අඳුර විනිවිදින තියුණු නුවණ


මෙතැන් පටන් කතාව යළි දිගහැරෙනුයේ පැටි්‍රයාගේ මතක සටහන් ඇසුරිණි. 


වර්ෂය - 1946

 

ආරම්භයේ පටන්ම වටිනා මුතු ඇටයක් මෙන් එය මගේ හද තුළ සැඟව තිබිණි. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නට හෝ පණ ඇති සියලු දෙයට ප්‍රේම කරන්නැයි මට කියාදුන් අයෙකු නොවීය. ආලෝකය  සොයා ඇදෙන දල්ලක් මෙන් එය නිරායාසයෙන් සිදු වූවකි.


උපතේදී පවා මා එළියට විත් තිබුණේ යම් කිසිවක් අල්ලා ගන්නට මෙන් දෑත් එළියට දිගු කරගෙනය. දෙවි පිහිටෙන් අන්තිම මොහොතේදී අම්මා පරීක්ෂා කළ වින්නඹු මව කුරුළු පැටවෙකුගේ තටු පහළට පිරිමදින  ලෙසින්  මගේ අත් පහළට කර තිබුණාය. 
ආරම්භයේ පටන් මා ඉතා හොඳ ළමයෙකු වූ බැවින් විටෙක තමාට ළමයා සිටි බව පවා අමතක විණැයි අම්මා කීවාය. මා රැය පුරා හොඳින් නිදා ගත්තේ අවදි වූ විට කිසිවකු ළඟ නොමැති නම් එයින්ද විනෝදයට පත් වෙමිනි. වසරකට පසු ඬේඬේ උපන්නාය. ඉන් පසු වසරකින් මිනර්වා ද උපත ලද බැවින් තවදුරටත් ඩයපර් අඳින ළදරුවන්ම තිදෙනෙක් වූහ. කුඩා නිවස කාඞ්බෝඞ් පෙට්ටියක් මෙන් ඇහිරුණි. 


තාත්තා ඒ වනවිටත් නිවසේ වැඩ අවසන් කර නොතිබූ නිසා අම්මා මාත් ඬේඬේත් තොටිල්ලක දමා සාලයේ තැබුවාය. එක් උදයක මා ඬේඬේ ගේ තෙත ඩයපරය මාරු කරනු ඇයට හසුව තිබුණි. වඩාත් හාස්‍යජනක කරුණ වූයේ මා අලුත් එකක් ඉල්ලා අම්මාට කරදර  නොකර මගේ එක ගලවා මගේ සොයුරියට ඇන්දවීමය. 


ඔයා ඕනෑම දෙයක් දෙනවා. ඔයාගෙ ඇඳුම්, කෑම බීම, සෙල්ලම් බඩු, අවට ඒ ගැන පැතිරුණා. ගමේ මිනිස්සු මං ගෙදර නැති වෙලාවල් බලලා ඔයාගෙන් හාල් කෝප්පයක්, තෙල් ටිකක් වගේ දේවල් ඉල්ලා ගන්න එයාලගෙ ළමයි එව්වා. 


එමෙන්ම කුඩා කල සිට කන්‍යා සොයුරියක මෙන් හැද පැලඳ ඒ අනුව හැසිරීමට ද මා කැමැත්තක් දක්වා තිබිණි. 


වයස දාහතරේදී මා කන්‍යාරාමයේ අධ්‍යාපනය ලැබීම සඳහා එවන විට ගැමියන් සිතුවේ මා එහිදී කන්‍යා සොයුරියක වනු ඇති බවය. ‘මොනතරම් කනගාටුවක්ද ඔවුහු කීහ. ඒ වගේ ලස්සන ගෑනු ළමයෙක්. 


එවිට මම කැඩපතින් මදෙස බැලීමට පටන් ගතිමි. මා තවදුරටත් පෙර සිටි කුඩා දැරිය නොවන බව හැඟී මා තුළ විමතියක් ඇතිවුණි. උස් පුන් පියයුරු හා ඕවලාකාර සොඳුරු වතක් සහිතව මා වැඩුණු තරුණියක මෙන් දිස්වුණි. ඈ සිනාසෙන විට කම්මුලක් වළ ගැසුණි. කළුවන් දෑස්වල තෙතමනයක් හා  ආශාවන් පිරී තිබිණි. මා කැඩපත ඉදිරියට වී දෑත් එසවූයේ ඈ ඇයට අවබෝධ  කරගත නොහැකි දේවල් වෙන ළඟාවන බව මතක් කර දීමටය. 


මා වයස අවුරුදු දාසයට ළඟාවී සිටියදී අසුන් සන් කන්‍යාසොයුරිය මා කාර්යාලය වෙත කැඳවූ අන්දම මට මතකය. එවකට ෆ්ලැම් බොයන්ට් මල් පිපෙන කාලයයි. අඳුරු කන්තෝරු කාමරයට ඇතුළු වන විට කවුළුවෙන් පිටත හැම ගසකම තද රතුපාට මල් පිපී තිබූ අන්දම මට මතකය. 


‘පැටි්‍රයා මර්සර්ඩීස්’ අසුන්සන් කන්‍යා සොයුරිය මේසය ළඟින් නැගිට ඉදිරියට පැමිණියාය. මම දණගසා ඇගේ ආශිර්වාදය  ලබාගෙන ඈ ළං කළ කුරුසය සිප ගතිමි. මගේ හදවතට දැනුණ හැඟුම දෙනෙතින් කඳුළු වී පිටතට නැගිණ. කොරොස්ම කාලය ඇරඹී තිබූ අතර මා නිතරම සිටියේ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්ති කාලය තුළය. 


‘එන්න, නැගිටින්න’ ඈ මා නැගිටුවා ගත්තාය. අපට කතා කරන්න දේවල් තියෙනවා. ඈ මා යොමු කෙරුවේ ඇගේ මේසය ඉදිරිපිට තිබූ රළු පුටුවක් වෙතට නොව  ඇගේ ජනේලය ළඟ තිබූ රතුපාට කුෂන් යෙදූ සුවපහසු අසුනටය. 


අපි එහි දෙකෙළවර හිඳ ගතිමු. අඩ අඳුරු එළියෙන් පවා ඇගේ ළා අළුපාට ඇස්වල රැඳුණු විනිවිද පෙනෙන  නුවණ මට පෙනිණි. ඈ කෙරෙන් නික්මෙන සත්ප්‍රසාද පූප සුවඳින් මගේ හිතට භක්තිමත් බවක් ඇතුළු විය. 


පැටි්‍රයා මර්සඩීස්, ඔබ අනාගතය ගැන ප්‍රමාණවත් තරමට අවධානය යොමුකර තියෙනවද? ඈ ඇසුවේ කොඳුරන්නාක් වැනි හඬකිනි. මා මුහුණ රතු කර ගනිමින් දෑස පහළට හරවා බැලුවේ මගේ අත්ල දෙස නෙත් යොමු කරමිණි. ගම්බද ජනයා පැවසුවේ කෙනකුගේ අත්ල ඔහුගේ හෝ ඇයගේ අනාගතයේ සිතියම බවය. 


ඔබ කන්‍යමරියතුමියගේ මගපෙන්වීම ඉල්ලා යාච්ඤා කළ යුතුයි. 


ඇගේ බැල්මේ මෘදු බව වහා හැඳිනිය හැකි වූයෙන් මම හිස ඔසවා බැලුවෙමි. ඇගෙන් එහා අඳුරු අහසේ සිග් සැග් හැඩයට විදුලි කොටනු හා ඈතින් ගොරවන හඬද ඇසිණ. මම යාච්ඤා කරනවා සිස්ටර්, දෙවියන්ගේ කැමැත්ත  දැන  ගන්න මම නිතරම එහෙම කරනවා. 
ඈ හිස සැලුවාය.


අපි මුල පටන්ම ඔබේ ආගමික භක්තිය ගැන අවධානයෙන් සිටියා. දැන් ඔබ උන්වහන්සේගේ ඇමතුමට ගැඹුරින් කන්දී සිටිය යුතුයි. උන්වහන්සේ ඔබ තෝරා ගත්තොත් ඔබත් අපි අතරින් කෙනෙකු වේවි. 


මගේ දෑස කඳුළින් තෙමුණි. හරි හරි ඈ මගේ දණහිසට තට්ටු කරමින් කීවාය. කනගාටුවෙන්න දෙයක් නැහැ. 


මම කනගාටුවන්නෙ නැහැ සිස්ටර්. මා පැවසුවේ යථාතත්ත්වයට  පත්වෙමිනි. මේවා සතුටේ සහ බලාපොරොත්තුවේ කඳුළුයි. දෙවියන් වහන්සේ මාව වෙන් කර හඳුනා ගන්න යනවා නම් එය විශාල භාග්‍යයක්. 


“උන්වහන්සේ ඔබ තෝරා ගනීවි.” ඈ තහවුරු කළාය. “හැමවිටම කන්දී ඉන්න. අවදියෙන් නින්දෙන් වැඩ කරද්දී සෙල්ලම් කරද්දී මේ හැම වෙලාවකම.” 


මා හිස සැලූ විට ඈ මෙසේ කීවාය. අපි දැන් එකතුවෙලා යාච්ඤා කරමු. මා ඇය සමගින් හේල්මාරි සහ අප පියාණන්ගේ යාච්ඤාව කී නමුත් මට ගින්දර පාට මල්වලින් හා සුළඟට සෙළවෙන ගහ කොළවලින් අවධානය වෙනස් කර ගැනීම අසීරු විය. 


කෙසේ වෙතත් දිවා කාලයේ හා රැයේදී ජීවිතයේ විවිධ දෑ සොයා දිව යන සිත නතර කර ගැනීමට මට අසීරු කරුණක් විය. විවිධ රස කැවිලිවලට ඇතිවන ආශාව, තරුණයින් වෙත සිත යොමුවීම වැනි දෑ මා සිතා මතා කළ දේවල් නොවීය. අසුන්සන් කන්‍යා සොයුරිය සමග කළ සාකච්ඡාවෙන් පසුව මා මගේ ඇමතුම දැන ගැනීම සඳහා යාච්ඤා කරන්නට පටන් ගත් නමුදු කුණාටුවකදී නිසල බව ඇනහිටින අයුරින් අයැදුම නතර විය. 


මෙය සංඥාවක් බව මට සිතිණ. ඇමතුම ඕනෑම අන්දමකින් සිහින බැහැ දැකීමට අර්බුද ලෙසින් පැමිණිය හැකි බව සොර් අසුන්සන් කියා සිටියාය. අපගේ කතා බහ සිදුවී නොබෝ දිනකින් ශුද්ධ වූ සතිය සඳහා පාසල වසා දැමුණි. කන්‍යා සොයුරියෝ කන්‍යාරාමය තුළට වැදී ඔවුන්ගේ මනාලයා හා සර්වබලධාරියා, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමට බියෙන් වාර්ෂික උග්‍ර තපස පුරන්නට වූහ.
මම ද නිවස බලා ගියෙමි. මට දෙවියන්ගේ ඇමතුම ඇසෙන බව නිසැක වුණි. මම පාද්රේ ඉග්නාෂියෝ ගේ ශූද්ධ වූ සතියට සම්බන්ධ වෙමින් රාත්‍රී නුවාන හා දිනපතා දේව මෙහෙයන්ට සම්බන්ධ වීමි. ශුද්ධ වූ බ්‍රහස්පතින්දා දිනයේ මා වතුර බේසමක් හා තුවායක් ද රැගෙන සෙසු  පසුතැවෙනන් හා එක්ව පල්ලියේ දාර ළඟට වී මීසම් වාසීන්ගේ දෙපා සෝදන්නට ගියෙමි. 


එදින රැයේ දිගු පේලි තිබිණි. එකකට පසුව එකක් බැගින් මා දෙපා යුගලවල් සේදුවේ හිස ඔසවා බලන්නට කරදර නොවෙමිනි. අනතුරුව ඝනකමැති කළු මවිල්වලින් වැසීගත් පැහැපත් තරුණ දෙපා යුගලක් පිරිසිදු වතුර බේසම මතට විත් තිබිණි. මට පහලින් මගේ දෙපා මෘදුව යනු මට දැනිණි. 


මම එම දෙපා හොඳින් සේදුවෙමි. එහි විලුඹ ඔසවා යටිපතුලට ද සබන් ගා කුඩා දරුවකුගේ දෙපා මෙන් ඒවා හොඳින් සේදුවෙමි. මා කඩිනමින් වැඩ කෙරුවේ  අඳුරට එක්ව තිබූ දිගු පෝලිම ගැන අවබෝධයෙනි. එසේ වුවද නිතැතින්ම මෙන් මගේ හිස එසැවුණි. 
තරුණයකු මදෙස නෙත් යොමා සිටියේය. ඔහුගේ මුහුණ ද දෙපා මෙන්ම සුකොමල තරුණ බවකින් පිරී තිබිණි. ඔහුගේ හිතැති දෙබැම එකට යාවී තිබිණි. ඔහු මට දුගී ආධාර පෙට්ටියට දැමීම සඳහා නෝට්ටු වගයක් ලබාදෙන විට ඔහුගේ පුළුල් දෙවුරෙහි මස්පිඩු චලනය වන අයුරු මට පෙනිණ.

 

 

 

 

 

 

 

 

 

පරිවර්තනය - මානල් ජයන්ති ගුණසේකර