අන්තවාදයට එරෙහි අරගලයක පිය සටහන්


 

මේ දිනවල අන්තවාදය ගැන කෙරෙන කතා බොහෝ අසන්නට ලැබේ. රටේ ඉහළම තැන්වලින් මේ ගැන බරපතළ අනතුරු ඇඟවීම් සිදු කෙරුණි. එයට සමගාමීව වෙනත් පාර්ශ්ව වෙතින් දැක්වෙන ප්‍රතිචාර මාධ්‍යවල දක්නට ලැබේ.

 

මම ඔබට කතාවක් ලියන්නෙමි. එයද ආගම්වාදයේ අන්තයට ගිය පිරිසක් නිසා මරණයට මුහුණ දීමට සිදු වූ තරුණියක් ගැනය. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණ වන්නේ මෙම තරුණියට මරණය උරුම කිරීමට හේතුව වූවේ දැඩි පිපාසය ඉවසා ගත නොහැකි අවස්ථාවක පැන් පොදක් පානය කිරීමය. සටහන් කළ යුතු තවත් කරුණකි. මෙය සිදු වූවේ පකිස්ථානයේදීය. එනිසා මුස්ලිම් සහෝදරයන් මෙය වරදවා තේරුම් ගත යුතු නොවේ. මෙම අපරාධකාරී සිදුවීමට වගකිවයුතුවන්නේ තලේබාන් අන්තවාදීහුය. ඔවුහු තම සහෝදර ජනතාවද ආගම් භේදයෙන් තොරව මරා දමති.


ඔවුහු ඇෆ්ගනිස්ථානයේ බාමියන් මිටියාවතේ පිහිටි අති පැරණි බුදුපිළිම සියල්ල පුපුරුවා විනාශ කළහ. ඇෆ්ගනිස්ථානයේ සිය දහස් ගණන් මුස්ලිම් ජනයා මරා දැමූහ. අදටත් එසේ කරති. පකිස්ථානයේ ප්‍රධානම ප්‍රාන්තය පන්ජාබය වන අතර එහි ආණ්ඩුකාරවරයා වූ සල්මන් ටසීර් හා පකිස්ථානයේ සුළු ජාතිකයන්ගේ කටයුතු පිළිබඳ ඇමතිවරයා වූ ෂබාෂ් භාති යන දෙදෙනාම මරා දැමීමට තලේබාන් අන්තවාදී ත්‍රස්තයෝ කටයුතු කළහ. ඔවුන්ට ආගමක් ගැන තැකීමක් නැත. ඔවුහු ත්‍රස්තවාදීහුය. ඇදහීම් තුවක්කුව සහ උණ්ඩ පමණි. ලංකාවේ ත්‍රස්තවාදය අපට මතකය. මිනීමරු ප්‍රභාකරන් යම් කිසි ආගමකට අයත් වන්නට ඇත. එහෙත් ඔහු ඇදහුවේ තුවක්කුව සහ උණ්ඩ පමණය. පකිස්ථානය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. අපේ මිත්‍ර රටකි. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙනුත් චිරාගත බැඳීම් අනුවත් අපි මිත්‍රයෝ වෙමු. බුද්ධ කාලයේ සිට ගන්ධාරය යැයි එකල හැඳින් වූ ප්‍රදේශය සමග අපේ සබඳකම් බොහෝය. තලේබාන් අන්තවාදීන් පකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයට ඉමහත් තර්ජනයකි. ඒ තලේබාන් අන්තවාදය නිසා පිපාසයට ජලය බිඳක් පානය කිරීමේ වරදට මරණීය දඬුවම ලැබූ අසියා බිබි තරුණියගේ කතාවට අපි යොමු වෙමු.


බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ අග්‍ර මාණික්‍යය බඳුව පැවති මහා ඉන්දියානු රාජ්‍යය 1947 දී දෙකඩ කොට ඉන්දියාව සහ පකිස්ථානය යනුවෙන් රටවල් දෙකක් බවට පත් කිරීම වූ කලී එතෙක් මෙතෙක් ජගත් ඉතිහාසයේ නොවූ විරූ සංසිද්ධියකි. එම රාජ්‍යයන් දෙකේ නිර්මාණයම සුවිශේෂී සිදුවීමක් වූවේය. භාරතයේ ධාන්‍යගාරයයැයි විරුදාවලි ලැබූ පන්ජාබ් මහා ප්‍රාන්තය දෙකට බෙදා එක් කොටසක් වෙන්කර එයට කරච්චියද ඇතුළත් සින්දි ප්‍රාන්තයත් වයඹදිග දේශ සීමා ප්‍රාන්තයත් ඇතුළත් කොට බටහිර පකිස්ථානය ලෙසත්. බෙංගාල ප්‍රාන්තය බෙදා නැගෙනහිර පකිස්ථානය ලෙසත් නව රාජ්‍යයක් බිහි කිරීමට බි්‍රතාන්‍යයෝ කටයුතු කළහ. මෙය ඉතිහාසයේ මහා දික්කසාදය ලෙස හැදින්වුණු අතර දීගය අතහැර යන මනාලියක මෙන් නව පාකිස්ථානය සඳහා විශාල වස්තු සම්භාරයක් බෙදා දීමට ද සිදුවිය.


එවකට ඉන්දියාවේ බි්‍රතාන්‍යය වෙනුවෙන් කටයුතු කළ මවුන්ට් බැටන් සාමිවරයා රට බෙදීමේ කාර්ය ගැන භාරත නායක ශ්‍රී නේරු සහ පකිස්ථාන් නායක මොහොමඞ් අලි ජින්නා මහතා සමග සාකච්ඡා කළ නමුදු දේශ සීමාව ගැන නොයෙකුත් මතබේද ඇතිවිය. පසුව බි්‍රතාන්‍ය චාන්සලර් සාමිවරයා මෙම කාර්ය පැවරුවේ එරට නීති විශාරදයෙකු වූ සර් සිරිල් රැඩික්ලිෆ්ටය. කිසිදු දිනක ඉන්දියාවට පැමිණ නොතිබුණු ඔහු මෙම කටයුත්තට හොඳම සුදුස්සා ලෙස තෝරා ගැනුණි. එයට හේතුව ඔහු ඉන්දියාව ගැන කිසිදු දෙයක් ගැන දැන නොසිටීමයි. දන්නා කෙනෙකුට මෙම කාර්ය භාර වූයේ නම් පක්‍ෂ ග්‍රාහීවීමට හොඳටම ඉඩකඩ තිබුණු හෙයිනි.


එකල භාරත ජනගහනය වශයෙන් සිටි මිලියන අසූ අටක් ඔවුන්ගේ ඉඩකඩම්, ධන ධාන්‍ය, වනාන්තර, ගංගා, රජයේ දේපළ, මහා මාර්ග ආදී සියල්ල රටේ අනුපාතයට දෙකට බෙදිය යුතු විය. එපමණ කලක් කුඩා රාජ්‍ය වශයෙන් පැවති මහාරාජාවරුන්ගේ, කුමාරවරුන්ගේ සහ නමාබ්වරුන්ගේ රාජ්‍යයන් 565 කගේ ඉරණම ගැන තීරණ ගැනීමද සර් සිරිල්ට බාරවිය. මෙම තීරණයන්ට කැමති අය මෙන්ම අකමැති අයද කොතෙකුත් විසූහ. ඒ අතරම තම කණ්ඩායම්වල න්‍යාය පත්‍රය අනුව කටයුතු කළ අයද වූහ. ඉන්දියාවේ විශේෂයෙන්ම උතුරේ එතෙක් එක පවුලක සහෝදරයන් මෙන් සිටි හින්දු, මුස්ලිම් සහ සික් වාර්ගිකයන් අතර ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගියේය. මිනීමැරුම් කෝලාහලවලින් තුවාල සිදුවීම් අතිශය සුලභ සිදුවීම් විය.


වඩාත් උග්‍ර ලෙස කලබල පැනනැගුණු ප්‍රදේශයක් වූ ලාහෝර් නගරයේ සාමය බොහෝ සෙයින්ම කඩ වූවේය. පැරණි මෝගල් අධිරාජ්‍යයේ සමෘද්ධිමත් භාවයේ ප්‍රතිමූර්තිය බඳු වූ ලාහෝරයේ පැවති මනනන්දනීය උද්‍යාන, රජමාලිගා, සොහොන් කොත්. (ටජ් මහල් සිහිවටනය ආකාරයේ - ටජමහල් ඇත්තේ අග්‍රාවලය) මෙහි ප්‍රථමයෙන්ම අරගලය ඇතිවූවේ බැනරයක් කපා දැමීම නිසා යයි කියති. මෙම ගැටුමේදී පමණක් මිනිසුන් තුන් දහසකට වඩා ඝාතනය වූ බව වාර්තාවන්හි දැක්වේ. මෙවැනි සිදුවීම් නිමක් නොවීය. ලාහෝරයේ පමණක් නොව දිල්ලියේ, කරච්චියේ සහ කල්කටාවේද කැරලි කෝලාහලවලින් ගහණ විය. මියගිය සංඛ්‍යාවන් සහ තුවාල ලැබූවන් ගණන කිසිවෙකු දැනසිටියේ නැත. මුස්ලිම් ජනයා බහුල පෙදෙස්වල හින්දුන් ඝාතනය වූ අතර හින්දු බහුතරයක් සිටින පෙදෙස්වල මුස්ලිම් අය ඝාතනය වූහ.


1947 අගෝස්තු 15 වැනි දින මධ්‍යම රාත්‍රියේදී මහා භාරතය බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබුවේ වෙනම රටවල් දෙකක් වශයෙනි. එහි සිදු වූ ලේ වැගිරීම දෙවැනි වූයේ ලෝක මහා යුද්ධ දෙකට පමණි. දිල්ලියේ රතු බල කොටුවේත් ඉස්ලාමාබාද් නුවරදීත් දෙරටේ ජාතික කොඩි එසවූයේ ලේ ගංගාවන් මැදිනි. දෙරට අතර හුවමාරු වූ දුම්රිය දෙකක පුරවා එවා තිබුණේ උනුන්ගේ මළකඳන්ය. මෙය කුස්වන්ත් සිං නම් ලේඛකයා තම ‘අන්තිම දුම්රිය’ නමැති කෘතියෙන් ලොමු දැහැගැන්වෙන ශෛලියෙන් ලේඛනගත කර ඇති බව අපි දනිමු. මෙසේ ක්‍රෝධයෙන් යුතුව බෙදී වෙන්ව ගිය ජනතාව අදත් එම පීඩාවෙන් යුතුව ජීවත්වන්නේ අන්තවාදී බලවේග ආගම්වාදය තදින් අවුස්සන බව මෙම කලාපයේ නිරන්තරයෙන් දකින්නට ලැබුණි.


මෙයට බලපාන අනිටු පසුබිමක්ද පකිස්ථානය නිර්මාණය වූවේ අහම්බෙනි. එහි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එතරම් තැනක් ලැබුණේ නැත. අතිදීර්ඝ කාලයක් හමුදාවේ ඒකාධිපති බලයට නතුවී සිටි එරට ජනතාව යුදවාදී මානසිකත්වයකට හුරුවීම හෝ අන්තවාදී මතවාදයන් වෙත නැඹුරුවීමට ඇති ඉඩකඩ වැඩිය. මුල් අවධියේ අයුබ් ඛාන් සෙනෙවියා. ඉන් පසු බංග්ලාදේශ යුද්ධය පරාජයවීමෙන් පසු යෙහියා ඛාන්. සියාවුල් හක් සහ ෆර්වේස් මුසාරෆ් ආදී යුද නායකයෝ අති දීර්ඝ කාලයක් පකිස්ථානය පාලනය කළ බව අපට මතකය.


පකිස්ථානය නමැති රාජ්‍යය ලොවට බිහිවූයේ මුස්ලිම් රාජ්‍යයක්ය යන උප්පැන්න සහතිකය අතදරාගෙනය. එය අසාධාරණ නොවේ. මන්ද යත් එරට ජනගහනයෙන් 96% ක් මුස්ලිම් ජනතාව වන නිසාය. ඉතිරි 4% සමන්විත වන්නේ ආගම් ගණනාවක බැතිමතුන්ගෙනි. කතෝලික, ක්‍රිස්තියානි, ෂික් ආදී නොයෙකුත් වර්ගවලින් එම සංඛ්‍යාව සෑදී ඇත. 


අපේ කතාවේ නායිකාව වන අසියා බිබි නම් වූ තරුණිය මධ්‍යම පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ඈත එපිට ගමක් වූ ඉටන්වාලිහි පදිංචිකාරියකි. ක්‍රිස්තියානි ඉගැන්වීම් පාරම්පරිකව විශ්වාස කළ ඇය පියාගේ ආගම වූ නිසා එම ක්‍රිස්තියානිය විශ්වාස කළාය. නොඑසේව සියලු ආගම් හදාරා නිවැරදි දර්ශනය තෝරා ගැනීමට දැනුමක් බුද්ධියක් හෝ ශක්තියක් හෝ ඇයට තිබුණේ නැත. ඈත පිටිසර ගොවි පවුලක දියණියක වූ ඇයට පාසල් අධ්‍යාපනය ලබා ගැනීමේ වාසනාවක් කිසි දිනක උදාවූවේ නැත. පියා හා මව සමග ඔවුන්ගේ ගොවිතැන් කටයුතුවලට අත්උදව් දෙමින් සාම්ප්‍රදායික ගැමි ජීවිතයට හුරු වූ අසියා බිබි නමැති මෙම යුවතිය අසල්වැසි මුස්ලිම් දැරියන් සමග සෙල්ලම් කරමින් අදහස් හුවමාරු කරගනිමින් සමව ආහාර ගනිමින් කෙළි ලොල් ළමා කාලයක් ගත කළාය. තම පවුලේ අය සමග එකට ගුළිවී තිබෙන දෙයක් කා බී තම ඉරණම වූ දුප්පත්කම වැලඳගෙන ජීවත්වීමට ඇය ප්‍රිය කළාය. එහෙත් ඇය අදහන දෙවියන් වහන්සේගේ කැමැත්ත වූවේ එය නොවේ. අෂික් නමැති ගැමි තරුණයා සමග ශුද්ධ වූ කරකාර බන්ධනය සිදු වනු දැකීම සර්වබලධාරී දෙවියන් වහන්සේගේ අභිලාසය වූවේය. එය එසේම සිදුවිය.


ගොඩනැගිලි තැනීම සඳහා ගඩොල් කපන්නෙකු වශයෙන් රැකියාව කළ අෂික් සමග දරිද්‍රතාවේ පතුලටම කිමිදීමට අසියා බිබිට සිදුවුවද ආදරය, සෙනෙහස පුරවාගත් මෙම කැදැල්ලේ අගහිඟකම් ඉක්ම වූ සමගිය සමාදානය සහ සොම්නස රජ කෙරුණි. එහි සාධනීය ඵලයක් ලෙස දරු සිඟිත්තෝ පස් දෙනෙක් මෙම පවුලට එක්වූහ. තම ළමා කාලයේ කිසි දිනක පාසල් නොගිය දරුවෙකු වුවද අසියා තම දරුවනට විධිමත් අධ්‍යාපනයක් ලබා දීමට ද උනන්දු වූවාය. ඒ නිසා පවුලේ ආදයම වැඩිකර ගැනීම සඳහා තමාද යම් කිසි රැකියාවක නිරත වුවහොත් මැනවැයි කල්පනා කරමින් සිටියාය.


මේ අතර අසියාට ලැබුණු තොරතුරකින් කියවුණේ උර්දු බසින් ‘ෆල්සා’ නමැති පකිස්ථානයේ ජනප්‍රිය පලතුරු වර්ගය වගා කරන වත්තක එම පලතුර නෙළීම සඳහා ඇයට රැකියාවක් ලැබුණි. දිග කටු සහිත පඳුරු විශේෂයක පලගන්නා එම පලතුරු නෙළීම අතිශයින්ම දුෂ්කර වන්නේ එම කටු ඇනී නිතරම තුවාල සිදුවන නිසාය. එහෙත් අසියාට එමගින් දිනකට ලැබෙන රුපියල් දෙසිය පනහක වැටුප මහමෙරක් සේ වටිනා බැවින් ඇය එම කාර්යට යොමුවූවාය. ගිම්හාන සෘතුවේදී පන්ජාබයට ලැබෙන සූර්ය රශ්මිය අතිශයින්ම සැඩ පරුෂය, දැඩිය. වත්ත පිටියේ කටයුතුවල යෙදෙනවා තබා නිවස තුළ විවේකයෙන් සිටීම පවා අසීරු සහගතය. පන්ජාබයේ සීතල මෙන්ම උෂ්ණයද දරා ගැනීම අතිශයින්ම පීඩා කාරීය - අසියා වැනි සුකොමළ ළඳකට එය වඩාත්ම අසීරු කාරියකි. හිස සිට දෙපතුළ දක්වා ගලායන ඩාදියෙන් තෙමී යද්දී ෆල්සා කටු ඇනීමෙන් සියුමැලි දෑත්වලින් රුධිරය වෑහෙද්දී අසියා අතිශය පීඩාවට පත් වූවාය. අසලින් ඇළක් දොළක් ගලා යන්නේ නම් එහි කරවටක් ගිලී පැමිණියා නම් මඳ සහනයක් දැනෙණු ඇතැයි ඇය කල්පනා කළා විය හැකිය. අසල තිබුණු ළිඳක් එහි පඩිය මත තිබුණු බාල්දිය සහ කෝප්පයක් ඇය දුටුවේ මේ අතරවාරයේදීය. වෙනත් කිසිම දෙයක් ගැන සිතා බැලීමට ඇයට අවස්ථාවක් නොවුණි. සිහියට නැගුණේ තමා පෙළන අධික දාහය පමණි. වහා එතැනට ගිය අසියා බිබි බඩගින්න, පිපාසය හා වෙහෙස මහන්සිය යන ත්‍රිවිධ දුෂ්කරතාවන්ට පිළිසරණක් වශයෙන් දිය කෝප්පයක් පානය කළාය.


එය දුටු අනෙක් කාන්තාවන් බහුතරයකගේ මුහුණ නරක් වූ අයුරු අසියා දුටුවේ පසුවය. සිහින් මිමිනීමකින් ආරම්භ වූ විරෝධය මහා දෝෂාරෝපණයක් දක්වා වර්ධනයවීමට ගතවූවේ මොහොතකි. ක්‍රිස්තියානි කතෝලික දහම පිළිගත් කාන්තාවක් තමන්ට අකැප ස්ථානයකින් දිය බීම වරදක් කොට සැලකූ සහෝදර සේවිකාවෝ ආගමට අපහාස කිරීමේ චෝදනාව සහිතව අධිකරණය වෙත ගියහ.
ලෝකයේ සමහර රටවල ආගමික නීති ඉතා දැඩිය. රාජ්‍යය සහ ආගම යනු දෙකම එකක් ලෙස සලකනු ලබන රටවල්ද වේ. රටේ ඕනෑම පුරවැසියෙකු පවතින නීතියට ගරු කළ යුතුය. අසියා බිබි මරණීය දණ්ඩනයට නියම වූවේ එහි අවසාන ප්‍රතිඵලය වශයෙනි. 2010 නොවැම්බර් මස 10 වැනි දින සිට ඇය මරණීය දණ්ඩනය පැනවූ සිරකාරියන්ගේ කුටියේ පෝරකය දෙස නෙත් හෙළාගෙන සිටියි. ඒ පකිස්ථානයේ ෂෙයිකුපූර් බන්ධනාගාරයේය. ඇය කියන ආකාරයට සිර මැදිරියේ දොර ඇරෙන සෑම විටකම ඇයට දැනෙන්නේ මරුවා තමා කැඳවාගෙන යාමට පැමිණි බවය. පකිස්ථානයේ රූපවාහිනී නාළිකාවක නිවේදකවරියක ලෙස සේවය කළ ප්‍රංශ ජාතික කාන්තාවක වූ ඉසබෙලා ටොලට් මහත්මිය මෙම මරණීය දණ්ඩනය පැනවීම ගැන පුවත්පතකින් දැනගෙන එයින් කම්පිතව මෙම කරුණ ගැන සොයා බැලීමට උනන්දු වූවාය. මරණයේ අවදානම දරාගෙන ඇය ඉටුකළ කාර්යභාරය නිසා මෙම “දිය පොදක් පානය කිරීමෙන්  මරණය” අත්කර දීම පිළිබඳ වෘත්තාන්තය බාහිර ලෝකයට අනාවරණය විය.


අසියා බිබි නමැති තරුණ කාන්තාව මානව අයිතිය ගරු කරන අන්තවාදය ප්‍රතික්ෂේප කරන සමස්ත ලෝක ප්‍රජාව වන ඔබ වෙත මෙසේ කියා සිටින්නීය. එය ඔබ කියවිය යුතුය.


මා මෙසේ ඔබට ලියන්නේ පකිස්ථානයේ ෂෙයිකුපූර් බන්ධනාගාරයේ මගේ සිරකුටියේ සිටය මේ මගේ ජීවිතයේ අවසාන දින කීපයයි. සමහර විට එය අවසාන පැය කිහිපය වන්නට ද පුළුවන  මට මරණ දඬුවම නියම කළ අධිකරණය මා හට පැවසුවේ එවැන්නකි. මම බියට පත්ව සිටින්නෙමි.


මගේම ජීවිතය ගැනත් මගේ සැමියාගේ සහ දරුවන්ගේ ජීවිත පිළිබඳවත් මම බියට පත්ව සිටිමි. ඔවුහුද වධවේදනා විඳිමින් සිටිති. මා හරහා මගේ මුළු පවුලටම මරණ දඬුවම නියම වී ඇතුවා සේය. මගේ ඇදහීම, විශ්වාසය ශක්තිමත්ය. මා දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නේ අප ආරක්ෂා කර  ගන්නට කියාය. ඔවුන්ගේ සිනාසෙන ඇස් නැවත දැකගන්නට මම නොඉවසිල්ලෙන් සිටිමි. එහෙත් ඒ දවස උදාවෙනතුරු මා ජීවත්වෙතැයි මම නොසිතමි. 


අන්තවාදීන් අපට පහසුවෙන් ජීවත්වීමට ඉඩ ලබා දෙන්නේ නැත. මා කිසිවෙකු මරා දැමුවේ හෝ කිසිවෙකුගෙන් කිසිවක් කොල්ලකෑවේ නැත - එහෙත් මගේ රටේ අධිකරණ ක්‍රමයට අනුව මා ඊටත් වඩා අපරාධයක් කර තිබේ. මා ආගමකට අවමන් කර තිබේ. එය අපරාධ අතරින් දරුණුම අපරාධයයි. මුහම්මද් නබිතුමාට අපහාස වන පරිදි කතා කළේ යැයි මට චෝදනා එල්ල වී තිබේ. එය තමන්ගේ ආගම සහ මතවාද කෙබඳුවුවත් ඕනෑම අයෙකුට නැගිය හැකි චෝදනාවකි.


“මගේ නම අසියා නොරින් බිබිය - මධ්‍යම පකිස්ථානයේ පන්ජාබ් දිස්ත්‍රික්කයේ කුඩා ගම්මානයක් වූ ඉටින් වාලිහි උපන් සරල ගැමි කතක වුවත් මෙහි බොහෝ දෙනා පවසන පරිදි මා කිසිවෙකු නොවේ. එහෙත් මගේ නම ලොව පුරා ප්‍රචලිතය.


මම කිසිවිටක ආගමකට අපහසා නොකෙළෙමි. මම අහිංසක කාන්තාවක වෙමි. මගේ මුළු ජීවිත කාලය පුරා මා අපරාධයක් කර නැත. මම මොහම්මද් තුමාට ගරු කරන බව ලොවටම ඇසෙන්නට පවසන්නට මට අවශ්‍යය. කිතුනු බැතිමතියක වන මම මගේ දෙවියන්වහන්සේ පිළිබඳව විශ්වාසය තබමි. කෙසේ වුවත් ඕනෑම අයෙකුට තම ඇදහීම තෝරා ගන්නට නිදහස තිබිය යුතුය.


පසුගිය වසර ගණනාව තිස්සේ මා සිරගත කොට සිටින්නේ කතා කිරීමේ නිදහස පවා මට අහිමි කරමිනි. දැන් මට කතා කිරීමට අවශ්‍යය. සත්‍යය ඇසෙන්නට සැලැස්වීමට මට අවශ්‍යය. පන්ජාබ් ආණ්ඩුකාරවරයා වූ සල්මන් ටසීර් සහ සුළු ජාතිකයන් පිළිබඳ ඇමතිවරයා වූ ෂබාස් භාති යන දෙදෙනාම ඝාතනයට ලක්වූවේ මට උපකාර කළ නිසාය. ඔවුන් දෙදෙනා ඝාතනය කළෝ අන්තවාදීහුය. එය බිහිසුණුය. තිරිසනුන් මෙන් කෲර අන්දමින් ඔවුහු මනුෂ්‍ය ඝාතන සිදු කරති. මියගිය අයගේ පවුල්වල අය ගැන සිතනවිට මට සිදුවන්නේ හඬා වැටෙන්නටය.


මගේ ආදරණීය සැමියා අෂික්ගේත් ඔවුන්ගේම ආරක්ෂාව සඳහා මට මෙහි නම් කළ නොහැකි තවත් කිහිප දෙනෙකුගේත් ආධාරයෙන් මා පණපිටින් වැළලී සිට ඔබට ලිවීමට මට හැකියාව ලැබී ඇත. මා ඉල්ලා සිටින්නේ ඔබ සැමගේ උපකාරයයි. කරුණාකර මා අමතක නොකරන්න. මට ඔබ අවශ්‍යය.” 


ප්‍රංශ ජාතික මාධ්‍යවේදිනී ඈන් ඉසබෙලා ටොරෙට් අසියා නොරින් බිබිගේ කඳුළු කතාව කෘතියක් වශයෙන් ලෝකයා හමුවට අනාවරණය කළාය. එය සිංහලට නගා ‘දිය බිඳක අවනඩුව’ නමින් ප්‍රකාශයටපත් කළ කුමාර සිරිවර්ධන සහෘදයා මා සමග කීවේ අසියා තවමත් ජීවතුන් අතර සිටිනවා විය හැකි බවයි. එම තොරතුර නිවැරදි නම් ඇය තවමත් (වසර හතක්) සිටින්නේ මරණ මංචකයේය. තමා අබිමුවේ ඇති පෝරකය දෙස නෙත යොමාගෙනය. 


ඉන්දියානු අර්ධමහද්වීපයේ අන්තවාදීන් සිටින්නේ තලේබාන්වරුන් වැනි එක් පාර්ශ්වයක් නොවේ. හින්දු සහ ෂික් අන්තවාදීන් ද වේ. ඉන්දියානු නිදහස් සටනේ නායකයා යැයි ලොවම අවිවාදයෙන් පිළිගන්නා මහත්මා ගාන්ධි මරා දැමුවේ හින්දු අන්තවාදීන් වූ නතුරම්විනායක් ගොඞ්සේ, මදන් ලාල් ආදීහු රාශ්ටී්‍රය සේවක් සංග් (ආර්.ඇස්.ඇස්) නමැති හින්දු අන්තවාදී සංවිධානය මගිනි.
1947 දී පකිස්ථානය බිහිවන විට මුස්ලිම් සමූලඝාතනවලට හවුලේ ක්‍රියා කළ හින්දු සහ ෂික් පාර්ශ්ව දෙක භේද වූ විට ක්‍රියා කළ අන්තවාදී ආකාරයද සිහිපත් කළ යුතුය. පන්ජාබයේ සාම්ප්‍රදායික දේශපාලන බලවේගයක් වූවේ අකාලිදාල් පක්ෂයයි. එය දුර්වල කර බලය ලබා ගැනීමේ අරමුණ ඇතිව හින්ද්‍රන්වාලේ නමැති අන්තවාදියා කරළියට ගෙනැවිත් පෝෂණය කළේ ඉන්දිරා ගාන්ධි අගමැතිනිය විසිනි. පටු දේශපාලන න්‍යාය පත්‍ර අනුව අන්තවාදීන් ක්‍රියා කරන්නේ තමන්ට කිරිදුන් අතට දෂ්ට කරන නාගයන් මෙනි. ෂික් ආගමේ මූලස්ථානය වූ අම්රිත්සාර්හි රන් දෙවොළට වැදුණු හින්ද්‍රන්වාලේ ඇතුළු අන්තවාදීහු පන්ජාබය වෙනම රාජ්‍යයක් කර ගැනීමේ සටන ඇරඹූහ. ඉන්දිරා ගාන්ධිට සිදුවූයේ හමුදාව යොදවා එම අරගලය මැඩ පැවැත්වීමටය. එම සටනේදී රන් දෙවොලට සිදු වූ හානියට ෂික් ජාතිකයෝ ප්‍රකෝප වූහ. 1984 ඔක්තෝබරයේ ඔවුහු ඉන්දිරා ගාන්ධි මරා දැමීමෙන් පළිගත්හ. කුමන පාර්ශ්වයෙන් පැමිණිය ද අන්තවාදයේ ස්වභාවය ඒ ආකාර වේ. 


තම රට, ජාතිය, ආගම හෝ සංස්කෘතිය ගැන අභිමානයක් ඇති කර ගැනීමට මෙන්ම එහි අනන්‍යතාව ගැන පෙනී සිටීමට කෙනෙකුට අයිතියක් තිබේ. එයට අන්තවාදය යැයි වැරදි අර්ථනිරූපණයක් දීම මුළාවකි.


එහෙත් යමෙකු එකී අනන්‍යතාවට අභියෝග කරමින් මැඩීමට තැත් කරන්නේ නම් එයද අන්තවාදයයි. බුද්ධිය ඇත්තෝ මෙය නිසි පරිදි වටහා ගනිති.

සෝමසිරි වික්‍රමසිංහ