අනුරගේ පෙර පින


 

මෙරට ජාතික දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1977 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 168න් 08 පමණක් ලබා ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයට පත් විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 18ක් ලබා පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම මන්ත්‍රීධුර ලැබූ පක්ෂය බවට පත්විය.


ශ්‍රී ලංකාවේ ජනතා කැමැත්ත අනුව බැලූවිට ශ්‍රීලනිපක්ෂය ආසන 08ක් ලැබුවද මුළු ඡන්ද 1,855,331ක් ඡන්දය ලබා දී තිබුණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 18ක් ලැබුවද ඡන්ද ලබා තිබුණේ 339,043ක් පමණි. නමුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර වාදය අනුව විපක්ෂනායක ධුරය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ අමිර්තලිංගම්ට හිමිවිය. ආසන 140 ලැබූ එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන අගමැති තනතුරට පත්වූයේ හයෙන් පහක බලයක් සහිතවය.


මේ වනවිට ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත්වී තිබීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව නොතිබිණි. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන විධායක බලය සහිත ජනාධිපතිවරයකු ඇතුළත් වන නව ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කළේය. 1978 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කොට 1978 පෙබරවාරි 04 වැනි දින ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පැවැති ජනරජ ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කරමිනි. නව ව්‍යවස්ථාව එකල පැවැති ජාතික රාජ්‍ය සභාවේදී 1978 අගෝස්තු 16 වැනි දින ඡන්ද 137 ලැබීමෙන් සම්මත වූ අතර අගෝස්තු 31 වැනි දින ව්‍යවස්ථාවට අනුමැතිය දී කථානායක ආනන්ද තිස්ස ද අල්විස් මහතා ඉල්ලා අස්විය. නව කතානායක ලෙස බේරුවල මන්ත්‍රී ඉමිටියාස් බාකිර් මාකර් මහතා ඒකමතිකව පත් විය.


දෙමළ මන්ත්‍රීවරු 18 දෙනාගේ මන්ත්‍රීධුර අහිමිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය අහිමි විය. මේ වනවිටත් ශ්‍රීලනිපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමිකර පාර්ලිමේන්තුවෙන්ද නෙරපා සිටි බැවින් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් නායකත්වය අනුර බණ්ඩාරනායක මහතාට හිමිව තිබිණි. මේ නිසා ආණ්ඩු පක්ෂයට විරුද්ධ ප්‍රධාන විපක්ෂයේ වැඩිම පිරිස ශ්‍රීලනිපක්ෂයේ කණ්ඩායම වූ නිසා එහි නායක අනුර බණ්ඩාරනායකට විපක්ෂනායක ධුරය හිමිවිය.



විපක්ෂ නායක ධුරය දැරූ ඒ. අමිර්තලිංගම් මහතා තම තනතුර පාවිච්චි කරමින් ලෝකය පුරා දෙමළ ජාතිවාදය පෝෂණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ අතර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය වර්ධනය වන ශක්තිය හීනකිරීම සඳහා රජයට පියවර ගැනීමේ අවශ්‍යතාව මතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත සිටින කිසිම පුද්ගලයකු රට දෙකඩ කිරීමට කටයුතු කිරීම හෝ ආධාර අනුබල දීම නොඑසේ නම් එවැනි ව්‍යාපාරවලට මුදල් යෙදවීම දඬුවම් ලැබිය යුතු වරදක් කොට නම් කරමින් 1983 අගෝස්තු 05 වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හයවන සංශෝධනය ගෙන එන ලද අතර පාර්ලිමේන්තුවේ දී එය සම්මත විය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනා 1983 අගෝස්තු මාසයේ දී නැවත දිවුරුම් දිය යුතු විය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 18 දෙනා එසේ දිවුරුම් දීම ප්‍රතික්ෂේප කළ අතර ඒ නිසා පාර්ලිමේන්තුව වර්ජනය කළහ. නිවාඩු නොලබා මාස 03ක් පාර්ලිමේන්තුවට නොපැමිණීම හේතුවෙන් එම මන්ත්‍රීවරු 18 දෙනාගේ මන්ත්‍රීධුර අහිමි විය.

එසේ මන්ත්‍රීධුර අහිමි වූ මන්ත්‍රීවරු 18 දෙනා වූයේ


1. කයිට්ස් මන්ත්‍රී කේ. පී. රත්නම්
2. වඩුක්කොඬේ මන්ත්‍රී ටී. තිරුනාවුකරසු
3. කන්කසන්තුරේ මන්ත්‍රී ඒ. අමිර්තලිංගම්
4. මනිපායි මන්ත්‍රී වී. ධර්මලිංගම්
5. කෝපායි මන්ත්‍රී ඒ. එම්. අලාලසුන්දරම්
6. උඩුප්පිඩි මන්ත්‍රී ටී. රාසලිංගම්
7. පොයින්ඞ් පේදුරු මන්ත්‍රී කේ. තුරෙයිරත්නම්
8. චාවකච්චේරි මන්ත්‍රී වී. එන්. නවරත්නම්
9. නල්ලූර් මන්ත්‍රී ටී. සිවසිත්තම්පරම්
10. යාපනය මන්ත්‍රී වී. යෝගේෂ්වරන්
11. කිලිනොච්චි මන්ත්‍රී වී. ආනන්ද සංගරී
12. මන්නාරම මන්ත්‍රී පී. එස්. සුසෙයිදාසන්
13. මුලතිව් මන්ත්‍රී එක්ස් එම්. සෙල්ලතම්බි
14. වව්නියා මන්ත්‍රී ටී. සිවසිත්තම්පරම්
15. ත්‍රිකුණාමලය මන්ත්‍රී ආර්. සම්පන්දන්
16. පදිරිප්පු මන්ත්‍රී ටී. ගනේෂලිංගම්
17. පොතුවිල් ෂෂ මන්ත්‍රී එම්. කනගරත්නම්
18. මඩකළපුව මන්ත්‍රී සී. රාජදොරේ


මේ අතර 1983 දී පැවැත්වීමට තිබූ මහ මැතිවරණය නොපවත්වා තවත් වසර හයක් එක දිගට බලයේ රැඳී සිටීම සඳහා එජාපක්ෂ ආණ්ඩුව ගෙන එන ලද 4 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව 1982 දෙසැම්බර් 22 පැවැති ජනමත විචාරණය මගින් පාර්ලිමේන්තු නිලකාලය 1989 දක්වා දීර්ඝ කර තිබුණි.


මේ අනුව දෙමළ මන්ත්‍රීවරු 18 දෙනාගේ මන්ත්‍රීධුර අහිමිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය අහිමි විය. මේ වනවිටත් ශ්‍රීලනිපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමිකර පාර්ලිමේන්තුවෙන්ද නෙරපා සිටි බැවින් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් නායකත්වය අනුර බණ්ඩාරනායක මහතාට හිමිව තිබිණි. මේ නිසා ආණ්ඩු පක්ෂයට විරුද්ධ ප්‍රධාන විපක්ෂයේ වැඩිම පිරිස ශ්‍රීලනිපක්ෂයේ කණ්ඩායම වූ නිසා එහි නායක අනුර බණ්ඩාරනායකට විපක්ෂනායක ධුරය හිමිවිය. මේ වනවිට 1977 ජයග්‍රහණය කළ ආසන 08ට අමතරව 1983 මැයි 18 වැනිදා පැවැති අතුරු මැතිවරණවලින් මතුගම, බද්දේගම, අක්මීමන යන ආසන 03 ශ්‍රීලනිපක්ෂය ජයගෙන තිබූ අතර මහරගම ආසනය මහජන එක්සත් පෙරමුණ ජයගෙන තිබුණි. ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරු සංඛ්‍යාව 12ක් බවට පත් වූහ.

 

 

 

බණ්ඩාරගම - සමරසේන මුදලිගේ