ජූලියා අල්වාරෙස් (Julia Alrarez) නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද In the time of butterfies කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.
මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් In time of Butterfies කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ.
තිස්එක් වැනි කොටස
තාත්තා රාජද්‍රෝහී චෝදනාවෙන් නිදහස් කර ගැනීමේ කාර්යභාරය කෙමෙන් සංකීර්ණ වන බව පෙනුණි. අම්මාත් මාත් නගරයට ගියේ ඒ සඳහාය.
වාසනාවකට මෙන් අප අගනුවරට යන විට එතෙක් හිරිහැරයක්ව තිබූ සැඬ වර්ෂාව නතරව තිබිණ. පළාත් ආණ්ඩුකාරයා වූ ඩොන් ඇන්ටෝනියෝ ඩිලා මාසා අපට ලියා දී තිබූ හෝටල් තුනටම ගොස් බැලීමට අපට සිදුව තිබුණි. තවදුරටත් නිල වශයෙන් චෝදනා එල්ල කර නොමැති තාත්තා සිර ගෙදරට නොයවනු ඇත. එවිට ඔහු මෙම හෝටලවලින් එකක නිවාස අඩස්සියේ තබනු ඇත. අප අවසාන හෝටලයේද නතරව එන්නේ මිරැබල් කෙනකු එහි නොමැති බව දැනගත් විට අම්මාගේ වත හැඬුමට ආසන්න වුණි. ඒ වන විට රෑ බෝ වී තිබූ අතර නායකයාගේ මාලිගයේ නිලධාරීන් හමුවීම දුෂ්කර වනු ඇතැයි සිතූ අපි එදින රැය එහි නතර වීමට තීරණය කළෙමු.
‘අපි ළඟ සතියේ විශේෂ ගාස්තුවක් තියෙනවා’ අදාළ සේවකයා කීවේය. දිගු දුක්බර මුහුණකින් යුතු ඔහු බොහෝ සිහින් අයෙකි.
මා අම්මා දෙස බැලුවේ ඇගේ අදහස දැනගැනීමටය. නමුත් සුපුරුදු පරිදි ඈ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම නොකළාය.
ඇරත් අම්මා පළමු වතාවට තමා වෙනුවෙන් නැතහොත් සැබෑවටම මා හා මගේ පියා උදෙසා ඉදිරිපත් වෙනු මා දුටුවේ මෙදින දහවල ඩොන් ඇන්ටෝනියො ඉදිරියේය.
“අපි දන්නෙ නැහැ අපට සතියක්ම ඉන්න වෙයිද කියල” මම එම මිනිසාට කීවෙමි.
“අපේ තාත්තාට චෝදනා එල්ල වුණාද නැද්ද කියලත් අපි දන්නෙ නැහැ.”
ඔහු මා දෙසත් අම්මා දෙසත් මාරුවෙන් මාරුවට බලා “සතියේ ගාස්තුවට ගන්න”යි කීය. “ඔබලා ඊට අඩු කාලයක් හිටියොත් මම වැඩිවන මුදල ආපසු දෙන්නම්” ඔහු සංසුන්ව පැවසීය.
මෙවැනි ගැටලු විගසින් නොවිසඳෙන බව ඔහු දැන සිටින්නට ඇත. මා අපගේ ලියාපදිංචි කාඞ්පත ලියන ලද්දේ ඔහු කියූ අන්දමට පෑන තදකරමිනි. එය පිටපත් හතරකට වදින බව ඔහු කීවේය.
ඉන් එකක් පොලිසියටද, අනෙක අභ්‍යන්තර පරිපාලනයටද, තෙවැන්න හමුදා බුද්ධි අංශය වෙතද යැවෙන බව ඔහු කීය. තරුණයා කී පරිදි සිව්වැන්න යන තැන සටහන් නොවේ.
ජාතික පොලිස් මූලස්ථානයේ එක් තැනකින් තවත් තැනකට යමින් ගෙවූ දිනය අපායක ගත කිරීමක් වැනි විය. වහලයට නොකඩවා පහර දෙන වැස්සේ හඬ එක්තරා ආශිර්වාදයක් වැනි විය. එම ස්ථානය මිනිසුන්ගෙන් පිරී තිබුණි. බොහෝ දෙනෙක් පැය ගණනාවකට පෙර, මෙම කාර්යාලය විවෘත කිරීමටත් පෙරාතුව පැමිණ සිටියේ පෝලිමේ හොඳ තැනක් අල්ලා ගැනීමටය.
දවස ගෙවී යන විට ප්‍රශ්න කිරීම් මේසය වෙත යොමු වන පැමිණිලි එකක් හැර මට ඇසී තිබිණ. එය මා රෝගී කිරීමට ප්‍රමාණවත් වුණි. මා විටින් විට ජනේලය අසලට ගොස් මගේ මුහුණ මතට වැසිදිය විසිරෙන්නට හැරියෙමි. එහෙත් මෙය නිමා නොවන හිසරදයකි.
අවසානයේ දවස ගෙවී යන විට අප පෝලිමේ ඊළඟට යා යුතු තැනැත්තන් විය. මා ඉදිරියේ පෙත්සම පිරවූ වියපත් තැනැත්තා තම පුතුන් දහතුන් දෙනා අතරින් නැති වූ පුතකු උදෙසා පැමිණිල්ල ඉදිරිපත් කළ බව පෙනිණ. ඔහුට එපමණ හොඳින් අකුරු ලිවීමට නොහැකි වූ බැවින් මම ඔහුට උදවු කළෙමි.
“ඔබ පුතුන් දහතුන් දෙනාගේම පියාද?” යි මා ඇසුවේ අවිශ්වාසයෙනි.
“එහෙමයි, සිංfක්‍දා්රිතා..”යි මහල්ලා හිස සැලුවේ අභිමානයෙනි. මව්වරුන් කී දෙනෙක්ද? යි අසන්නට මගේ දිව නැටවුණ නමුත් ඔහුගේ ගැටලුව සෙසු අදාළ දෑ පරදවන සුලු විය. අප ඔහුගේ සියලුම දරුවන්ගේ නම් ලියන කොටසට ළඟා විය.
“මොකක්ද වැඩිමල් පුතාගෙ නම?” මා ඇසුවේ ලිවීම සඳහා පැන්සල තබමිනි.
“පැබ්ලෝ ඇන්ටෝනියෝ ඇල්මොන්ටේ”
“ඒක නැති වුණ පුතාගෙ නම නේද? ඔබ කිවුවනෙ ඔහු තුන්වැනියා බව?”
මා විශ්වාස කළ මහල්ලා පැවසුවේ පාලකයින් නොමඟ හැරීම සඳහා පුතුන් දහතුන් දෙනාටම එකම නම තැබූ බවය. කවර පුතෙක් අල්ලා ගත්තද ඔවුන්ට වුවමනා තමා නොවන බව එවිට ඔහු දිව්රා කියනු ඇත.
මෙම දුප්පත් ගැමියාගේ ප්‍රඥාව ඇසූ මම සිනාසුණෙමි. මම මගේ උපායශීලී බව යොදමින් මා කියවා තිබූ නම් දුසිමක් ඔවුනට ලබා දුනිමි. ඔවුන් කවරෙකුම වුවද ඩොමිනිකානු නම් ලබාදී කරදරයට ඇද දැමීම නොකළ යුතු බව මට සිතුණි. ප්‍රධාන නිලධාරියා එම නම් කියවීමට කාලය ගත්තේය. “ෆවුස්ටෝ? සමිත්‍රි? පුෂ්කින්? මොනවද මේ නම්?” මා ලියූ නම් කියවීමට මහල්ලාට හැකියාවක් නොවූ බැවින් මා නැවත කැඳවනු ලැබිණ. මා නම් කියවන විට මහල්ලා හිස සලමින් අනුමත කළේය.
“දැන් ඔබ ඒවා කියන්න..”
“මගේ මතකය..” යි මහල්ලා පැමිණිලි කළේය. “ඒවා මහ හුඟක්නෙ..”
නිලධාරියා දෑස් කුඩා කළේය. “එහෙම නම් ඔබ ඔවුන්ට කතා කරන්නෙ මොනව කියලද?”
මෙහෙමයි මහත්මයා..” මහල්ලා ඇඟිලි ගණන් කරමින් කීය. “මං ඔවුන් හැමදෙනාටම කියන්නෙ මිජෝ කියලයි.” ඔහු ඔවුන් සැමදෙනා ඇමතුවේ පුතා හැටියටය.
“අපි කළ හැකි දෙයක් කරනවා.” ඔහු පොරොන්දු වූයේ ගැමියා ගුළි කර දෙන පෙසෝ නෝට්ටු ගාස්තුව වශයෙන් ලබා ගනිමින්ය.
ඊළඟට උදා වූයේ අපගේ වාරයයි. නමුත් අවාසනාවන්ත ලෙස ප්‍රධානියා නිවේදනය කර සිටියේ මිනිත්තු පහකින් කාර්යාලය වසා දමන බවය “අපි හුඟාක් වෙලා හිටියා.” මා මගේ ආරක්‍ෂිත භටයාට ආයාචනා කළෙමි. මාත් එහෙමයි. මගේ ජීවිත කාලය පුරාම ඔබ මුණ ගැහෙන්නට බලා සිටියා සිංඤෝරිතා. ඒ නිසා මගේ හදවත බිඳ නොදා හෙට උදේට එන්න.” ඔහු මගේ හිස සිට දෙපතුල තෙක් නෙත් යොමු කෙරුවේ මනමාලකමටය. එවර මම පෙරළා සිනා නොවී සිටියෙමි.
මා කළ වරද වූයේ මහලු ඩොන් ජුවාන්ට උපකාර කිරීමය. ඔහුගේ වාරය බොහෝ දිගට ඇදුන බැවින් මගේ අවස්ථාව අහිමි විය.
අපට පසුදින පැමිණීමට සිදුවන බව දැන් වූ විට අම්මා සුසුමක් හෙළුවාය. ඔයාට හැමෝගෙම සටනට සටන් කරන්න වෙනවා. එහෙම නේද?” අම්මා පැවසුවාය.
“ඒ එකම සටන අම්මා..”යි මම ඇයට කීවෙමි.
පසුදා හිමිදිරියේ අප අවදි වූයේ අපේ දොරට ගසන හඬින්ය. බර අවිගත් හමුදා භටයින් සිව් දෙනකු එහි විය. මා ප්‍රශ්න කිරීම සඳහා මූලස්ථානය වෙත ගෙන යා යුතු බව ඔවුහු කීහ. මා අම්මා සංසුන් කිරීමට වෑයම් කළද මගේ දෑත් වෙව්ලන්නට වූයෙන් මගේ ඇඳුමෙහි බොත්තම් පියවීම පවා අසීරු විය.
මා යන්නේ නම් තමාද යා යුතු බව අම්මා භටයන්ට කීවාය. නමුත් මොවුහු උතුරෙන් මිශ්‍රණය වූවන්ට වඩා පහත් ජන්මයක් ලද්දවුන්ය. අම්මා මා සමග පැමිණීමට සැරසෙත්ම ඉන් එකෙකු බයිනේත්තුව දිගුකර ඇගේ මඟ හරස් කළේය.
“මේක වුවමනා නැහැ.” මම එසේ කියා බයිනේත්තුව පසෙකට කළෙමි.
මම අත දිගුකර අම්මාගේ අත අල්ලා සිප ගතිමි. “අම්මා ගිහින් එන්නම්” මා පැවසුවේ පාසැල් වියේදී ඇයට කීමට පුරුදුව සිටි අයුරිනි.
නමුත් මේ මොහොතේ අම්මා ඉකිබින්දාය. “කල්පනාවෙන්, ඔයා දන්නවනෙ මොකක් ගැනද කියලා-” ඈ සුසුම් හෙළමින් පැවසුවේ මගේ කට ගැන පමණක් නොවන බව මට හැඟුණි.
මා යළි පැමිණ සිටියේ ජාතික පොලිස් මූලස්ථානය වෙතය. නමුත් එය අප පෙරදින නුදුටු කාර්යාලයකි. කාමරය සුළඟින් හා ආලෝකයෙන් යුතු විය. ඉහළ මහලකි. කිසිවකු එහි බලධාරියා වුණි. මේසයේ වාඩි වී සිටි සුදු හිසකේ සහිත තැනැත්තකු ඉදිරියට පැමිණියේය. “සාදරයෙන් පිළිගන්නවා!” යි ඔහු මට පැවසුවේ මා විශේෂ කැඳවීමකින් පැමිණි අයෙකු මෙන් සැලකූ අයුරිනි.
පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර