අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ) ආරම්භ වූයේ 1969 ජුනි මස 18 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. එදා අවිශිබම ලෙස කෙටි නමින් හැඳින්වූ එය වර්තමානයේ හැඳින්වන්නේ අන්තරේ නමිනි. මෙහි ප්‍රථම සාකච්ඡාව පේරාදෙණිය රාමනාදන් ශාලාවේදී පැවති අතර එවකට එහි උපකුලපති මහාචාර්ය ඊ. ඕ. ඊ. පෙරේරා එයට මූල්‍යමය ප්‍රතිපාදන සපයන ලදී.
අන්තරේ ආරම්භ කිරීමට ප්‍රධාන සංසිද්ධිය වූයේ 1965 දෙසැම්බර් 5 වැනිදා පේරාදෙණිය සරසවියේ ඇති වූ පොලිස්/ශිෂ්‍ය ගැටුමෙන් දෙපාර්ශ්වයටම බරපතළ තුවාල සිදු වී තිබීමය. ප්‍රථම කැඳවුම්කරු වශයෙන් මෙය ආරම්භ කිරීමට මුල් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මැල්කම් විජේසිංහ පත්විය. ඔහු ශ්‍රීලනිප ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාද විය. එජාප රජය 1977 දී බලයට පත්වීමෙන් පසු දේශපාලන පළිගැනීමට ලක් වූ ප්‍රථම රාජ්‍ය නිලධාරියා වන්නේද මැල්කම් විජේසිංහය.
අන්තරේ විධිමත් ලෙස ක්‍රියාත්මක වූයේ 70 දශකයේ මැද භාගයේදීය. පේරාදෙණිය සරසවියේදී 1976 නොවැම්බර් 12 වැනිදා රෝහණ වීරසූරිය පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වීම එහි උච්ඡතම අවස්ථාවක් විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය සතුව 1972 සිට තිබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී ශිෂ්‍ය කණ්ඩායම් වීරසූරිය සිසු ඝාතනයත් සමඟ සමත් වූහ. අන්තරේ 1976 සිට 2012 මාර්තු දක්වා මෙහෙයවන ලද්දේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය මගිනි. වර්තමානයේද ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 10 දෙනෙක් පමණද පෙරටුගාමී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ 35 දෙනෙක් පමණද සරසවි තුළ පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වෙති.
1976 සිදුවූ වීරසූරිය ඝාතනයෙන් පසු පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා වූයේ විද්‍යා පීඨයේ ශාන්ත බණ්ඩාරය. ඔහු 1975 දී සරසවියට ඇතුළු වූ අතර 1978 නව ව්‍යවස්ථාවට සහ හාල් සලාකය කැපීමට එරෙහිව කළ ශිෂ්‍ය අරගලයන්ට නායකත්වය දීම හේතුවෙන් ශිෂ්‍යභාවය අහෝසි විය. අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1978 සිට 1979 දක්වා ශාන්ත බණ්ඩාර කටයුතු කළේය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ජවිපෙ 2 වැනි කැරැල්ලේදී 1990 ජනවාරි 6 ඔහු ඝාතනයට ලක්විය.
වසර 1981 මාර්තු සිට අන්තරේ කැඳවුම්කරු වූයේ ජයවර්ධනපුර සරසවියේ එච්. බී. හේරත්ය. මැදවච්චියේ උපන් හේරත්ට පසු වසර 1981 අවසානයේ සිට 1982 පෙබරවාරි දක්වා අන්තරේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේ වාරියපොල උපන් පේරාදෙණිය සරසවියේ ඩී. එම්. ආනන්දය. ඔහුගෙන් පසුව අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1982 මාර්තු සිට පත්වූයේ ජයවර්ධනපුර සරසවියේ කේ. ඩබ්ලිව්. එස්. අමරසිරිය. පසුව 1983 ජනවාරි 9 සිට අන්තරේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එච්.එම්. මහින්ද පුෂ්පකුමාරය. අනතුරුව 1984 පෙබරවාරි සිට 1985 මාර්තු දක්වා කැඳවුම්කරු ලෙසින් කටයුතු කළේ මොණරාගල දඩගල්ලේදී උපන් කැලණිය සරසවියේ උපාලි ජයවීරය.
එච්. බී. හේරත් සහ ඩී. එම්. ආනන්ද ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් වශයෙන්ද අමරසිරි සහ උපාලි ජයවීර ජවිපෙ මධ්‍යම කාරක සභිකයන් වශයෙන්ද කටයුතු කළ අතර ඔවුහු සිව්දෙනාම ජවිපෙ 2 වැනි කැරැල්ලේ නායකයෝ වූහ. එච්. බී. හේරත් 1989 නොවැම්බර් 13 ද, ඩී. එම්. ආනන්ද 1989 නොවැම්බර් 15 ද, අමරසිරි 1989 නොවැම්බර් 09 ද, උපාලි ජයවීර 1990 මාර්තු 6 ද ඝාතනයට ලක්වූහ.
අන්තරේ කැඳවුම්කරු වශයෙන් අමරසිරි 1982 පත්වීමත් සමඟ රැකියා විරහිත උපාධිධාරින්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කළේය. එම අවස්ථාව වන විට අන්තරේ නිලධාරි මණ්ඩලය මෙසේය. සභාපති කේ.ඩබ්ලිව්.එස්. අමරසිරි (විදුදය ශිෂ්‍ය සභාපති), උපසභාපති පී.එච්. රණසිංහ (මාතර ශිෂ්‍ය සභාපති), ලේකම් ඒ.පී. ගාමිණී ප්‍රේමචන්ද්‍ර (විද්‍යාලංකාර ශිෂ්‍ය සභාපති) විය. මහින්ද පුෂ්පකුමාර 1983 අන්තරේ කැඳවුම්කරු වශයෙන් පත්වූයේ 1983 ජනවාරි 9 සවස 3 ට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පැවති රැස්වීමේදීය. එහිදී පත්වූ නිලධාරි මණ්ඩලය මෙසේය. සභාපති කේ.ඩබ්ලිව්.එස්. අමරසිරි (විදුදය ශිෂ්‍ය සභාපති), උපසභාපති පී.එච්. රණසිංහ (මාතර ශිෂ්‍ය සභාපති), ලේකම් ඒ. පී. ගාමිණී කිත්සිරි (පේරාදෙණිය ශිෂ්‍ය සභාපති), භාණ්ඩාගාරික ගාමිණී ප්‍රේමචන්ද්‍ර (විද්‍යාලංකාර ශිෂ්‍ය සභාපති) විය. මහින්ද පුෂ්පකුමාර 1983 අන්තරේ කැඳවුම්කරු වශයෙන් පත්වූයේ 1983 ජනවාරි 9 සවස 3 ට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පැවති රැස්වීමේදීය. එහිදී පත්වූ නිලධාරි මණ්ඩලය මෙසේය. සභාපති මහින්ද පුෂ්පකුමාර (ජ’පුර ශිෂ්‍ය සභා සභාපති), ලේකම් ලක්ෂ්මන් පෙරේරා (මොරටු ශිෂ්‍ය සභා ලේකම්), උපසභාපති ආර්. බී. වනසිංහ (පේරාදෙණිය ශිෂ්‍ය සභාව), උපලේකම් උපාලි ජයවීර (කැලණිය ශිෂ්‍ය සභා සභාපති), කනිෂ්ඨ භාණ්ඩාගාරික මහින්ද ආරියතිලක රත්නායක (කොළඹ ශිෂ්‍ය සභා සභාපති), දුම්බර ශිෂ්‍ය සභාවේ සභාපති ආර්. අරියකිත්ති හිමි ඇතුළු නිලධාරින් වේ.
අන්තරේ කටයුතු වඩාත් ජනතාව අතර කැපී පෙනුණේ 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාව පරාජය කිරීමත් සමගය. සඳහා 1982 ජනවාරි 20 දස දහසකට ආසන්න පිරිසක් සමඟ පාර්ලිමේන්තුව වටලෑම ඇතුළු රටපුරා විරෝධතා මෙහෙයවීම, වීරසූරිය, පත්මසිරි සහ රෝහණ ඝාතනයන්ට එරෙහිව රටපුරා උද්ඝෝෂණය කිරීම, පේරාදෙණිය සරසවි පොලිස් මුරපොළ ඉවත්කිරීම, ඉන්දු - ලංකා ගිවිසුම සහ පළාත් සභාවලට එරෙහිව 1986 සිට සංවිධානාත්මක උද්ඝෝෂණ සිදුකිරීම, 1981 දී පිහිට වූ පෞද්ගලික වෛද්‍ය විදුහල 1988 දී ජනසතු කරගැනීම, එජාප ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සක්‍රීයව මැදිහත්වීම ඇතුළු ක්‍රියාමාර්ග ගණනාවකිනි. වසර 1980/81 අරගලයන්හිදී ජ’පුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වූයේ පියසේන සමරසිංහය. අන්තරේ ශ්‍රී ලංකාවේ සියලුම සරසවිවල ශිෂ්‍ය සංගම් සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.
ආණ්ඩුව විසින් ශිෂ්‍ය සභා අහෝසි කිරීමෙන් පසු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු 1984 ජුනි මස පද්මසිරි, රෝහණ අරගලය මගින් 1984 ජුනි 20 ස්ථාපිත වීමෙන් පසු ආරක්ෂක හේතූන් මත 1984 සිට අන්තරේ සභාපති ඇතුළු තනතුරු වෙනුවට කැඳවුම්කරු ඇතුළු සරසවි නියෝජිතයින් කමිටුවක් ලෙස ක්‍රියාකරන ලදී. එජාප විරෝධී ප්‍රගතිශීලී ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින් 50 ට එකේ අනුපාතයට නියෝජිතයන් සහිතව ආරම්භයේදී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලදී. වසර 1983 කළු ජූලියේදී වමේ පක්ෂ සමඟම අන්තරේ සහ ශිෂ්‍ය සභා තහනම් විය. සිසුහු නිල නොවන මට්ටමෙන් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු අනුපාත පදනමක් යටතේ පිහිටුවනු ලැබූහ.
අන්තරේ යළි ගොඩනැගිණි. වසර 1988 එම තහනම නිල වශයෙන් රජය මගින් ඉවත් කළද ශිෂ්‍ය සභා සරසවි තුළ යළි නිල වශයෙන් ස්ථාපිත කරන ලද්දේ 1994 දීය. අන්තරය ආරම්භ කළ 1969 ජුනි සිට 2016 දෙසැම්බර් දක්වා එහි සිටි කැඳවුම්කරුවන් සංඛ්‍යාව 32කි. මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ නිමල් බාලසූරිය, කොළඹ වෛද්‍ය පීඨයේ සිසිර කීර්ති ජයවර්ධන සහ අතුල සේනාරත්න තිදෙනා ඝාතනයට පත්වූයේ අන්තරේ කැඳවුම්කරුවන් වශයෙන් කටයුතු කරමින් සිටියදීමය. ජවිපෙ 2 වැනි කැරැල්ලට සම්බන්ධ වීම හේතුවෙන් අන්තරේ හිටපු කැඳවුම්කරුවෝ 13 දෙනෙක් ඝාතනයට ලක්වූහ. ඉතිරි හිටපු කැඳවුම්කරුවන් 16 දෙනාගෙන් 8 දෙනෙකු වර්තමානයේද පූර්ණකාලීන දේශපාලනයේ නිරතවන අතර දෙදෙනෙක් ස්වභාවිකව මරණයට පත් වූහ.
අන්තරේ 1969 ආරම්භයෙන් පසු නිල වශයෙන් රජය මගින් පිළිගනු ලැබුවේ 1988 ජූලි 8 ය. ඒ අනුව ප්‍රථම නිල සාකච්ඡාව 1988 ජුලි 23 උසස් අධ්‍යාපන ඇමති ඒ. සී. එස්. හමීඞ්ගේ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේදී පැවැත්විණි. ඒ වන විට සරසවි සිසුන් 50 කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය වී තිබූ අතර 500 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබිණි. එම සාකච්ඡාවට සහභාගි වූ සිසුන් 5 දෙනාම ජීවිත ආරක්ෂාව පතා මුහුණු ආවරණය කරගෙන පැමිණ සිටියහ. ලේඛකයා එම රැස්වීම ආවරණය කළ මාධ්‍යවේදියෙකු විය.
අන්තරේ විසින් මෙම කාලය තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාරය, ප්‍රධාන නගර ගණනාවක දිස්ත්‍රික් පුරවැසි කමිටු, මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් බිහිකිරීමට දායකත්වය දෙන ලදී. එමෙන්ම සරසවි සිසු දෙමාපිය සංවිධානය 1986 පෙබරවාරි 2 පිහිට වූ අතර එහි දිස්ත්‍රික් ශාඛා 17 ක් ගොඩනඟා රැස්වීම්, උද්ඝෝෂණ, පිකටින් සහ පා ගමන් ඇතුළු ක්‍රියාකාරී වැඩසටහන් ගණනාවක් පවත්වාගෙන යන ලදී. සරසවි විවෘත කිරීම, අත්අඩංගුවට ගෙන ඇති සරසවි සිසුන් නිදහස්කර ගැනීම, ශිෂ්‍ය අයිතීන් ලබාදීමට බල කිරීම මෙහි සිවිල් සංවිධානවල අරමුණ විය. සරසවි සිසු දෙමාපිය සංගමයේ ලේකම්වරයා වූ කරවනැල්ල මහා විද්‍යාලයේ විදුහල්පති එස්. ඒ. ජයසේකරද 1990 අප්‍රේල් මස අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා ලදී. ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ අරුණ ජයසේකරගේ පියාය.
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය තහවුරු වූයේ 1987 මාර්තු 17 ඇරඹුණ කැලණිය සරසවි භික්ෂු නේවාසිකාගාර උද්ඝෝෂණයෙන් පසුවය. කැලණි සරසවියේ භික්ෂූහූ 500ක් පමණ සටන ආරම්භ කළ අතර පසුව බලහත්කාරයෙන් ගොඩනැගිල්ලක් අල්ලාගෙන එය නේවාසිකාගාරයක් බවට පත්කර ගත්හ. පේරාදෙණිය උපවාසය පැවති 1983 න් පසු නැවත වතාවක් ශිෂ්‍ය පාලනයට නතු වූයේ මෙහිදීය. දේශපාලන අරමුණක් නොමැතිව අයාලේ යමින් සිටි රටපුරා සරසවි භික්ෂූන් එක පෙරමුණකට එක්කර පසු කලෙක ඓතිහාසික මෙහෙවරක් කළ භික්ෂු බලවේගයේ ප්‍රථම මූලය මෙමගින් ඉදිවිණි. අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ප්‍රථම නැගිටීම වූයේ 1987 අප්‍රේල් 21 පිටකොටුවේ ද්‍රවිඩ බෙදුම්වාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට එරෙහිව ඇඳිරිනීතියද නොතකා භික්ෂූන් දහස් ගණනකගේ මෙහෙයවීමෙන් පැවති යෝධ පෙළපාළියයි. එය ජනාධිපති ජයවර්ධනගේ වෝඞ් පෙදෙස නිවසද වටලෑවේය. අන්තරය ගන්නා ඕනෑම තීරණයකට කොන්දේසි විරහිතව එකඟවන සංවිධානයක් ලෙස භික්ෂු බල මණ්ඩලය ප්‍රචලිතය
ජනාධිපතිවරණය 1988 දෙසැම්බර් 19 පැවති අතර එය වර්ජනය කළ යුතු යැයි අන්තරේ තීරණයකට එළැඹියේය. එහෙත් මධ්‍යස්ථ සරසවි සිසුන් කියා සිටියේ එජාපයේ රණසිංහ ප්‍රේමදාසට එරෙහිව ශ්‍රීලනිපයේ සිරිමා බණ්ඩාරනායකට සහාය ලබාදිය යුතු බවය. එහෙත් අන්තරයේ ජනපතිවරණය වර්ජනය කිරීමේ තීරණයට එරෙහි මතවාදය පරාජය වීමෙන් පසු අන්තරේ තුළ ක්‍රියාකාරී වූයේ ජවිපෙ සහ ජවිපෙ හිතවාදී සිසුන් පමණි. එය ජවිපෙට එරෙහිව යුද්ධයක පැටලී සිටි පාර්ශ්ව වෙත වඩා නිවැරදි ලෙස සිය ඉලක්ක හඳුනාගැනීමට ප්‍රස්ථාව විවර විය.
පේරාදෙණිය සරසවියේ සහකාර ලේඛකාධිකාරී ඩී. ඊ. නාගහවත්ත කැරලිකරුවන් විසින් 1989 ඔක්තෝබර් 4 සනාතන මන්දිරය අසල දී ඝාතනය කිරීමෙන් පසු ඊට පසුදින එනම් 1989 ඔක්තෝබර් 5 ඝාතනය කරන ලද තරුණයින් 18 දෙනෙකුගේ මළසිරුරු පේරාදෙණිය සරසවි භූමියේ දමා ගොස් තිබිණි. ඉන් සිරුරු 14 ක් ගලහ පාරේ ස්මාරකය අසලද තවත් සිරුරු 4 ක් සරසවි සනාතන මන්දිරය අසලද විය.
ජවිපෙ දෙවන කැරලි සමයේදී එනම් 1986 සිට 1990 දක්වා ඝාතනය වූ සරසවි සිසුන් සංඛ්‍යාව 396 කි. අතුරුදන් වූ සරසවි සිසුන් සංඛ්‍යාව 227 කි. 87 දෙනෙකුගේ ශිෂ්‍යභාවය සදහටම අහෝසි විය. පැලවත්ත, කලපළුවාව, බූස්ස, වැලිසර සහ නුවර ඇතුළු කඳවුරු 11 ක රැඳවියන් වශයෙන් සිටි සරසවි සිසුන් 137 දෙනකු රජය මගින් 1990 මාර්තු 30 නිදහස් කරන ලදී.
කැරැල්ලේදී විපතට පත් වූ සහ අතුරුදන් වූ අයගේ පවුල් 9,000 කට පමණ පොදු පෙරමුණ රජය 1995 සිට 1998 දක්වා වන්දි ගෙවීම ඇරඹූ අතර ඉන් 214 ක් සරසවි සිසු පවුල්වල අය වූහ.
ජවිපෙ දෙවන කැරැල්ල පැවති 1986 සිට 1990 දක්වා අන්තරේ කැඳවුම්කරුවන් 8 දෙනෙකු සිටි අතර ඔවුහු සියලු දෙනාම කැරලි සමයේදී ඝාතනයට ලක්වූහ. ඔවුන් පිළිබඳ ලුහුඬු විස්තරයක් මෙසේය.
රංජිදන් ගුණරත්නම් - වසර 1985 අප්‍රේල් සිට නොවැම්බර් දක්වාද 1986 ඔක්තෝබර් සිට 1987 මැයි දක්වාද අන්තරේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළ රංජිදන් පේරාදෙණිය සරසවියට ඇතුළු වූයේ 1981දීය. ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යයෙකුව සිටියදී උදලාගම කොමිසම මගින් 1983දී ශිෂ්‍යභාවය අහෝසි කරන ලදී.
ඉතිරිය ලබන සතියට...