.
1971 අප්‍රේල් මස 5 වැනිදා රාත්‍රී මේ ලොකු ලොක්කන් පිරිස එක්වී රටේ ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව සිදුවූ අලකලංචිය අදත් පරණ පත්තර කාරයන්ගේ කතා බහට ලක්වෙමින් පවතී. නිහාල් ජගත්චන්ද්‍ර නමැති ප්‍රවීණ මාධ්‍යවේදියා ලියූ පොතක ද මෙම සිද්ධිය සඳහන් කර තිබූ බව මට මතකය.
එදින වැල්ලවාය පොලිසියට තුවක්කුකරුවන් පිරිසකගෙන් හදිසි ප්‍රහාරයක් එල්ල විය. මෙම තත්ත්වය වඩාත් බැරෑරුම් වූයේ දිවයිනේ තවත් පොලිස් ස්ථාන රාශියකට සහ රජයේ කාර්යාල කීපයකට ද තුවක්කුකරුවන් පිරිසක් ප්‍රහාර එල්ල කිරීම නිසාය. වැල්ලවාය පොලිසියට එල්ල කළ ප්‍රහාරයෙන් එක් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තිබුණි.
දෙනියාය, ඌරගහ, රාජාංගණය, කතරගම, වරකාපොළ, ඇතුළු පොලිස් ස්ථාන 43කට මෙම ප්‍රහාර සිදුවිය. මා මේ ලියන්නේ එම ප්‍රහාරය පිළිබඳව හෝ ප්‍රහාරය සිදුකළ සංවිධානය ගැන හෝ ඉන් රටට සිදුවූ හානිය ගැන නොවේ. මෙම කැරැල්ලෙන් 4000 ක් 5000 ක් අතර කැරලි කරුවන් හා සිවිල් වැසියන් පිරිසක්ද ආරක්ෂක අංශයන්හි 53 දෙනෙකුද මිය ගිය බව මට මතකය. මෙම අප්‍රේල් කැරැල්ල මැඩ පැවැත්වීමට ඇඳිරි නීතිය (ක්‍මරfැඅ) මුලින්ම පනවන ලද්දේ අගමැතිනියගේත් ආරක්ෂක ලේකම්වරයාගේත් හමුදාපති හෝ පොලිස්පති වරයාගේත් කැබිනට් මණ්ඩලයේත් දැනුමකින් තොරව බව අනාවරණය වූයේ පසුවය.
තුවක්කුකරුවන්ගේ ප්‍රහාරය පිළිබඳව මුලින්ම දැනගන්නට ලැබී ඇත්තේ අනුරුද්ධ රත්වත්තේටය. ඒ වන විට අගමැතිනිය අරලියගහ මන්දිරයට පදිංචියට පැමිණ නොසිටියාය. ඇය සිටියේ රොස්මිඞ් පෙදෙසේ නිවසේය. රත්වත්තේ වහාම අගමැතිනියත් ආරක්ෂක ලේකම්වරයාත්, පොලිස්පතිවරයාත්, හමුදාපති වරයාත් අරලියගහ මන්දිරයට ගෙන්වා ගැනීමට පියවර ගත්තේය.
ඊළඟට ඔහු කළේ ගුවන් විදුලියේ ලොක්කා වූ සුසිල් මුණසිංහට දුරකථනයෙන් කතා කර ගුවන් විදුලි විකාශනය රාත්‍රී 10.30ට නතර නොකර දිගටම පවත්වා ගෙන යන ලෙස දැන්වීමයි. අගමැතිනියගේ නියෝගය එය බව ඔහු ගුවන් විදුලි ලොක්කාට කිව්වේය. එහෙත් අගමැතිනිය මේ කිසිවක් දැන සිටියේ නැත. ඔහු සුසිල් මුණසිංහට කියා සිටියේ අගමැතිනියට ජනතාව වෙනුවෙන් වැදගත් ප්‍රකාශයක් කරන්නට තිබෙන බවයි. අනිල් මුණසිංහගේ සහෝදරයා වූ සුසිල් මුණසිංහ ගුවන් විදුලි විකාශය නොනවත්වාම දිගටම එදා රෑ පවත්වා ගෙන ගියේය.
ලොකු ලොක්කන් පිරිස අරලියගහ මන්දිරයට පැමිණෙන වේලාව ප්‍රමාද වෙමින් තිබූ නිසාද ලැබුණ ආරංචිය අනුව රටේ තත්ත්වය ඉමහත් බැරෑරුම් අඩියකට පත්වී තිබූ නිසාද අනුරුද්ධ රත්වත්තේ ගුවන් විදුලි ලොක්කාට යළිත් දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. “සුසිල් රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව විනාඩියෙන් විනාඩිය ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න. මේක අගමැතිනියගෙ නියෝගයක්” රත්වත්තේ කියා සිටියේය. “කෝ ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරන නියෝගයේ පිටපත” සුසිල් මුණසිංහ ප්‍රශ්න කළේය.
“වැඩි ප්‍රශ්න එපා, අගමැතිනිය කියන දේ කරන්න.” රත්වත්තේ දැඩි ස්වරයෙන් එසේ කියා දුරකථනය විසන්ධි කළේය. සුසිල් මුණසිංහ ගුවන් විදුලි විකාශය දිගටම පවත්වා ගෙන යමින් රට වැසියන්ට ඇසෙන්නට ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය විසුරුවා හැරියේය.
මෙම නිවේදනය විකාශනය වෙද්දී එය ශ්‍රවණය කරමින් අරලියගහ මන්දිරයට පැමිණ ලොකු ලොක්කන් පිරිස එක්වී 1971 අප්‍රේල් 5 ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝගය නිකුත් කර සියලුම මාධ්‍ය ආයතනවලට එදා රෑම බෙදා හැරියහ. තම අනුමැතිය නොමැතිව මෙය සිදු කිරීම ගැන සිරිමාවෝ, රත්වත්තේට දොස් පැවරුවේ නැත. එය බෙදාහරින විට රටේ ඇඳිරි නීතිය පනවා ඇතිබව රට වැසියෝ ගුවන් විදුලියෙන් දැනගෙන සිටියහ.
1971 අප්‍රේල් කැරැල්ලේ දී මියගිය මේජර් නොයෙල් වීරකෝන් මගේ හොඳම මිතුරෙක් විය. ඔහු ජීවිතක්ෂයට පත්වූයේ වවුනියාවත් මැදවච්චියත් අතර මාර්ගයේ පිහිටි වැලිඔය පාලම අසලදීය. එදා එම සිද්ධිය මම රිවිරැස පත්‍රයට වාර්තා කළෙමි. එම පුවතේ සිරස්තලය වූයේ “මැෂින් තුවක්කුවේ කොකා තද කරගෙන මේජර් මිය යයි.” යනුවෙනි. ශ්‍රී ලංකාව තුළ සිදුවූ කැරැල්ලකින් යුද හමුදා මේජර්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. කතරගම දී ලුතිතන් කර්නල් රෙක්ස් ද කොස්තාද කැරලිකරුවන්ගේ ප්‍රහාරයෙන් මියගිය බව මට මතකය.
කතරගම ප්‍රේමවතී මනම්පේරි රූ රැජිණිය ජීවිතක්ෂයට පත්වුණේ ද මේ කැරැල්ලේදීය. වික්ටර් අයිවන්ට එක අතක් අහිමි වූණේ ද මේ කැරැල්ලේ ප්‍රතිඵලයක් වශයෙනි.
සිරි හීන්පැල්ල ලියයි
ඡායාරූපය : ළහිරු හර්ෂණ