කෝනාර මුදියන්සේලාගේ පොඩි අප්පුහාමි රාජරත්න හෙවත් පොදු ජනතාව ඉතා මැනවින් දැනගෙන සිටි නාමයෙන් හඳුන්වතොත් කේ. ඇම්. පී. රාජරත්න මහතා ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ විවාදාත්මක චරිතයක් ලෙස පෙන්වා දීමට ඕනෑ තරම් කරුණු තිබේ.
1952 දෙවැනි මහා මැතිවරණයේ දී ප්‍රථම වතාවට දේශපාලනයට අවතීර්ණ වූ හෙතෙම ඇම්. පී. බඹරපනේ (යතුර 6314) වෙතින් පරාජයට පත් වු නමුත්, තුන්වැනි ස්ථානයට පත්ව ඡන්ද 3327 ක් ලබාගැනීමට සමත් වූයේය. 25 වැනි වියේ පසු වු ඔහු වැලිමඩ ප්‍රදේශයේ සිටි එකම උපාධිධාරියා ලෙස සමාජයේ පිළිගැනීමට ද ලක්ව සිටියේය. මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු ලේකම්වරයෙකු (උප ඇමති) පක්ෂ නායකයෙකු, විශ්ව විද්‍යාලයීය ආචාර්යවරයෙකු මැතිසබයේ අඹු සැමි නාමාවලියේ සාමාජිකයෙකු, භාෂා ප්‍රේමියෙකු වශයෙන් සිවිල් සමාජය හැඳිනගෙන සිටි රාජරත්න මහතාගේ දේශ පාලන චරිතය ජයග්‍රහණය මෙන්ම පරාජය ද, මැතිවරණ පෙත්සම් සිවිල් නඩු උපවාස ආදියෙන් සංකලනයවීමෙන් ගොඩනැගුණකි.
පාර්ලිමේන්තුව, මැතිවරණ වේදිකාව, ඡන්ද පෙත්සම් සිවිල් නඩු විභාග කළ අධිකරණ උපවාස භූමිය මෙන්ම වැලිකඩ බන්ධනාගාරය ද ඔහුට හුරු පුරුදු ස්ථාන විය. 1956 මහ මැතිවරණයේදී හිටපු මන්ත්‍රී ඇම්. පී. බඹරපනේ මහතා (එ.ජා.ප. අලියා 4318) සමග ම.එ.පෙ. අත ලකුණ යටතේ තරග කළ කේ. ඇම්. පී. රාජරත්න මහතා ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව 12,336 ක් විය. ඔහුගේ වැඩි ඡන්ද සංඛ්‍යාව 8018 ක් වූ අතර, එය එම මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 06 අතරින් සටහන් වූ ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව වශයෙන් වාර්තා පොතට ද එක් විය. තෙවැනි මහා මැතිවරණයෙන් බලයට පත් වූ බණ්ඩාරනායක රජයේ තැපැල්, ගුවන් විදුලිය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ලේකම්වරයා වශයෙන් දිවුරුම් දුන් ඔහු භාෂා ප්‍රශ්නය මත 1958 දී රජයෙන් ඉල්ලා අස් විය. අනතුරුව “ජාතික විමුක්ති පෙරමුණ” නමින් නව පක්ෂයක් ආරම්භ කර 1960 මාර්තු මැතිවරණයේ පටන් “අහස් යානය” ලකුණ යටතේ තරග කළේය.
1960 මාර්තු ජුලි මැතිවරණද, 1962.06.28 දින පැවැත්වූ අකුරු මැතිවරණය ද ජයගත් ඔහු 1965 මැතිවරණයේ දී එ.ජා.ප.යේ. පර්සි සමරවීර මහතා වෙතින් පරාජය ලැබීය. ජය පරාජය අභියෝග ඔස්සේ දිවෙන ඔහුගේ දේශපාලන ජීවිතයේ විශේෂිත සිදුවීම වූයේ අධිකරණයෙන් වරදකරු ලෙස තීරණය කර සිර දඬුවම් නියම කිරීමේ හේතුවෙන් මන්ත්‍රී ධුරය අහිමිවීමේ අවදානමට මුහුණ පා සිටියදී අග්‍රාණ්ඩුකාරවරයාගේ නියෝගය මත දඬුවම ලිහිල් වී ආසනය රැකගත් එකම මන්ත්‍රීවරයා බවට පත්වීමයි. මෙතැන් සිට සංක්ෂේපයෙන් දිගහැරෙනුයේ ඒ රස මුසු දේශපාලන කථාන්තරයයි.
නීති විරෝධී ලෙස කණ්ඩායම් ගැසීම සහ කලබලකාරි ලෙස හැසිරීම 1958.04.27 දින වැලිමඩ, සෙන්ට්‍රල් ස්ටෝර්ස් අයිතිකාර ඩී. ගිරිගෝරිස් පෙරේරා මහතාට තුවාල සිදු කිරීම ඔහුට අයත් ආයතනයට රු. 600/- ක අලාභයක් සිදුකිරීම, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරී මනම්පේරි මහතාට අයත් මෝටර් රථයට රු. 400/- ක අලාභයක් සිදුකිරීම යන චෝදනා මත බදුල්ලේ දිස්ත්‍රික් විනිශ්චයකාර ලයනල් සමරතුංග මහතා ඉදිරියේ විභාග වූ නඩුවක දී රාජරත්න මහතා ඇතුළු අට දෙනෙකුට (සෙසු විත්තිකරුවන්: (1) ජී. ඇම්. ගුණරත්න, (2) කේ. ඇම්. ජයසේකර (3) ඩබ්ලිව්. ඇම්. විජයදාස (4) ඊ. එම්. ඩබ්ලිව්. හෙන්ද්‍රික්හාමි (5) ඩබ්ලිව්. ඇම්. උක්කු බණ්ඩා (6) ඩබ්ලිව්. ඇම්. ඇල්. අප්පුහාමි සහ (7) ඇම්. ලයනල් 1960 ජුනි මාසයේ දී වසර දෙක හමාරක සිර දඬුවමක් නියම කෙරිණ. මෙම තීන්දුවට එරෙහිව ඇපෑල විභාග කිරීමේදී විත්තිකරුවන් වෙනුවෙන් රාජනීතිඥවරුන් දෙදෙනකුම පෙනී සිටි අතර මනම්පේරි මහතාගේ මෝටර් රථයට අලාභ හානි කිරීම හා ඊට අදාළ අනෙකුත් චෝදනාවලින් විත්තිකරුවෝ නිදහස් වූහ. ඉතුරු චෝදනාවලට රාජරත්න මහතා ඇතුළු විත්තිකරුවන් වරදකරුවන් බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිර දඬුවම අවුරුදු 1 1/2 දක්වා අඩු කළේය. මෙම තීන්දුවෙන් පසු රාජරත්න මහතා අධිකරණ අමාත්‍යවරයාට කරුණු දක්වමින් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා සිටියේය.
තමා රාජාධිකරණයට ඇපල් ගන්නා බව දැක් වූ රාජරත්න මහතා ඊට අධිකරණ ඇමතිවරයාගේ අනුමැතිය ඉල්ලා සිටියේය. රාජාධිකරණයේදී ඇපෑල අසාර්ථක වුවහොත්, ඔහු බන්ධනාගාර කොමසාරිස් වෙත භාර වෙන බවට ඇපයක් අත්සන් තැබීමෙන් පසු ඊට අවසරය දෙනු ලැබීය.
ඉන්පසු කිසිවෙකුත් අපේක්ෂා නොකළ අයුරින් රාජරත්න මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිය ගැට පෙළ අසල උපවාසයක් ආරම්භ කළේය. මෙහි අරමුණ වූයේ ඔහුට සමාවක් දෙන ලෙස බලධාරීන්ගේත් සිවිල් සමාජයේත් අවධානය යොමු කරවා ගැනීමය. මෙම උපවාසය සම්බන්ධයෙන් එවකට අගමැතිනි ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිකුත් කළ දීර්ඝ නිවේදනයේ ඇතුළත් වූ කරුණු කීපයක් මෙසේය.
“වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න මහතා උපවාසයක යෙදී සිටින බව කියමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩල ගොඩනැගිල්ලේ පිය ගැට පෙළෙහි නතරවීමෙන් ඒ මහතා කෙරෙහි මහජන සැලකිල්ල යොමු කරවා ගැනීමට ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ. සමාවක් දෙන ලෙස ආණ්ඩුවට බල කිරීමට රාජරත්න මහතා වර්තමාන උපවාසය උපයෝගී කරගෙන තිබෙන ලෙසක් පෙනෙන්නට ඇත. පුද්ගලයන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් මොන විදියේ බලපෑමක් කළත් ඒ බලපෑම් මඟින් රජය කෙරෙහි යාදීමක් නොවන බව කියන්ට මම කැමැත්තෙමි. වරදට පත් කරනු ලැබු සෑම කෙනෙකු සම්බන්ධයෙන්ම නිසි පරිදි සලකා බලනු ලැබේ. රටේ නීතියත් සාමයත් කඩ කිරීමට තුඩු දෙන මෙවැනි කල්පනා රහිත ක්‍රියා මාර්ගවලට ඉඩ දිය නොහැකිය.”
මෙම නිවේදනයට වහාම ප්‍රතිචාර දැක්වීමට රාජරත්න මහතා ඉදිරිපත් විය. ඔහු ප්‍රකාශ කර සිටියේ සමාව දීම සඳහා අලුත් නීතියක් අනවශ්‍ය බවය. වලංගු නීති ප්‍රතිපාදන යටතේ සමාවක් දිය හැකි බව අවධාරණය කළ ඔහු තවදුරටත් කියා සිටියේ පුද්ගලයින්ට එවැනි සමාවන් ප්‍රදානය කර ඇති බවයි. තමාගේ නොවටිනා ජීවිතය පූජා කිරීමට සිදුවුවත් උපවාසය අත්නොහරින බව ඔහු දැඩිව ප්‍රකාශ කර සිටියේ සමාජයේ සැලකිල්ල තවත් ඉහළ තත්ත්වයට නංවමිනි. මේ අතර 1961.06.17 දින අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයකින් කියැවුණේ උපවාසයේ නිරත වූ රාජරත්න මහතා හදිසි නීති රෙගුලාසි යටතේ ඔහුගේ නිවෙසට ගොස් හැරලූ බවයි. මේ වන විට උපවාසයට එක් ව සිටි කුසුමා රාජරත්න මහත්මිය ද සමග ඒ දෙදෙනා නිවාස අඩස්සියේ තැබීමට කටයුතු සලස්වා තිබුණි.
මේ අතර රාජරත්න මහතාට සමාවක් දෙන ලෙස ඉල්ලීමක් ඇතුළත් පෙත්සමක් අග්‍රාණ්ඩුකාර උතුමාණන්ට භාරදීමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සැලැස්මක් කරළියට පිවිසියේ දේශපාලන පසුබිම උණුසුම් කරමිනි. මේ සඳහා මූලිකව ක්‍රියා කළේ ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක සහ දඹදෙණිය මන්ත්‍රී ආර්. ජී. සේනානායක යන දෙදෙනාය. මෙවැනි සමාවක් දීමේ බලය අග්‍රාණ්ඩුකාරවරයාට පැවරී ඇති හෙයින් මෙම පෙත්සම පිළියෙල කළ බව ඩබ්ලිව්. දහනායක මහතා පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණි. 1961 ජුනි මස මැද භාගය වන විට ල.ස.ස.ප. හා ද්‍රවිඩ මන්ත්‍රීවරුන් හැරුණ කොට, මන්ත්‍රීවරුන් 65 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ඊට අත්සන් තබා ඇති බව වාර්තා විය. එහෙත් වර්තමානයේදී මෙන්ම මීට අඩසිය වසකට පෙර ද මෙවැනි පෙත්සම්වලට අත්සන් යෙදීම හා ඉන්පසු අත්සන් ඉල්ලා අස් කර ගැනීමේ නාටකීය ස්වරූපය තිබූ බව සනාථ කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිකවැරටිය මන්ත්‍රී. මු. තෙන්නකෝන් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සිය අත්සන් ඉල්ලා අස් කර ගත් බවය. මේ කලබල මැද 1961.06.28 “දිනමිණ” පත්‍රයේ පළ වූ රාජරත්න මහතාගේ නීතිඥ පී. ඒ. ඩී. සමරසේකර මහතා කළ ප්‍රකාශයක් නිසා මෙම සිදුවීම් මාලාවේ අවසානය කෙබඳු වේද යන්න පිළිබඳ විශ්වාසනීය ඉඟියක් රටට හෙළිදරව් විය.
එම ප්‍රකාශය මෙසේය.
“මගේ උපදෙස් පරිදි රාජනීතිඥ ජී.ඊ. චිට්ටි මහතාද, අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මහතා ද අධිකරණ ඇමැතිවරයා හමු වී රාජරත්න මහතා සහ අනෙකුත් විත්තිකරුවන් වෙනුවෙන් සාකච්ඡාවක් පැවැත්වීය. සාකච්ඡාව දෙපැයක් මුළුල්ලේ පැවැත්වුණ අතර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඊට සහභාගී විය. අවසානයේ දින 21 උපවාසය නතර කරන ලෙස අපි රාජරත්න මහතාට උපදෙස් දුනිමු.”
කරුණු කෙසේ වුවද අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණ නියෝගය ක්‍රියාවේ යෙදවීම තහවුරු කරමින් 1961.08.23 දා රාජරත්න මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කෙරුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇසීමට ඔහුට බදුල්ල දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටීමට නියම වී තිබුණ නමුත්, හදිසි නීතිරෙගුලාසි යටතේ පනවන ලද නියෝගයක් අනුව හෙතෙම මේ අයුරින් කොළඹ දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළේය. එහිදී රාජරත්න මහතා ඇමතූ අතිරේක දිස්ත්‍රික් විනිශ්චයකාර ඩි. ජේ. ආර්. ගුණවර්ධන මහතා බදුල්ලේ දිස්ත්‍රික් උසාවියේ තීන්දුවට එරෙහිව ඇපෑල් ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය, ඇපෑල විභාග කිරීමෙන් අනතුරුව දුන් තීන්දුව ප්‍රකාශ කිරීමට කැඳවූ බව දැන්වීය. බදුල්ල දිස්ත්‍රික් උසාවිය වෙනුවට කොළඹ දිස්ත්‍රික් උසාවියේ මෙම තීන්දුව ප්‍රකාශ කිරීමට නීතිපතිවරයා ගත් තීරණයට තමා විරුද්ධ වන බවත්, එම විරුද්ධත්වය සටහන් කරන ලෙසත් රාජරත්න මහතා කළ ඉල්ලීම දිසා විනිසුරුවරයා පිළිගත් අතර, ඊට එරෙහිව තමාට රිසි පරිදි නීති කටයුතු කිරීමට අවකාශ ඇති බවත් දැන්වීය. තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු වැලිකඩ බන්ධනාගාරයට යැවීය. මෙම සිද්ධියෙන් රාජරත්න මහතා වැලිමඩ ආසනයේ මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවදානමකට මුහුණ දුන්නේය. එහෙත් ඉන් දින කීපයකට පසු 1961 අගෝස්තු 28 දා රාජරත්න මහතා ඇතුළු චූදිතයන් අට දෙනාට ශ්‍රේෂ්ඨාධිකරණය පනවා තිබූ දහ අට මාසයේ සිර දඬුවම අධිකරණ ඇමතිවරයාගේ උපදෙස් පිට, අග්‍රාණ්ඩුකාර උතුමාණන් විසින් දෙමාසයක් දක්වා අඩුකර ඇතැයි අධිකරණ අමාත්‍යාංශ නිවේදනය කළේය. මෙම තීරණයත් සමග රාජරත්න මහතාගේ මන්ත්‍රී ධුරය රැකුණ අතර එවන් අවස්ථාවක් උදා කර ගත් එකම මන්ත්‍රීවරයා හැටියට ඔහුගේ නාමය දේශපාලන ඉතිහාසයට ද එක් විය.
ජී. ආර්. ඩී. බණ්ඩාර