උසාවිය දෙවනත් කළ ඇන්.ඇම්.ගේ ප්‍රකාශය - 03
අධිරාජ්‍යවාදයේත් පැසිස්ට්වාදයේත් වෙනස කුමක්ද?
ෆැසිස්ට් වාදය
පැසිස්ට් වාදය නම් බැංකු ධනපති ක්‍රමයේ අන්තිම හුස්ම හෙළීමය. එහි ලක්ෂණ නම් නග්න වූ, නිර්ලජ්ජිත වූ, තිරශ්චීන බලය හා පීඩනයයි. පැසිස්ට් වාදය කම්කරුවන් මඩියි. ඔවුන්ගේ සටන්කාමී කම්කරු සමිති විනාශ කරයි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේද ලංකාවේද මේ ක්‍රියාවන් කරලා නැද්ද? ලංකාවේ නඩු නැතිවද සිරකරන ලද කම්කරුවෝ බොහෝ ගණනක් වෙති.
මොවුන්ගේ වරද නම් සමස්ත ලංකා වතු කම්කරු සමිතිය වැනි කම්කරු සමිතිවල සාමාජිකයන් වීමයි. පැසිස්ට් වාදය කථා පැවැත්වීමේද, සංවිධානය වීමේද, පත්, සඟරා පැවැත්වීමේද නිදහස මර්දනය කරයි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේද, ලංකාවේද මෙසේම කර නැද්ද? පැසිස්ට් වාදයට කිසිම බාධාවක් නැතිව ගසා කෑමට සඳහා විජිතයන් උවමනායි.
තවද ඒ වාදය විජිතයන්හි ජනතාවට සලකනු ලබන්නේ දර කැපීමටත්, දිය ඇදීමටත් සුදුසු තරම් පහත් තත්ත්වයක මිනිසුන් කොටසක් හැටියට පමණයි. විජිතයන්ටත් එහි ජනතාවටත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සලකන හැටිය ඊට වෙනස්ද? කරුණු මෙසේ නම් පැසිස්ට් වාදයත් බි්‍රතාන්‍ය අධිරාජ්‍ය වාදයත් අතර ඇති වැදගත් මූලික වෙනස කුමක්ද?
අප විසින් අමතක කළ නොහැකි තවත් කරුණක් නම් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පැසිස්ට් වාදීන් තමන්ගේ මිතුරන් හැටියට බොහෝ කලක පටන් සලකනු ලැබීමයි. එපමණක් නොව ඔවුන්ට බොහෝ වතාවල අනගි පැසසීම් කර තිබීමයි. ටික දිනකට පෙර එංගලන්තයේ ‘රෙනෝල්ඞ්ස්’ නම් පත්‍රයේ පළ වූ ප්‍රකාශයක් නම් මුසලීනිට බර ප්‍රසංශාවක් කර, ඉක්බිති චර්චිල් ඉතාලි ජාතිකයෙක් නම් ඔහු ඉතා කැමැත්තෙන් මුසලීනිගේ අඩි පාරේ ගමන් කරතියි සඳහන් කිරීමයි. එහෙත් දැන් චර්චිල් මුසොලීනීට කියන්නේ ලේ තැවරුණු කෑදර හිවලෙකැයි කියායි.
පැසිස්ට් වාදය යුරෝපයේ නැගගෙන ආ මුල් අවධියේ මොහු කී සින්දුවේ තාලය මීට සහමුලින්ම වෙනස්ය. ඇස්ටර් ආර්යාවගේ ක්ලව්ඩන් මන්දිරයට රැස්වන ධනපතියන්ගේ අදහස් ගැන ද වෙම්බර් ලේන් නෝනා මුසලීනි සමග කළ කසු කුසු කුට්ටම් සාකච්ඡාව ගැනද මෙහිදී යමක් කිය යුතු නොවේ. දහස් ගණන් ෂෝසලිස්ට් වාදීන් පැසිස්ට් විරෝධීන් සිර ගෙවල දිරද්දී සර් ඔස්වල්ඞ් මොස්ලි හා ඔහුගේ පැසිස්ට් වාදී අනුචරයන්ද සිර ගෙයින් නිදහස් කිරීමේ නියම රහස කුමක්ද? මේ නිදහස් කිරීම ගැන බි්‍රතාන්‍ය කම්කරු පංතිය ස්වකීය කෝපාවිෂ්ට විරුද්ධතාව මහත් නොඉවසිල්ලෙන් දක්වා ඇත.
ඇබිසීනියාවේ කොල්ලකෑම
බි්‍රතාන්‍ය අධිරාජ්‍යය විසින් ඉතාලියත් සමග ඇබිසීනියාව බෙදාගත් හැටි අමතක කිරීමට තරම් මහජනයාගේ ස්මරණ ශක්තිය කොටද? මේ කැත බෙදා ගැනීමෙන් ඉවත් වීමට සිදුවූයේ මහජනයාගේ බලවත් අමනාප සහගත විරුද්ධතාව දැක්වීම සඳහා පමණෙකි. එහෙත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉතාලි ආක්‍රමණයේදී නවීන උපකරණවලින් තොරවූ ඇබිසීනියාවට දුන් ආදරය කුමක්ද? සියලු අන්තර්ජාතික නීති බිඳිමින් විෂ වායු සහ අනිකුත් උපකරණයන් ඉතාලිය විසින් පාවිච්චි කිරීමේදී බි්‍රතාන්‍යය ඇබිසීනියාවට දුන් උදව්ව කුමක්ද? බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මැදිහත් නොවිය යුතු යයි යන කූට ප්‍රතිපත්තිය නිසා නොවේද? පැසිස්ට් ප්‍රැන්කෝ විසින් ස්පාක්‍ඳ්ක්‍ඳයේ දස ලක්ෂ සංඛ්‍යාත ගොවීන් හා කම්කරුවන් මරා ලේ විලක ගිල්වා දැමුවේ ප්‍රැන්කෝ නාසි ජර්මනියටත් පැසිස්ට් ඉතාලියටත් එළියේම ආධාර දෙන අද පවා ඔහුගේ ප්‍රධාන මිත්‍රයා බි්‍රතාන්‍ය අධිරාජ්‍යය හැර වෙන කවරෙක්ද? ඉතාලියේද ජර්මනියේද පැසිස්ට් වාදය අනර්ථක එකකුත් වන්නේ කෙසේද? බි්‍රතාන්‍ය පාලක පන්තිය අභ්‍යන්තරයෙන් පැසිස්ට්වාදීන් බව මෙයින් තීරණාත්මකව ඔප්පු නොවන්නේද? තවද හිට්ලර් වාදය සමග ඇතිව පවත්නා මේ යුද්ධය බැංකු රාජ්‍යයන් දෙකොටසක් අතර විජිතයන් බෙදා ගැනීමේලා ඇති වූ අනිවාර්ය ඝට්ටනයේ විපාකය නොවෙයිද?
චීනය විසින් ජපානයට විරුද්ධව කරගෙන යන යුද්ධයේදී මේ අධිරාජ්‍යවාදීන් විසින් අන්තිම මොහොතේදී කිඹුල් කඳුළින් දක්වන අනුකම්පාව ගැන අපට සිනා නොවී සිටිය නොහැක. මෙයින් පෙනෙන්නේ අධිරාජ්‍යවාදී ජපානයේ ඇති නිවාගත නොහැකි විජිතාශාව නිසා මැඬුණු චීනය විසින් කරගෙන යන සටන යුක්තිසහගත එකක් බව බි්‍රතාන්‍යයට වැටහී ගොස් ඇත්තේ දැන් පමණක් බවය.
චීනයේ සටන
ජපානය මැංචූරියාව අල්ලාගත් අවස්ථාවේදී එවකට විදේශ භාර ඇමතිවරයා වූ සර් ජෝන් සයිමන් ජාතීන්ගේ සංගමයේදී ස්පාඤ්ඤයටත් වඩා ජපානයට ආදරය දක්වමින් මේ සටන ජපානයට ඇති අවශ්‍යතා හේතුවෙන්ම ඇතිවූ බව කියා සිටියේ ආත්මාර්ථකාමීත්වයෙන්ද? අවස්ථා වාදීත්වයෙන්ද? නැතහොත් දේශපාලනය අතින් ඇති අන්‍යෝන්‍යතාව නිසාද? බි්‍රතාන්‍යයේ සහ අනිකුත් අධිරාජ්‍යවාදීන්ගේ රහස් කැමැත්ත පිට ජපානය කරන කොල්ලකාරී සටනට විරුද්ධව චීනය විසින් අවුරුදු දහයකට වැඩි කලක් මුළුල්ලේ ප්‍රයත්නයක් දරා ඇත.
1937 සිට පූර්ව දිග බි්‍රතාන්‍ය වන මේ රටට විරුද්ධව චීනය මහා යුද්ධයක් ගෙන ගොස් ඇත. ඇයට ලැබුණ ආධාරය කුමක්ද? වචනයකින් පවා එකල ආධාරයක් නොලැබිණ. ආධාරයක් වෙනුවට බි්‍රතාන්‍යය චීනයට ලෝකයේ අනික් රටවල් හා සම්බන්ධකම් පවත්වාගත හැකිව පැවති එකම මග වූ බුරුම පාර වැසීමෙන් නිවාගත නොහැකි විජිතාශාවෙන් නැගුණු ජපානයට එරට අල්ලා ගැනීම පහසුද ඉක්මන්ද කළේය.
බි්‍රතාන්‍ය ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන තෙක් චීනයේ වටිනාකම හෝ බලවත්කම හෝ ගැන ඔවුන්ට හැඟීමක් ඇති නොවීය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනුම සඳහා චීනය කර තිබුණු පරිත්‍යාගයද ඔවුන් විසින් පිළිගෙන තිබුණේ නැත. මේ කාලය ඉක්මීමෙන් පසු චීනය ගැන වර්ණනා මුඛයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳ චීනය විසින්ම යමක් කීම දැනට නුපුළුවන්ව ඇත.
මතු සම්බන්ධයි.
ඊ. එල්. ජයන්ත ද සොයිසා