අනුරගේ අපරාජිත වාර්තා


කිරුළ අහිමි අගමැති පවුලේ පුත්‍රයා--2

“රටේ තරුණ බලවේගය ඉදිරියට ගෙන යන අනුර අනාගතයේදී රටේ නායකත්වයට එන බව නිසැකයි. ඒ බලාපොරොත්තුව ඉටුවේවායි මාත් පතනවා.” ගාල්ල මන්ත්‍රී දහනායක මහතා පැවසුවේය.

තම පිළිතුරු කතාව කරමින් අනුර මෙසේ පැවසුවේය. 


“අනාගතයේ මගේ නායකත්වයෙන් රජයක් පිහිටුවන්නේ නම් ආචාර්ය දහනායක මහතාටත් එහි සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කරනවා.” 


අත්පොළසන් නදින් එම පැතුම අනුමත කෙරිණ. 


බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර වරින් වර පැමිණ ජනරැලි ඇමතූ තරුණ අනුරට 1970 දී තම සොයුරියන් දෙදෙනාම විදේශගතව සිටි බැවින් අත්තනගල්ලේ ඡන්ද සටන තනිවම මෙහෙයවීමට සිදුවිය. වැඩි ඡන්ද විසි එක් දහසකින් මවගේ ජයග්‍රහණය ලබාදීමට තරුණ ජවයට එදා හැකිවිණ. 


1976 දී ඔහු ජා-ඇළ අතුරු මැතිවරණයට ඉදිරිපත් වනවිට සමගි ආණ්ඩුව අර්බුදයට මුහුණ පා තිබිණ. එහෙත් අති විශාල වැඩි ඡන්ද ගණනකින් ජා-ඇළ ජයග්‍රහණය අනුර සතුවිය. 1977 මුළු රට පුරාම ශ්‍රීලනිප සෝදාපාළුවට ලක්ව අසාන 08 ට ආසන ගණන සීමාවූ අවස්ථාවේ ජයගත්තේ ගම්පහ අත්තනගල්ලෙන් නොව නුවරඑළිය - මස්කෙළිය අසුනේ දෙවැනි මන්ත්‍රීවරයා ලෙසිනි. 


1988 දී ජනපති අපේක්‍ෂක ආර්. ප්‍රේමදාසට එරෙහිව තම වියපත් මව ජනපතිවරණය සඳහා සටන් වදිද්දී ඇයගේ සහායකයා මෙන්ම ආරක්‍ෂකයා වූවේද අනුර පුතාය. ඒ අවස්ථාවේ මැතිනියට නොවූ මරණීය තර්ජන පුතාට එල්ල විය. 1989 මහ මැතිවරණයේදී බලවත් යූ.ඇන්.පී. ආණ්ඩුවට අභියෝග කරමින් ශ්‍රීලනිපය තුළ මත ගැටුම්, ප්‍රතිවාදීන්ගේ තර්ජන ගර්ජනවලට මුහුණ දෙමින් මව වෙනුවෙන් සාධාරණය ඉටුකරලීම සඳහා අනුර සටන් කළේය.
මේ එඩිතරකම නිසාම උත්තරීතර කතානායක පදවියට පක්‍ෂ විපක්‍ෂ පොදු එකඟතත්වය අනුව අනුර පත් කෙරිණ. ජය කෙහෙළි නැංවූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් නොව වතු කම්කරු ජනතාවගේ රාජධානිය වූ නුවරඑළිය මස්කෙළිය අසුනින් ශ්‍රීලනිපය වෙනුවෙන් තරගවැදී ඡන්ද 49,000 ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තෝරා ගැනුණේ එහි රජකළ තොණ්ඩමන් තෙවෙනි තැනට ඇද දමමිනි. 


මෙරට මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේම ළාබාල විපක්‍ෂනායක ධුරයට 1983 දී පත් වෙමින් අනුර ලෝක වාර්තාවක් තැබීය. යූ.ඇන්.පී. යේ හයෙන් පහේ බලයට අභියෝග කරමින් ආසන 8 ක් පමණක් දිනා සිටි ශ්‍රීලනිපයේ විපක්‍ෂ නායකයා ලෙස ඔහු පෙරළි කළේය.


“ව්‍යවස්ථාදායකය සියල්ලන්ටම වඩා උත්තරීතරය” යන දැඩි මතයෙහි පිහිටා යූ.ඇන්.පී. ය ගෙන ආ සියලු තර්ක විතර්ක බිඳ දැමීමෙන් අනුර බණ්ඩාරනායක නම් කතා නායකවරයා ඓතිහාසික තීන්දු තීරණ ප්‍රකාශයට පත් කළේය. 


1993 ශ්‍රීලනිපය තුළ කල්ලි වාදයක් නිර්මාණය වනු පෙනිී. එය මව සහ පුතා අතර මතවාදයක් දක්වා දුර දිග ගියේය. පැහැදිලි පක්‍ෂය දෙදරා ගිය අතර අනුරගේ පක්‍ෂ සාමාජිකත්වය 1993.07.15 දින තහනම් විය. කලක් විදේශගතව සිටි අනුර තම පියා ඇරඹූ එක්සත් ජාතික පක්‍ෂයට යළි එක්වන ලෙස ජනපති ඩී. බී. විජේතුංග මහතාගේ අනුදැනුම පරිදි යූ.ඇන්.පී. මහ ලේකම් ධුරය දැරූ බී. සිරිසේන කුරේ ඉල්ලා සිටියේය. 


1993.10.11 දින අනුර ඉතා දැඩි තීරණයක් ගත්තේය. ඒ ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වීමය. කලකිරීම හා අසාධාරණයට විකල්පය ලෙස ඔහු යූ.ඇන්.පී. සාමාජිකත්වය ලබා ගත්තේය. 


කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධරයකු වූ අනුර බණ්ඩාරනායක මෙරට දේශපාලන ඉතිහාසය කණපිට පෙරළුවේ එසේය.


ඔහු වෙත 2000 - 2001 වසරවලදී කතානායක පදවියත් 1993.09.04 කාලයේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයත්, 2004 - 2007 සමයේ සංචාරක අමාත්‍ය ධුරයත් 2007 වසරේ ජාතික උරුමය පිළිබඳ අමාත්‍ය ධුරය හා විදේශ අමාත්‍ය ධුරයද පිරිනැමිණ.


ජනපති ධුරයට පත්වීමේ වාසනාව ලද තම සොහොයුරිය චන්ද්‍රිකාගේ රැකිවරණය මත වුවද දිගු ගමනක් යාමට වාසනාව නොලැබ 2008 මාර්තු 16 වැනිදා සදා නිහඬ වූයේය. ඔහු තරම් ඇසූපිරූ තැන් ඇති නායකයකු මෑත දේශපාලන ඉතිහාසයේ සොයා ගැනීම උගහටය. අනුරගේ අධ්‍යාත්මය හඳුනාගත්තේ සමීපතම සගයන් කිහිප දෙනකු පමණි.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි