1947 වර්ෂය ජාතික නිදහසේ අරුණෝදය පිළිබඳ බලාපොරොත්තුවලින් පිරී තිබූ නිසාම දේශප්‍රේමයෙන් මෙන්ම සටන්කාමීත්වයෙන්ද අදහස් කුළුගැන්වෙමින් පැවති වකවානුවක් විය. වර්ධනය වෙමින් පැවති වාමාංශික බලවේගයේ ශක්තිය හා ධෛර්යය කුළුගැන්වීම එම සමාජ පසුබිම නිර්මාණය වීමට හේතුවක් විය. එම කාලය වන විට වැඩ කරන ජනයාට හිමිව පැවතියේ සීමිත අයිතිවාසිකම් කොටසක් වන අතර, දේශපාලන කටයුතු, වෘත්තීය සමිතිවලට බැඳීමට ද අයිතියක් ලැබී නොතිබිණි. එබැවින් රාජ්‍ය සේවකයන් මෙකී අයිතිවාසිකම් දිනා ගැනීමට උද්ඝෝෂණවල නිරත වූ නමුදු එයින් පලක් නොවීය.
විශේෂයෙන් දේශීය වශයෙන් පැවති අධිරාජ්‍යවාදී පාලනයේ මර්දනය කෙරෙහි ඇති වූ වෛරයත්, ජාත්‍යන්තර වශයෙන් දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ඇති වූ ආර්ථික පරිහානියත්, අමුද්‍රව්‍ය සැපයුම අඩුවීමත් සහ කර්මාන්තවල නිශ්පාදනය අඩුවීමත් හේතුවෙන් සෑම ද්‍රව්‍යයකම මිල ඉහළ ගිය අතර, අධික ජීවන බරක් දැරීමට ජනයාට සිදුවූයේ නිරායාසයෙනි. එහෙත් එම තත්ත්වයට සාපේක්ෂව මෙරට කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩිකරුණේ නැත. ඒ වෙනුවට සිදුවූයේ සිය ගණනක් වූ කම්කරු පිරිස් නෙරපා හැරීමත්, කර්මාන්තශාලා වසා දැමීමත්ය.
මේ ආකාරයෙන් කටයුතු සිදුවෙමින් පැවතියදී 1947 මැයි මස 09 වැනි දින කොළඹ පිහිටි “රෝලන්ඞ් කොම්පැනියේ” සේවය කරමින් සිටි සේවකයන් සිය ගණනක පිරිසක් පාලනාධිකාරිය විසින් නෙරපා හරිනු ලැබූහ. එයට හේතුව වූයේ එවකට උදාවෙමින් පැවති ආර්ථික අරබුදය බව කියැවිණි. මේ ආකාරයට හිතුවක්කාර අන්දමින් සේවකයන් නෙරපා හැරීම තම සේවා අයිතියට කළ වැරැදි අතපෙවීමක් ලෙස සැලකූ රෝලන්ඞ් සමාගමේ සේවක මණ්ඩලයේ සියල්ලෝම 1947 මැයි 09 වැනි දිනම වැඩවර්ජනයක් ආරම්භ කළහ. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ අස්කළ තම සහෝදර සේවක පිරිස ආපසු සේවයට බඳවා ගන්නා ලෙසය. තවද එයට ඉල්ලීම් කිහිපයක්ද එකතු කරනු ලැබීය. ඉන් එකක් වූයේ තම දෛනික මූලික වැටුප දිනකට රුපියල් 2.50 දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමයි.
මේ දිනවල බොහෝ කොම්පැනිවල සේවකයන්ගේ වැටුප් අඩු කිරීමක් සිදුවෙමින් පැවතිණි. එම සමාගම්වල සේවකයෝ ද රෝලන්ඞ් සමාගමේ සේවක වැඩවර්ජනයට නොපමාව එක්වූහ. වෘත්තීය සමිති අයිතිවාසිකම් නොදීම පිළිබඳ ඔවුහු අසහනයෙන් පසුවූහ. එමෙන්ම කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන රාශියක සේවක පිරිස් ද සටනට ඇදී ඒම හේතුවෙන් තත්ත්වය බරපතළ වූයේය. තවද බි්‍රතාන්‍යයේ පවතින කම්කරු අයිතිවාසිකම් තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා රජයේ ලිපිකරු සේවා සංගමයේ මෙහෙයවීමෙන් ගාලු මුවදොර පිටියේ පැවැත්වූ ලිපිකරු මහා සභාවක් අමතා කතා කිරීම හේතුවෙන් එම සංගමයේ සභාපති ටී. බී. ඉලංගරත්න මහතා ඇතුළු 19 දෙනකු පොදු සේවාවේ නීති උල්ලංඝනය කළැයි චෝදනා කර එම මුළු පිරිසම සේවයෙන් ඉවත් කරන ලද්දේ ද මේ දිනවලය. මේ හේතුවෙන් 1947 මැයි 29 දින සමස්ත ලිපිකරු ප්‍රජාව ද වර්ජන සටනට සහාය පළකරමින් සටනට එක්වූහ. තවද රාජ්‍ය සේවයේ බොහෝ පිරිසක් ද වර්ජනයට සම්බන්ධ වූහ.
මේ අතර රජය හදිසි නීතිය අලුතින්ම පනවා ශබ්ද විනාශන යන්ත්‍ර භාවිතය, මහජන රැස්වීම් තහනම් කළේය. මර්දනය වැඩිවත්ම කම්කරු පංතියේ අධිෂ්ඨාන ශක්තිය ද ඉහළ නැගුණු අතර, දස දහස් ගණනින් කම්කරු පිරිස් දිනපතා වැඩවර්ජනයට සම්බන්ධ වූහ. දිනෙන් දින උණුසුම් වන සටන තවත් දිරිගන්වනු පිණිස 1947 ජූනි මස 5 වැනි දින ගාලු මුවදොර පිටියේ සිට කොළොන්නාවේ “රාලහාමිගේ වත්ත” නමැති ස්ථානය දක්වා පෙළපාළියකින් පැමිණ එහි රැස්වීමක් පැවැත්වීමට සටන් සංවිධායකයෝ විධිවිධාන යෙදූහ. මෙය හදිසි නීතිය පැවැති කාලපරිච්ඡේදයක් වුවත් නීත්‍යානුකූලව අවසර ගෙන පැවැත්වීමට නියමිත වූ රැලියක් බව ද සඳහන්ව තිබේ.
මෙම පෙළපාළිය දෙමටගොඩටට පැමිණෙන විට පොලිස් බලඇණියක් මග අවුරා පෙළපාළිකරුවන් වෙත දැඩි බැටන් ප්‍රහාරයක් එල්ල කළ අතර, එයින් කුපිත වූ වර්ජනයේ නිරත පිරිස් ද පෙරළා පොලිසියට ගල්මුල්වලින් පහර දෙන්නට වූහ. එවිට පොලිසිය පිළිතුරු දුන්නේ දරුණු වෙඩි ප්‍රහාරයකිනි. එයින් විශාල පිරිසක් තුවාල ලැබූ අතර, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවය කළ වී. කන්දසාමි මහතා මරණයට පත්විය. මෙම සිද්ධිය ඇසින් දුටු සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“ඊයේ හවස පොලිස් උණ්ඩවලට ගොදුරු වූ පෙළපාළිය වූ කලී සාමකාමී, නීත්‍යානුකූල හා නිරායුධව ගිය ස්ට්‍රයික්කරුවන්ගේ පෙළපාළියකි. පෙළපාළියේ මුල කොටස රාලහාමිගේ වත්තට හැරෙන තැනට මඳක් ඈතින් විශාල පොලිස් බළඇණියකින් නවත්වාගෙන තිබෙන බව මම දුටුවෙමි. මෙම පෙළපාළිය අවසර ලත් පෙළපාළියක් බවත්, රැස්වීමක් සඳහා වත්තට යන බවත්, පොලිස් සුපිරින්ටැන්ඩන්ට් රොබින්ස් මහතාට කියන්නට මා යන විට පොලිස් නිලධාරියකුගෙන් මගේ හිසට තද පහරවල් දෙකක් වැදීමෙන් මම බිම ඇදවැටුණෙමි. මට තව තවත් පහර දුන් අතර, පෙළපාළියට බැටන් ප්‍රහාර එල්ල කරන ලදී. ඉන්පසු තුවක්කු අමෝරාගෙන සිටි පොලිස් බළඇණිය, අහිංසක පෙළපාළියට විසිපස් මුරයක් වෙඩි තැබුවේය. තුවාල ලත් අයගෙන් 19 දෙනෙක් තවමත් ආරෝග්‍ය ශාලාවේය. පස් දෙනෙකුට අසාධ්‍යය. මේ තුවාලකරුවන් ගැන පොලිසිය කිසි සැලකීමක් නොකළේය. තුවාලකරුවන් ආරෝග්‍ය ශාලාවට ගෙන ගියේ අප පාක්ෂිකයන්ගේ රථවලිනි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වී. කන්දසාමි ලිපිකරු සහෝදරයා මරුමුවට පත් විය. මෙම වෙඩි තැබීම ඉතා කෲර චේතනාවෙන් කලින් යොදා පිළියෙළ කළ මිනීමැරුමක් බවට මම චෝදනා කරමි.”
ශ්‍රී ලාංකේය කම්කරු පංති ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබා ඇති මෙම 1947 සමස්ත මහා වැඩවර්ජනය නමින් හඳුන්වන ඓතිහාසික සටන ජයග්‍රහණය කරවීමට සටන් නායකයෝ අසමත් වූහ. වැඩ වර්ජනයෙන් පසුව අන්තිම සේවක පිරිස 1947 ජූනි මස 28 දින සේවයට වාර්තා කළහ. විශේෂයෙන් වර්තමාන සේවක පිරිස් භුක්තිවිඳින වරප්‍රසාද බොහෝමයක් පසු කලෙකදී ලැබුණේ මෙම 1947 මහා වැඩවර්ජනය නිසා ඇති වූ කම්කරු පංති නැගීසිටීම නිසා බව කිසිවිටෙකත් අමතක නොකළ යුතුය. ඒ අනුව මෙම අරගලයෙන් දිවි පිදූ වී. කන්දසාමි මහතා ද ආදරයෙන් සිහිපත් කිරීම කෘතවේදී කම්කරු පංතියේ ඇතැම් කොටස් තවමත් සිදු කරගෙන යනු දැකිය හැකිය.
එම්. තාරික්