‘මේ රටේ මිනිසුන්ට හැමදේම ඉක්මනින් අමතක වෙන රෝගයක් තියෙනවා’ එක්තරා දේශපාලනඥයෙක් පවසා තිබිණි. මේ දුර්වලකම නිසා අතීතයෙන් පාඩම් ඉගෙන නොගත් අපේ බොහෝ දෙනකුට ත්‍රස්තවාදී වාතාවරණයත් යුද වාතාවරණයත් ඉක්මනින් අමතකවීම නිසා යළි යළිත් එම බියකරු තත්ත්වයම උදාවේදෝයි සැකසිතීම පුදුමයක් නොවේ.
1987 අගෝස්තු මස 18 වනදා මෙරට පාර්ලිමේන්තු සංකීර්ණය තුළම සිදුවූ බෝම්බ ප්‍රහාරයද අද සිහිනයක් පමණි. ඒ වනවිට වඩමාරච්චි මෙහෙයුම තුළින් කොටි සංවිධානයට බරපතළ පරාජයක් එල්ලවී තිබිණ. ඉන්දු - ලංකා ගිවිසුම 1987 ජුලි මස 29 වනදා අත්සන් කරනු ලැබීමත් සමඟම ඉන්දියාවේ බලපෑම තදින් මෙරටට එල්ලවූ වාතාවරණයක බෝම්බ ප්‍රහාරය සිදුවිණ.
‘වඩමාරච්චි තවත් දවස් ගාණකට විතරයි අල්ලාගෙන ඉන්න පුළුවන්’ ප්‍රභාකරන් ඉන්දීය රජයට ප්‍රකාශ කර තිබිණි. වහාම එය නතර කරන මෙන් ජනපති ජේ. ආර්. ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිට නියෝග කළේය. එතුළින් ජේ. ආර්. සහ ඇතුළත්මුදලි අතර කඹ ඇදීමක් නිර්මාණය විය.
ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීම ඉක්මන් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අනෙක් පැත්තෙන් ඉන්දියානු බලපෑම්වලට යටත් නොවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයට බලපෑම් කළේය. එම ගිවිසුමේ කොන්දේසිවලට ජවිපෙ තම තද විරෝධය පළ කළේය.
ඒ සඳහා උද්ඝෝෂණ, පා ගමන්, බලපෑම් සිදුකරන අතරේ ජවිපෙ සන්නද්ධ කල්ලිය අවි බලයෙන් තම විරෝධය ප්‍රකාශ කර තිබිණ. ‘ජේ. ආර්’ ඝාතනය කරන බවට ද නියමකර තිබියදී කිසිදු පිළිසරණක් නොමැති එජාප බලවත්හු ඉන්දියාවේ මිත්‍රත්වයේ හස්තය වැලඳ ගත්හ.
ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ ඍජුව කටයුතු කරද්දී රටුපරා ප්‍රගතිශීලී සංවිධාන ද ජනතාව දැනුම්වත් කිරීමේ උද්ඝෝෂණ ජනහමු පැවැත්වූහ. මෙම යුගය වනවිට විරුද්ධ පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව සම්මතවී තිබූ අතර වමේ නායකයන් වැඩි පිරිසක් ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී සිටියහ.
කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන ඇතුළු බෞද්ධ මර්මස්ථාන රැසක මැතිනියගේ ප්‍රජා අයිතිය ඉල්ලාත් ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පෑම සඳහාත් බෝධි පූජා, පෙළපාලි, මහරැලි හා යෝධ පෙත්සම් අත්සන් කිරීම් හා මානව හිමිකම් සංවිධාන දැනුම්වත් කිරීම් වැනි වැඩ සටහන් අරඹා තිබිණ. මෙම වැඩ සටහන්වලට සහභාගිවූ නායකයන් රැසක් රහස් පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබිණ,
ඒ නිසා ඡායාරූපවලට පෙනී සිටීමට ද උද්ඝෝෂකයෝ අකමැති වූහ. ඡායාරූපවලින් හඳුනාගත් පුද්ගලයන්ට පසුදා අත්අඩංගුවට පත්වීමට හෝ අතුරුදන්වීමට සිදුවිය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සිසු හා මාධ්‍ය ක්ෂේත්‍රවල විශාල පිරිසකගෙන් සිරගෙවල් පිරිණ. වධ කඳවුරු පිරිණ.
වරක් විද්‍යාලංකාර පිරිවෙනේ පැවැත්වූ ඉන්දු - ලංකා ගිවිසුමට විරෝධය පළ කළ රැලියක මුලසුන ඉසිලුවේ පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත හිමියෝය. එම රැස්වීමට ප්‍රජා අයිතිය අහිමි කළ බණ්ඩාරනායක මැතිනිය ද පැමිණි අතර මහා සත්‍යග්‍රහයක් පැවැත්විණ.
සෝභිත හිමියන් දෙසුම පවත්වද්දී වේදිකාවට කඩා වැදුණු කඩු පොලු කිණිසි බයිසිකල්චේන් රැගත් පිරිසක් එහි කලබලයක් ඇති කළ අතර එහිදී මාධ්‍යවේදීන්ගේ කැමරා පවා උදුරා ගන්නා ලදී. එහෙත් මෙම කලබලය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උසි ගැන්වීමෙන් ජනතාව ප්‍රකෝපකාර වූ නිසා වූවක් යැයි රජය චෝදනා කළේය.
එදා එම චෝදනාව ඔප්පු නොවූයේ මාධ්‍යවේදීන් සෝභිත හිමියන් හා බණ්ඩාරනායක මැතිනිය සුරැකෙනසේ පොලිසියට කටඋත්තර දුන් නිසාය.
ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතින් අතරද මත ගැටුම් ඇතිවිය. ඉන්දීය බලපෑම් හමුවේ රජිව්ගාන්ධි හා ජේ. ආර්. යන ද්වි පාර්ශ්වීය නායකයන් අතර දැඩි රැකවරණය මැද රට පුරා කළු කොඩි නැගෙද්දී ඊනියා ගිවිසුම අත්සන් කෙරිණ. ඉන්පසු මුල්ම පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට සැලසුම් කිරීම් වස් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීම කැඳවිණ.
එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී 1987 අගෝස්තු මස 18 වැනිදා පෙරවරු 8.40ට ඇරැඹි අතර සහභාගිවූයේ 120 දෙනකු පමණි. ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැමූ බවට සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතා සැමරීම සඳහා විනාඩි දෙකක නිහැඬියාවක් මුලින්ම පැවැත්විණ.
ජනපති ජේ. ආර්. මුලසුන ගත් අතර අගමැති ආර්. ප්‍රේමදාස ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි අමාත්‍යවරුන් වන ගාමිණි ජයසූරිය මොන්ටේගු ජයවික්‍රම, ඊ. ඇල්. බී. හුරුල්ලේ වැනි ජ්‍යෙෂ්ඨයෝද මුල්පෙළේ වුන්හ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඩී. බී. ඒකනායක සභාව අමතන්නට වූයේය. අගමැති ප්‍රේමදාසයන් වෙතට කඩිමුඩියේ පැමිණි පාර්ලිමේන්තු නිලධාරි නෝබට් සේනාධීර යම් ලිපි ගොනුවක් එතුමාට දිගු කළා පමණි. යාබද කාමරය දෙසින් පිට පිට බෝම්බ දෙකක් එදෙසට එල්ල විය. එම බෝම්බ දෙකම ප්‍රධාන නායක දෙපොළ අසලින් ඉවතට පැන ගියේය.
එහෙත් ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි හා මාතර දිස්ත්‍රික් මන්ත්‍රි කීර්ති අබේවික්‍රම යන මහත්වරුන් අසලදී පුපුරා ගියේය. ඇතුළත්මුදලි මන්ත්‍රීවරයාට මාරාන්තික තුවාල සිදුවූ අතර අබේවික්‍රමයන්ට දිවි අහිමි විය.
පාර්ලිමේන්තු නිලධාරි නෝබට් සේනාධීර මහතාද බිලිගත් බෝම්බය සභා ගර්භය තුළ ලේ ගංගාවක් වගුරුවමින් සියල්ල සුනු විසුනු කරමින් දුම් වලාවක් බවට පත්විය.
පාර්ලිමේන්තුව දැවැන්ත ප්‍රහාරයකට ලක්වූ බව සිතාගත් මැති ඇමැති හා නිලධාරි පිරිස ලී පුටුවලින් දොර ජනෙල් බිඳගෙන පාරට පැනගත් අතර ආරක්ෂකයෝ වහා ඔවුන් වාහනවල දමාගෙන පිටමං කළහ.
බරපතළ තුවාලකරුවන් වහාම කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කරන ලද අතර ඇතුළත්මුදලි මහතා දැඩි පරිශ්‍රමයක් දරා සුවපත් කෙරිණ. තවත් 16 දෙනකු තුවාල ලැබූ අතර ගාමණී ජයසූරිය, මොන්ටේගු ජයවික්‍රම හා ඊ. ඇල්. බී. හුරුල්ලේ යන ඇමැතිවරු ඒ අතර වූහ.
බෝම්බවලට අමතරව වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට ද කටකතා පැතිරිණි. එක් බෝම්බයක් ආර්. ප්‍රේමදාස මහතා එල්ල කර විසි කරනු ලැබුවත් සේනාධීර මහතාට ආවරණය වූ බැවින් එතුමා බේරී සේනාධීරයන්ගේ දිවි බිලිගත් බව හෙළිවිය.
‘සිංහල ජනතාව තුළ සිටින ත්‍රස්තවාදීන් මීට වගකිව යුතුයි. සන්සුන් වන්න. මේ ප්‍රහාරය රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙත එල්ල වූ ප්‍රහාරයක්’
දිවි බේරාගත් ජනපති ජේ. ආර්. ජනතාවට පැවැසීය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු ප්‍රහාරය පිළිබඳ පුවත්වලින් ජනමාධ්‍ය පිරී ගිය බැවින් සියල්ල මාසයක් යනතුරු යටපත්විය. මෙය කොටි සංවිධානය විසින් කළ එකක්ද?
නැතිනම් ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහි දේශප්‍රේමී සංවිධානයක් කළ එකක්ද? නැතිනම් ජවිපෙ සන්නද්ධ කල්ලියේ වැඩක්ද? යන්න රහසක් විය.
සියල්ලන්ටම පෙර ජවිපෙ සන්නද්ධ අංශය බවට ප්‍රචලිතව තිබූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රහාරයේ වගකීම භාර ගත්තේය. ඒ සමඟ කොළඹ අවට පත්‍රිකා බෙදමින් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිවන ලෙසද ජේ. ආර්. ද්‍රෝහියකු ලෙසද පත්‍රිකා බෙදා හැර තිබිණ.
ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ දෙමළ ප්‍රදේශයන්ට දේශපාලන ස්වයං පාලනයක් ලබාදී සිංහල අයිතිවාසිකම් පාවාදීමට කළ පළිගැනීමක් ලෙස පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය සලකන බවකි. මෙම ප්‍රහාරය නිසා හදිසි නීතිය මෙන්ම ඇඳිරි නීතිය තව තවත් දැඩිවූ අතර මැති ඇමැති ආරක්ෂාව දැඩි විය.
දිර්ඝ පරීක්ෂණයකින් පසු මෙම ප්‍රහාරයේ සැකකරු ලෙස පාර්ලිමේන්තුවට ආහාර සැපැයූ බාහිර සේවකයකු වූ අජිත් කුමාර අත්අඩංගුවට ගැනිණ. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ඉන් ඉවත්ව ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ අජිත් කුමාර බෝම්බ සිද්ධියෙන් පසු අතුරුදන් වූ අතර ඔහු පිළිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනමන බව නිවේදනය කෙරිණ.
අජිත් කුමාර පොලිසියට අසුවූයේ සිද්ධියෙන් මාස 8 කට පසු 1988 අපේ්්‍රල්වලදීය. ඒ සටනකට පසුව නම් නොවේ. නාවුල ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් වැටලීමකදී අහම්බයෙන් තවත් සිවි දෙනකු සමගිනි.
රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු පිරිස මැරීමට තැත් කිරීම, ඇතුළු චෝදනා දහයක් ඔහුට එල්ල විය. 1990 ඔක්තෝබර් 12 වැනිදා කොළඹ මහාධිකරණයේ ඒකමතික තීරණය මත පළමු සැකකරු වූ අජිත් කුමාර හා පස්වන සැකකරු වූ එම්. ජේ. ගුණවර්ධන යන දෙදෙනා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නිදහස් කෙරිණ. ඔවුන් දෙදෙනාට එරෙහි අභියාචනයෙන්ද ඔවුන් නිදොස්කොට නිදහස්වීම දෛවෝපගත තීන්දුවක් විය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි