අදටත් හොඳ අපූරු පාර්ලිමේන්තුව


 

අප රටේ මැතිවරණ ඉතිහාසය පිළිබඳව විමසීමේදී දක්නට ලැබෙන එක් විශේෂ ලක්‍ෂණයක් වන්නේ, සමහර මැතිවරණවලදී එතෙක් බලයේ සිටි පක්‍ෂය අන්ත පරාජයක් ලැබීමය. පළමු වරට මෙම තත්ත්වය වාර්තා වූයේ 1956 මහ මැතිවරණයේදීය. නිදහස ලැබීමෙන් පසුව ප්‍රථම වරට පවත්වන ලද මැතිවරණයේදී මන්ත්‍රී ආසන 95න් 54ක් දිනා ගැනීමට, මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු එජාපයට හැකි විය. ඒ 1952 වර්ෂයේදීය. 1956 මහ මැතිවරණයේදී එම පක්‍ෂය ඡන්ද සටනට පිවිසියේ එවන් බලයක් සහිතවය. එහෙත් එවර මහජන එක්සත් පෙරමුණට ඉඩ දී එජාපයට මන්ත්‍රී ආසන 08 දක්වා පල්ලම් බැසීමට සිදු විය. එහිදී එජාපයට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ද අහිමිව ගියේය. 

 

1960 ජූලි මස පවත්වන ලද මහ මැතිවරණයේදී ද එජාපයට දිනාගත හැකිවූයේ මන්ත්‍රී ආසන 30ක් පමණි. කෙසේ වෙතත් එවර එම පක්‍ෂයට විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමට හැකි විය. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා සමසමාජ, කොමියුනිස්ට් පක්‍ෂ අන්තර්ගත වූ සමගි පෙරමුණ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය. ශ්‍රීලනිපය ආසන 90ක් ජයගත් අතර සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ ද පිළිවෙළින් ආසන 19ක් සහ 06ක් ද ජය ගන්නා ලදී. 


එතෙක් පැවති පාර්ලිමේන්තු මැතිවරණ වාර්තා සියල්ල බිඳ හෙලමින් 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී 5/6ක බලයක් නැතහොත් මන්ත්‍රී ආසන 140ක් දිනා ගැනීමට ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු එජාපයට හැකියාව ලැබිණි. ඊට පෙර පැවැති මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රීලනිපයට එවර දිනාගත හැකිවූයේ මන්ත්‍රී ධුර 08ක් පමණි. 1956 දී එජාපය ලැබූ කටුක, අමිහිරි අත්දැකීම මෙවර ශ්‍රීලනිපයට විඳ දරා ගැනීමට සිදුවීම දෛවයේ සරදමක් වැනිය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට අඛණ්ඩව නියෝජිතයන් තේරී පත්වූ වමේ පක්‍ෂවලට ද පාර්ලිමේන්තු දොර වැසී ගියේය. වික්‍ෂයේ සුළුතරයක් බවට පත් වූ ශ්‍රීලනිපයට විපක්‍ෂ නායක ධුරය ද අහිමි විය.


යම් දේශපාලන පක්‍ෂයක් පාර්ලිමේන්තුව තුළ අති බහුතර බලයක් ලබාගන්නා විට මතුවන එක් අභාග්‍යසම්පන්න තත්ත්වයක් වන්නේ අනෙකුත් දේශපාලන පක්‍ෂවල අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් බොහෝවිට දේශපාලන නවකයන් හමුවේ පරාජයට පත්වීමය. 


1960 සහ 1965 මැතිවරණවලදී එජාපය සුළු බහුතර බලයක් ලබා ගත් නමුදු, එම ජයග්‍රහණය තනිවම රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් වූයේ නැත. 1960 මාර්තු මැතිවරණයේදී එම ලක්‍ෂණය මැනවින් ප්‍රදර්ශනය වූ අතර එම හේතුව නිසාම, ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද රජය මන්දායුෂ වළඳා බිලිඳු වියේදීම මිය පරලොව ගියේය.


1965.03.22 දින පවත්වන ලද මහ මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කළ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 66කි. ඉතිරි ආසන 85 වෙනත් පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන් අතර අඩු වැඩි වශයෙන් බෙදී ගියේය. ඒ ශ්‍රීලනිප 41, ලසසප 10, කො.ප 04, පෙ.ප. 14, ම.එ.පෙ 01, ජා.වි.පෙ 01, ල.ප්‍ර.ප / ශ්‍රීලනිසප 05, ද්‍රවිඩ සං. 03, ස්වාධීන 06ක් ද වශයෙනි. එජාපයට රජයක් පිහිටුවීමට හැකි වූයේ තවත් පක්‍ෂ කීපයක් හවුල් කර ගැනීමෙනි.


රාජ්‍ය පාලනයේ සුක්කානම අතට ගත් එජාපයට අති බහුතර බලයක් නොතිබුණු බැවින් අනෙකුත් දේශපාලන පක්‍ෂවල ඉදිරිපෙළ නායකයෝ බොහෝ දෙනෙක් ද පාර්ලිමේන්තු වරම් ලැබූහ. මැතිවරණ ප්‍රතිඵලයේ විශේෂ ලක්‍ෂණයක් වශයෙන් එම යුගයේ දේශපාලනයේ පතාක යෝධයන් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයේ දැක ගැනීමට හැකි විය. 65 - 70 යුගයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලකයන්ගේ නාමලේඛනය පිරික්සීමේදී ඒ බව මනාව පැහැදිලි වෙයි. 1960 ජූලි මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ලොව ප්‍රථම අගමැතිනිය වශයෙන් පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, 65 දී වැඩි ඡන්ද 16,535 කින් අත්තනගල්ල අසුන ජය ගත්තාය. ලොව ප්‍රථම අගමැතිනිය වශයෙන් වාර්තාවක් තැබූ මැතිනිය එවර විපක්‍ෂ නායිකාව වශයෙන් පත් වෙමින් තවත් වාර්තාවක් තැබුවාය. බණ්ඩාරනායක මැතිනියට අමතරව ලක්‍ෂ්මන් ජයකොඩි, එස්. ඩී. බණ්ඩාරනායක, එස්. කේ. කේ. සූරියආරච්චි, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ආර්. එස්. පෙරේරා, ස්ටැන්ලි තිලකරත්න, සෝමවීර චන්ද්‍රසිරි, රත්නසිරි වික්‍රමනායක, ටි. බී. තෙන්නකෝන්, ජෝර්ජ් රාජපක්‍ෂ, ටී. බී. සුබසිංහ, කේ. බී. රත්නායක, මෛත්‍රීපාල සේනානායක, පී. බී. ජී. කළුගල්ල යන ප්‍රබලයෝ ශ්‍රීලනිපය නියෝජනය කළ අනෙකුත් මන්ත්‍රීවරුන් අතර වූහ. ලසසපයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතර ආචාර්ය එන්. එම්. පෙරේරා, බර්නාඞ් සොයිසා (නිතරගයෙනි), මංගල මුණසිංහ, ලෙස්ලි ගුණවර්ධන, චම්ලි ගුණවර්ධන, අනිල් මුණසිංහ යන මහත්වරු ද වූහ. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, බී. වයි. තුඩාව සහ පර්සි වික්‍රමසිංහ ද එවර කොමියුනිස්ට් පක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවට පිවිසියෝය. පාලක එජාපය නියෝජනය කළ මන්ත්‍රී කණ්ඩායමේ සිටි ප්‍රබලයන් මෙසේය. පක්‍ෂ නායක ඩඞ්ලි සේනානායක, වී. ඒ. සුගතදාස, ආර්. ප්‍රේමදාස, එම්.එච්. මොහොමඞ්, ජේ. ආර්. ජයවර්ධන (නිතරගයෙනි), විජයපාල මෙන්ඩිස්, එස්. ද එස්. ජයසිංහ, එම්. ඩී. එච්. ජයවර්ධන, ගාමීණී ජයසූරිය, අබ්දුල් බකීර් මාකර්, ඇලික් අළුවිහාරේ, ඒ. සී. එස්. හමීඞ්, ඩී. බී. විජේතුංග, ඊ. එල්. සේනානායක, එම්.එස්. අමරසිරි, යූ. බී. වන්නිනායක, ඇල්බට් පීරිස්, අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල, එම්.ඩී. බණ්ඩා, ඩී. බී. වෙලගෙදර, ඊ. එල්. බී. හුරුල්ලේ, සී. පී. ජේ. සෙනෙවිරත්න, විමලා කන්නන්ගර යන මහත්ම මහත්මීන්ය.


ම.එ.පෙ. නායක පිලිප් ගුණවර්ධන මහතා අවිස්සාවේල්ල අසුන ජය ගනිමින් එවර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේය. ආචාර්ය විජයානන්ද දහනායක සහ සී. පී. ද සිල්වා යන මහත්වරු ද එවර ජයගත් ප්‍රබල දේශපාලකයෝ දෙදෙනෙක් වූහ. උතුරේ ආසන නියෝජනය කරමින් පෙඩරල් පක්‍ෂයේ නායක එස්. ජේ. වී. චෙල්වනායගම්, ඒ. අමිර්තලිංගම්, වී. ධර්මලිංගම්, ටී. නවරත්නම් යන මහත්වරු තේරී පත්වූවන් අතර වූහ. ද්‍රවිඩ සංගමයේ ජී. ජී. පොන්නම්බලම් මහතා ද ජය ලැබූ තවත් නායකයෙකි. ජා.වි.පෙ. නියෝජනය කළ කුසුමා රාජරත්න මිය ද එවර සිය අසුන රැක ගත්තාය. එම මැතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෝ 06ක් ද ජය ලබා ගත්හ. ඒ අතර ආර්. ජී. සේනානායක සහ මුදියන්සේ තෙන්නකෝන් යන මහත්වරු දෙදෙන සිටියහ. 


මේ ආකාරයෙන් 65 - 70 සමයේ පාර්ලිමේන්තුව, ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් විශාල පිරිසකගෙන් සමන්විත වුවද එවර අවාසනාවන්ත ලෙස පරාජයට පත්වූ ප්‍රබල දේශපාලකයෝ කීප දෙනෙක් වෙති. පැවති රජයේ අමාත්‍යවරුන් වූ ආර්. එස්. පැල්පොල, වී. ටී. ජී. කරුණාරත්න, ටී. බී. ඉලංගරත්න සහ ඩී. එස්. ගුණසේකර යන මහත්වරුන් ජනතා තීන්දුව විසින් ගෙදර යවන ලදී. දෙහිවල - ගල්කිස්ස නියෝජනය කළ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ ජාතික විමුක්ති පෙරමුණේ නායක කේ. එම්. පී. රාජරත්න යන මහත්වරුන්ගේ පරාජය කැපී පෙනිණි. 1947 සිට ජනවරම් හිමිවූ රොබට් ගුණවර්ධන මහතා ද පරාජිතයන් අතර සිටියේය. ඩී. ඒ. රාජපක්‍ෂ මහතා ද එවර බෙලිඅත්ත ආසනයෙන් පරාජයට පත්විය. බුලත්සිංහල ආසනය සඳහා ලසසප (වි) යෙන් ඉදිරිපත් වූ එඞ්මන්ඞ් සමරක්කොඩි මහතාට එවර හිමිවූයේ 5 වැනි ස්ථානයයි. ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 278ක් පමණක් වූ අතර, ලසසප අපේක්‍ෂක මංගල මුණසිංහ අසුන ජයග්‍රහණය කළේය. විවියන් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන සහ තමරා කුමාරි ඉලංගරත්න ද එවර ජයග්‍රහණය ලැබීමට වාසනාවන්ත නොවූ අය අතර වූහ. 


ඡන්ද පෙත්සම් පරාජයට පත්වීම, මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීම සහ මියයාම වැනි කරුණු හේතුවෙන් 65 - 70 සමයේ අතුරු මැතිවරණ 15ක් පවත්වන ලදී. මහ මැතිවරණයේදී පරාජයට පත්වූ ප්‍රබල දේශපාලකයෝ දෙදෙනෙක් අතුරු මැතිවරණ ජයග්‍රහණය කර නැවත පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදාකර ගත්හ. ඒ ටී. බී. ඉලංගරත්න සහ කොල්වින් ආර්. ද සිල්වා ය. හේවාහැට අසුනෙන් පරාජයට පත්වූ ඉලංගරත්න මහතා 67.02.28 වැනි දින පැවති කොලොන්නාව අතුරු මැතිවරණයට ඉදිරිපත් වී ඉන් ජයග්‍රහණය ලැබුවේය. මහ මැතිවරණයේදී දෙහිවල ගල්කිස්ස ආසනයෙන් පරාජයට පත්වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා 67.05.17 වැනි දින අගලවත්ත අසුන සඳහා පැවති අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීමට සමත් විය. 65 මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ, එජාප ප්‍රබලයකු වූ හියු ප්‍රනාන්දු මහතා 68.01.05 දින පැවති නාත්තන්ඩිය අතුරු මැතිවරණය ජය ගනු ලැබීය. 


සම්පූර්ණ නිල කාලය අවසන් වීමෙන් අනතුරුව ඊළඟ මහ මැතිවරණයට ඉඩ සලසමින් 70.03.25 වැනි දින රජය විසුරුවා හරිනු ලැබීය. 70.05.27 වැනි දින පැවති මහ මැතිවරණයේදී ශ්‍රීලනිප, ලසසප, කො.ප, සමගි පෙරමුණ අති විශිෂ්ට ජයක් වාර්තා කළේය. 1956, 1960 ජූලි මැතිවරණවලදී මෙන්ම එවරද එක් කණ්ඩායමක් දැවැන්ත බලයක් අත්පත් කරගත් නිසා පැවති පාර්ලිමේන්තුවේ ප්‍රබල දේශපාලකයන් රැසකට ජනතා වරම අහිමි විය. ආර්.ජී. සේනානායක, එම්. ඩී. එච්. ජයවර්ධන, ගාමිණී ජයසූරිය, පිලිප් ගුණවර්ධන, ඩී. බී. විජේතුංග, ඇලික් අළුවිහාරේ, ජී. ජී. පොන්නම්බලම්, යූ. බී. වන්නිනායක, හියු ප්‍රනාන්දු, ඒ. අමිර්තලිංගම්, පෙස්ටස් පෙරේරා, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල, එම්. ඩී. බණ්ඩා, ඩී. බී. වෙලගෙදර, ඊ. එල්. බී. හුරුල්ලේ, සී. පී. ද සිල්වා, සී. පී. ජේ. සෙනෙවිරත්න, මොන්ටේගු ජයවික්‍රම, පී. සී. ඉඹුලාන, විජයපාල මෙන්ඩිස් සහ විමලා කන්නන්ගර එසේ පරාජයට පත්වූ ජ්‍යෙෂ්ඨ දේශපාලකයෝ වෙති. මේ අය අතුරින් බොහොමයක්, එජාපය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ 1977 මහ මැතිවරණයේදී නැවත පාර්ලිමේන්තු වරම් ලැබූ අතර තවත් අයෙක් දේශපාලනයෙන් පමණක් නොව සිය ජීවිතවලින් ද සමුගත්හ. 


එවක අප රට සිටි ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ එමෙන්ම මහත්මා ගුණයෙන් පිරි දේශපාලකයන් රැසකගේ දායකත්වය ලද බැවින්, 1965 - 1970 පාර්ලිමේන්තු සමයේදී ඉතා වැදගත් හරවත් දේශපාලන වාද විවාද දැක ගන්නට ලැබුණු අතර එම පාර්ලිමේන්තුව ගුණාත්මක වශයෙන් ඉතා ඉහළ මට්ටමක පැවති බව ද පැවසිය යුතුය.

බණ්ඩාරගම පුල්ලපෙරුම