“අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය” හෙවත් “අන්තරේ” යන නම නොකියවමින් වර්තමානයේ දේශපාලනය ගැන කතා කළ නොහැකි තරම්ය. එපමණටම “අන්තරය” මෙරට ජාතික දේශපාලනය තුළ ප්‍රබල භූමිකාවක් රඟ දක්වනවා සේම ජාතික දේශපාලනයට ප්‍රබල බලපෑමක් කරමින් තිබේ.
“අන්තරය” තුළ නියෝජනය වන්නේ සරසවි ශිෂ්‍යයෝ වෙති. ශිෂ්‍යයා යනු “විප්ලවයේ ගිනි සිළුව” වේ. තවකෙනෙකුගේ මතයට අනුව ශිෂ්‍යයා යනු “විප්ලවයේ බෆරය” වේ. පෙරහැරේ කස කාරයෝ ශිෂ්‍යයෝම වෙති. සරසවි ශිෂ්‍යයාට අත තැබීම වෙනත් සාමාන්‍ය පුරවැසියකුට අත තැබීමකට වඩා ප්‍රබල සමාජ කම්පනයක් නිර්මාණය කිරීමට සමත්වීම එයට හේතුවය. “විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්” වීම තුළම නිතැතින්ම ඔහුට දැවැන්ත සමාජ ගරුත්වයක් ඇති වේ. “උගත් ළමයි” සාමාන්‍ය ජනයා එසේ කියති.
“අන්තරය” නිර්මාණය වී තිබෙන්නේ සියලු සරසවිවල ශිෂ්‍යයන්ගේ නියෝජනයෙනි. එහි තනතුරු සඳහා පත්වන්නේ ශිෂ්‍යයන්ගේ ඡන්දවලිනි. 1976 දී අන්තරේ උප සභාපතිවරයකු වූයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහය. ඔහු එම තනතුරට පත් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යයන්ගේ ඡන්දවලිනි. එහෙත් “අන්තරය” මෙහෙයවීමේ වරම හිමිවන්නේ එහි බහුතර බලය හිමිකර ගන්නා ශිෂ්‍ය කණ්ඩායමටය. 1976 වසරේ සිට 2012 වසර දක්වා අන්තරය මෙහෙයවීමේ වරම ජනතා විමුක්ති පෙරමුණට හිමිවන්නෙත් 2012 වසර සිට මේ දක්වා අන්තරය මෙහෙයවීමේ වරම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිමිව තිබෙන්නේත් ඒ අනුවය.
පොදුවේ සරසවි ශිෂ්‍යයාට අදාළව ඉහළ සමාජ ගරුත්වයක්, පිළිගැනීමක් ලැබීමට බලපෑ ප්‍රධාන සාධකය 1971 අප්‍රේල් කැරැල්ල විය. කවර දේශපාලන විවේචන, මතිමතාන්තර, අදහස් උදහස් තිබුණ ද 71 අප්‍රේල් අරගලය යනු අයුක්තියට, අසාධාරණයට, අවනීතියට එරෙහිව සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත්වූ යුක්තිය හා සාධාරණත්වයේත්, නීතියේත් හඬම වේ.
ඒ කැරැල්ලේ මූල කඳවුර වූයේ විශ්වවිද්‍යාල වේ. එමෙන්ම එම කැරැල්ලේ ගාමක බලය වූයේත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ය. දේශපාලනය යනු බඩ රස්සාවක් යැයි හඳුනාගත් සමාජයක පොදු මානව අරමුණු වෙනුවෙන් දිවි පිදීමේ වඩාත් දුෂ්කරම මාර්ගය තෝරාගත් සරසවි ශිෂ්‍යයා වෙනුවෙන් දැන උගත් මෙන්ම ප්‍රගතිශීලි ජනයාගෙන් හිමිවූයේ ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදයකි.
ජාතික තලයේ දේශපාලනයට වඩාත් දියුණු බලපෑමක් කිරීමේ අවස්ථාව අන්තරයට හිමිවන්නේ එම පසුබිම තුළයි.
මෙරට, සමාජ ආර්ථික හා දේශපාලන දේහයට අන්තරය කිඳා බසින්නේ 80 දශකයේ ආරම්භයේ සිටය.
එයට බලපෑ සාධක ගණනාවකි. 1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූයේ එතෙක් මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් අත්පත් කර නොගත් හයෙන් පහක බලයක් ද සමගිනි. එතෙක් පැවැති සමගි පෙරමුණු රජයේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූයේ ආසන 7ක් පමණි. එය 8ක් බවට පත්වූයේ හාරිස්පත්තුවේ දෙවැනි මන්ත්‍රීවරයා වශයෙන් ස්වාධීනව තේරී පත්වූ ආර්.පී. විජේසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීමත් සමගය.
ඉහත දේශපාලන පරිසරය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය හිමි වූයේ ද අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණටය. 77 මහ මැතිවරණයේදී එතෙක් පැවැති පාලනයේ කොටස්කාරයන්ව සිටි “රත්තන්” හෙවත් වමේ පක්ෂ සේදී ගොස් තිබිණි.
හයෙන් පහක ආණ්ඩුවකට එරෙහිව විපක්ෂයේ තරම එපරිදි විය. මෙම දේශපාලන පරිසරය තුළ “ගැහැනියකු මිනිසකු කිරීමත්, මිනිසකු ගැහැනියක බවට පත් කිරීමත්” හැර අන් සියලු දේ කළ හැකි බලගතු විධායක ජනාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂය නිර්බාධකව නිර්මාණය කළේය.
පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා අත්තනගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇය දේශපාලන බිමෙන් ඉවත් කර තැබීමට එජාපය කටයුතු කළේය.
මෙම පරිසරය තුළ විපක්ෂය තව තවත් දුර්වල විය. හයෙන් පහක බලයක් හරහා ආණ්ඩුවකට එරෙහිව සටන් කිරීම “කළු ගලේ ඔළුව හප්පා ගැනීමක්” ලෙස අර්ථ දැක්වීම් බහුල විය.
අත්අඩංගුවේ සිටි ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු නායකයන් නිදහස් කළ ද නිදහස් වූ ළදරු අවස්ථාවේදීම හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවක් සමඟ සටන් කිරීමට නොහැකිය.
හොඳම උදාහරණය වූයේ 80 ජූලි වැඩවර්ජනය වේ. එම වැඩ වර්ජනයට සහාය දීමෙන් ජනතා විමුක්ති පෙරමුණ වැළකී සිටියේය. එහෙත් වැඩවර්ජනය ඇරැඹිණි. ආණ්ඩුවේ නායකයන් වේදිකාවල සිට ප්‍රකාශ කළේ “සේවයට වාර්තා නොකළහොත් එම සේවකයන් කනත්තට තල්ලු කරන” බවය.
හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවකට පිට්ටනියේ තනියෙන් ක්‍රීඩා කළ හැකි විය. ඒ අනුව කී පරිදිම සේවයට වාර්තා නොකළ සේවකයන් සේවය හැර ගියා සේ සැලකිණි. එම තීරණයත් සමග මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේදී ජීව ගුණය සිඳී ගියේය. හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවකට එරෙහිව සටන් කිරීමට තිබූ බලවත්ම වෘත්තීය සමිති ව්‍යාපාරය අඩපණ වීමත් සමඟ ආණ්ඩු විරෝධී සටන් ගින්නෙහි ලු අයිස් කැටයක් මෙන් දියවී ගියේය.
අන්තරය වඩාත් වැදගත් වන්නේ මෙම පරිසරය තුළය.
හයෙන් පහක බලයක් සහිත බලවත් ආණ්ඩුවකට එරෙහිව ජන බලවේග පෙළ ගැස්වීමට සමත් වූයේ අන්තරය විසිනි. ඒ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි සටන මගිනි. පාර්ලිමේන්තුව වටකර එයට කඩා පැන සිදුකළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය.
මහා සටන් ව්‍යාපාරයක් ලෙස රූපාන්කරය වී ආණ්ඩු විරෝධී අරගලයේ ගිනි සිළුව බවට පත්වීමට අන්තරය සමත් වූයේ එම සටනින්ය. එදා අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කරමින් අන්තරය සමඟ මුහුණට මුහුණලා ගැටුණ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ අද රටේ අගමැතිවරයා වී සිටියි. අන්තරය ද වීදි සටන් අවුළුවමින් සිටියි.
ඒ අන්තරයේ ගමන් මඟ මෙතැන් සිට ඉදිරියට.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්