මාතර, හම්බන්තොට, වැල්ලවාය හා මොනරාගල ප්‍රහාරක කටයුතු මෙහෙයවීම විජේසේන ජී. ඒකනායකට පවරන ලදී. 06 වැනි දින විප්ලවීය ජයග්‍රහණය රැගෙන එකතුවීමේ අදිටනින් දේශපාලන මණ්ඩලය තම වගකීම හා අනාගත බලාපොරොත්තුවල බර දරමින් විසිරී ගියහ. මෙම තීරණයන් වැල්ලවාය හා මොනරාගල නායකත්වයට දැනුම් දීමේ වගකීම අම්පාර දිස්ත්‍රික් ලේකම් නිශ්ශංක විජේවර්ධනට භාරකරන ලදී. එහෙත් පහරදීම පිළිබඳව ගත් තීරණය වැල්ලවායට හා මොනරාගලට ලැබුණේ නැත.
මොනරාගල දිස්ත්‍රික්කය ඉදිරිපත් කළ යෝජනාව වෙනස් නොවන බවට නායකත්වයේ දෙවැන්නා විසින් පවසා සිටීමත්, දිනය හා වෙලාව වෙනස් කරන්නේ නම් පණිවුඩයක් එවන බවට සඳහන් කළත් එම පණිවිඩය නොලැබීමත් නිසා තම යෝජනාව නිවැරදි බවද, ඒ අනුව පහරදීම සිදුකළ යුතු බවද ප්‍රේමසිරි සහෝදරයා අදහස් කළේය. ඒ අනුව අප්‍රේල් 05 දින උදේ 4.30 ට පොලිස් ස්ථානයට පහරදීම ආරම්භ කරන ලෙස වැල්ලවාය කණ්ඩායමට පණිවිඩය ලැබිණ.
04 දින වැල්ලවාය සහෝදර වරුන්ට කාර්ය බහුල විය. මිටි බැඳ කැලයේ සැඟ වූ ගිනි අවි එළියට ගෙන ක්‍රියාකාරි තත්ත්වයට පත්කර ගැනීම හා බිම්ගත කරන ලද ටින් බෝම්බ ගොඩ ගැනීම සහෝදරවරු කිහිප දෙනෙකුට බාර කරන ලදී. වැල්ලවාය කණ්ඩායම ඒකරාශි කර ගැනීම වෙහෙසකර කටයුත්තක් විය. සමහරෙක් මඟ හැරියහ. පහරදීම ප්‍රතික්ෂේප කළවුන්ද වූහ. කෙසේ හෝ සාමාජිකයින් විසිනව දෙනෙකු එකතුකර ගැනීමට වැල්ලවාය ක්‍රියාකාරින්ට හැකියාව ලැබුණි.
තල්ගස්වල අනුර වැල්ලවාය පහරදීම සඳහා මොනරාගල සිට පැමිණ සිටියේය. ඔහු මඟ පෙන්වන්නෙකු මෙන්ම දක්ෂ ගිනි හරඹ කරුවෙකි. උපායේ දක්ෂයෙකි. ඔහුගේ සහභාගිත්වය කණ්ඩායමේ ගුණය ඉහළ දැමීමට සමත් විය.
පහර දීමට සහභාගි වෙන වැඩි දෙනෙකුට තිබුණේ විප්ලවීය මානසිකත්වය පමණි. සිව්පා සතාගෙන් ගොවි බිම් ආරක්ෂා කර ගැනීමට පමණක් දැනසිටි ගිනි අවි හරඹය තීරණාත්මක පහරදීමකට ප්‍රමාණවත් නැත. යුද පුහුණුවක් තබා ගිනි අවි හැසිරවීමේ විශේෂ පුහුණුවක් හෝ දැනුමක් නොවීය. අවශ්‍යතාව මත මේ සියලු කරුණු නොසැලකිණි. තල්ගස්වල අනුර වැදගත් වීමට මෙවැනි කරුණුද පාදක විය.
ගොවිබිම් සුරැකීම සඳහා සාමාජිකයින්ගේ නිවෙස් වල තිබූ දෙමවුපියන් සතු ගිනි අවි පවා අතුරුදහන් විය. නමුත් දෙමවුපියන් ඒ සම්බන්ධව කිසිවෙකුට පැමිණිලි කළේ නැහැ. ඇසට පෙනෙන දේශපාලනික වාතාවරණය ඔවුන්ට හීන් බියක් ගෙනදී තිබිණ.
වැල්ලවාය කණ්ඩායම සතුව ගිනි අවි හා ටින් බෝම්බ ප්‍රාථමික මට්ටමේ වුවද ප්‍රමාණවත් ලෙස සැලකිණි. ඔවුන්ට පහරදීමට තිබූ වැල්ලවාය පොලීසිය නිලධාරින් 15 දෙනෙකුට පමණ සීමා වූවකි.
තල්ගස්වල අනුර පහරදීම සැලසුම් කළේය. තර්ක විතර්ක මැද එකඟතාවකට එළඹිණ. 5 දින පාන්දර 4ට කණ්ඩායම් ගත වූවන් උළුකඬේ වත්තට පැමිණ සිටිය යුතුය. ප්‍රමාදය නිදහසට කරුණක් හෝ විප්ලවීය ජීව ගුණයක් නොවන බව පොලිස් කමිටු ලේකම් සෙනෙවිරත්න සහෝදරයා පහර දීමේ අරමුණ පහදා දෙමින් කීවේය. සකස් කරගත් නිල ඇඳුමෙන් සැරසී සිටීම සටන් බිමකදි හඳුනා ගැනීමට පහසුවකි. ආරක්ෂිතය, ජීවිතය වැදගත්ය. සටන් බිමකදී පවා සතුරාගේ ජීවිතය උදුරා ගැනීම පරමාර්ථය නොවේ. සතුරා පුද්ගලික සතුරෙකු නොව පංති සතුරෙකු පමණි. ඔහු කුලී හේවායෙකි. ඔහු නිර්ධන පංතිය නියෝජනය කළත් පොදු සතුරා හා පවතින සමාජ රටාව ආරක්ෂා කිරීමේ යෙදෙන්නෙකි. සෙනෙවිරත්නගේ දේශනයේ එවැන්නක් බව ආරියසේන මහතා පවසයි.
තුන් පැත්තකින් පොලීසිය වටලා කණ්ඩායම් තුනක් ස්ථානගත කිරීමටත්. පොලීසියට ඉදිරි පසින් පහර දෙන කණ්ඩායමේ පිරිස් බලය වැඩි කිරීමටත් තීරණය කරන ලදී. එම කණ්ඩායම තල්ගස්වල අනුරගේ නායකත්වයෙන් ප්‍රහාර එල්ල කරමින් පොලීසිය තුළට කඩාවැදී බලය අල්ලා ගත යුතුය.
මේ වන විට පොලීසියේ සිටින්නේ සීමිත නිලධාරින් පිරිසක් බැවින් ඔවුන් යටපත් කර ගැනීමට අපහසුවක් නොවන බව කැරලි කරුවෝ දැන සිටියහ. කතිකා කරගත් පරිදි පාන්දර 4 ට වැට කඩොලු කැලෑ මංකඩ ඔස්සේ අඳුර ඉරා දමමින් නව සමාජයක් ගොඩනැගීමේ ආරම්භක සටන සඳහා කැරලිකරුවෝ උළුකඬේවත්තට ඒකරාශී වූහ. පැමිණ සිටි 29 දෙනා කණ්ඩායම් කර ආයුධ හා අවසන් උපදෙස් ලබා දුන්හ.
ජයග්‍රහණයෙන් උද්දාම නොවීමටත්, බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටු නොවුණහොත් මොනරාගල දෙසට පසුබැස දෙවෙනුව කණ්ඩායම් හා එක්වීමට මෙන්ම පරාජයේදී හෝ මරණාසන්න දුෂ්කර මොහොතකදි හෝ කිසිවෙකු පාවා නොදීමටත්, හෙළිදරව් නොකිරීමටත් ගිවිස ගත්හ. ඉන්පසු එක සීරුවට සිය ගොදුර කරා ගමන් ඇරඹූහ.
පොලීසිය තුළ මඳ ආලෝකයක් විය. සැලැස්ම අනුව පොලීසිය තුන් පැත්තකින් වටකරන ලදී. තල්ගස්වල අනුර ප්‍රමුඛ ඉදිරි පෙළ කණ්ඩායම පොලිස් ස්ථානය ඉදිරියෙන් නියමිත තැන්වල ස්ථානගත විය. පහර දීමේ පළමු සාංඥාව දීමේ වගකීම අනුර සතුය. සහජ එඩිතර බවකින් හෝ ආයාශයෙන් උකහාගත් ධෛර්යකින් හෝ තරුණ කැරලිකරුවෝ ඇසිපිය නොහෙලා පොලීසිය තුළ වූ ක්‍රියාකාරිත්වය අධ්‍යයන කළහ.
පොලිස් කොස්තාපල් ජී. යේනස් රාලහාමි රාත්‍රි මුර සේවයේ යෙදී සිටියේය.
බියකරු නිහඬතාවකින් පසු අනුරගේ ගිනි අවියෙන් උණ්ඩයක් වැල්ලවාය වටකළ කඳු වළල්ල දෝංකාර දෙවමින් නිකුත්විය. 71 කැරැල්ලේ පළමු වෙඩි හඬ මෙන්ම, මව්බිමට තීරණාත්මක වූ සංඥාව එම වෙඩි හඬයි. සමාජය උඩු - යටිකුරුකරලීමට හා තරුණ සංහාරයක ආරම්භයකට එම හඬ තීරණාත්මක සාධකයක් වූ බව විශ්ලේෂකයෝ පවසති. එසැණින් පොලීසිය වටකර සිටි කැරලි කරුවෝ පහරදීම ඇරඹූහ. ඔවුන් වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගත්තේ ටින් බෝම්බය. හිමිදිරි පින්න මැද වැල්ලවාය ලෙයින්, යකඩින්, ගින්දරින් ගිනියම් වෙමින් තිබිණ.
සිදුවූයේ කුමක්දැයි නොදැන සිටි පොලිස් නිලධාරිහු ක්ෂණිකව තීරණයකට එළඹුණහ. රටේ උදාවෙමින් පැවති වාතාවරණය මත ආරක්ෂක අංශවල නිවාඩු අවලංගු කර තිබු හෙයින් රෝගාතුර වූවන් හැර සෙසු නිලධාරීහු සිය රාජකාරිවල යෙදී සිටියහ. ඔවුහු ගිනි අවි රැගෙන ප්‍රහාර එන පැති නිරීක්ෂණය කරමින් ප්‍රති ප්‍රහාර එල්ල කළහ.
“අපි සිය ගණනක් ආයුධත් එක්ක පොලීසිය වටකරල ඉන්නෙ. කිසිම කරදරයක්. හිරිහැරයක් කරන්නේ නැහැ. අපිට යටත් වෙයල්ලා” වෙඩි බෝම්බ හඬ මැදින් අනුර මහ හඬින් කෑ ගසයි. එය නියෝගයකි.
අඳුරේ ආවරණ ගතව සිටි කැරලිකරුවන්ට එල්ලයක් තිබුණද, පොලිස් නිලධාරීන්ට එල්ලයක් නොතිබිණි. කැරලිකරුවෝ ගස් ගල් ගොඩනැගිලි වලට මුවා වී මෙන්ම මහපාරේ කානුවල වැතිරී ආරක්ෂාකාරි ලෙස පහර දුන්හ. පොලිස් නිලධාරිහු අඳුරු පරිසරයේ හතර අතට වෙඩි තැබූහ. ඔවුන්ට එල්ලය ලබා දුන්නේ ටින් බෝම්බ හා උණ්ඩ පුපුරා යාමේදි විහිදෙන ආලෝකයයි.
යටත්වෙන ලෙස කැරලිකරුවන් දෙන විධානය නොතකා පොලිස් නිලධාරීහු ප්‍රතිප්‍රහාර එල්ල කළහ. මේ අතර වෙඩි උණ්ඩයකට “යේනස්” රාලහාමි ඉලක්ක විය. ඔහු ලේ පෙරාගෙන බිම ඇද වැටිණි.
සැලැස්ම අනුව ඉදිරි පෙළට පොලිස් ස්ථානයට කඩාවැදීමට නොහැකි විය. පොලීසිය අල්ලාගැනීම පිණිස ගිනි අවිය හුරුපුරුදු එඩිතර පිරිසක් ඉදිරියට යැවුණේ ඒ අනුවය. කැරලි කරුවෙකු වූ ධර්මදාස පොලිස් වෙඩි පහරට ඉලක්කයක් විය.
පාන්දර යාමයේ පොලිසිය දෙසින් නොනවත්වාම ඇසෙන වෙඩි හා බෝම්බ හඬින් අවදි වූ ප්‍රදේශවාසීහු සිදුවන්නේ කුමක්දැයි නොදැන බියපත්ව තම නිවෙස්වල දොරගුලු හිරකර ගත්හ. සමහරු වෙඩි නොවදින මානයේ සිට වසන්ව බලා සිටියහ. ඇතැම්හු කොල්ලන්ගේ විප්ලවය ආරම්භ වූ බවට අනුමාන කළහ.
ඉතිරිය ලබන සතියට...
ගණේමුල්ල - බුද්ධි බොල්ලත
සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික