අප්පුහාමි මැති සබයට


 

දොන් ස්ටීවන් සේනානායක (මීරිගම) සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (අත්තනගල්ල) ජෝන් ලයනල් කොතලාවල (දොඩම්ගස්ලන්ද) ජුනියස් රිචඞ් ජයවර්ධන (කැලණිය) පී. බී. බුලන්කුලම දිසාව (අනුරාධපුරය) එච්. බී. රඹුක්වැල්ල දිසාව (මිනිපේ) හැරිස් ලෙව්කේ රත්වත්තේ (මාවනැල්ල) තියඩෝර් බේබෲක් පානබොක්කේ (ගලහ) වැනි ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රභූ නාමාවලිය අතර ගමේ ගොඬේ ප්‍රචලිත අප්පුහාමි කෙනෙකු ද ඇතුළත් වීම ආශර්චර්යවත් සිදුවීමක් බව කිවමනාය. මෙසේ ප්‍රථම වතාවට අප්පුහාමි කෙනෙකු මැතිසබයට පිවිසියේ 1966-10-24 දින අංක 127 බණ්ඩාරවෙල ආසනය සඳහා පවත්වන්නට යෙදුන අතුරු මැතිවරණයේ ප්‍රතිඵලය අනුව. 
 

මෙම අතුරු මැතිවරණය පවත්වන්නට සිදුවූයේ මහා මැතිවරණ තුනකදීම බණ්ඩාරවෙල ආසනයේ තේරි පත්වූ ජේ. ජී. ගුණසේකර මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ හේතුවෙනි. මෙය මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීම නිසා පවත්වනට යෙදුණු සිව් වැනි අතුරු මැතිවරණය ලෙස සටහන් වෙයි. 1966 අගෝස්තු මාසයේදී ජේ. ජී. ගුණසේකර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලේකම්වරයා වෙත යැවීමෙන් අනතුරුව, එය අග්‍රාණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අතුරු මැතිවරණය ප්‍රකාශයට පත් කෙරිණ. 
කලක් විදේශ අමාත්‍යාංශයට ද අනුයුක්තව සිටි ජේ. ජී. ගුණසේකර මහතා ජාතික දේශපාලනයට පිවිසෙන්නේ 1960 මාර්තු 22 දින පැවැත්වූ සිව් වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණයට බණ්ඩාරවෙල ආසනය සඳහා ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙනි. එවර අපේක්ෂකයෝ හත් දෙනෙක් තරග බිමට පිවිස සිටියහ. ප්‍රථම වරට මැතිවරණයකට මුහුණ දුන් ජේ. ජී. ගුණසේකර මහතා වැඩි ඡන්ද 2549ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය. සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ජේ. ජී. ගුණසේකර (ශ්‍රී.ල.නි.ප. - අත) 5603 ග්ලැඞ්වින් සි. එච්. කොතලාවල (එජා.ප. - අලියා) 2909 ඩී. ඇස්. වික්‍රමසිංහ (ල.ස.ස.ප. - යතුර) 1476 එම්.ජේ. පීරිස්. (ලං.ප්‍ර.ප. - කුඩය) 457 චන්ද්‍ර එස්. පෙරේරා (ම.එ.පෙ. කරත්ත - රෝදය) 379 ටී. ඇම්. ගුණසේකර (ස්වාධීන-ඇස) 192 ඊ. ඇම්. ඩබ්ලිව්. ගවරම්මාන (ස්වාධීන - ඔරලෝසුව) 141 ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 152 වැඩි ඡන්ද සංඛ්‍යාව 2594 ඡන්දය දුන් මුළු සංඛ්‍යාව 11,306 ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ මුළු ගණන 14,106 දෙවැනි ස්ථානයට පත්ව පරාජය ලැබූ ග්ලැඞ්වින් කොතලාවල මහතා පළපුරුදු දේශපාලනඥයෙකි. 1947 සහ 1952 මහා මැතිවරණවලදී අංක 80 බුත්තල ආසනයට තේරාපත් වූ ලියෝ ප්‍රනාන්දු මහතාගේ අභාවය හේතු කොට ගෙන 1955.03.05 දින පැවැත්වූ අතුරු මැතිවරණයේදී ග්ලැඞ්වින් කොතලාවල මහතා වැඩි ඡන්ද 4502ක පහසු ජයක් අත් කර ගෙන බුත්තල ආසනයට තේරී පත් විය. මෙම අතුරු මැතිවරණයේදී ඔහු ඡන්ද 7865ක් ලබා ගත් අතර ප්‍රතිවාදී අපේක්ෂක අර්ල් අබේසූරිය මහතාට (තරුව) ලබා ගත හැකි වූයේ ඡන්ද 3365ක් පමණකි. 1960 ජූලි මැතිවරණයේදී දෙවැනි වරටත් බණ්ඩාරවෙල ආසනය ජය ගැනීමට ගුණසේකර මහතාට හැකි විය. එවර ඔහුට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 6621 කි. ඔහු වෙතින් පරාජය ලැබූ එ.ජා.ප.යේ එස්.ඩී. රත්නායක මහතාට ලැබී තිබුණේ ඡන්ද 4147කි. ලබා ගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 2474 විය. 1965 මහා මැතිවරණයේදී පැවතියේ තුන්කොන් සටනකි. ප්‍රථම වරට එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වු සී. සිරිල් මැතිව් මහතා (6406) හා කේ. ඇම්. පී. රාජරත්න මහතා නායකත්වය දැරූ ජාතික විමුක්ති පෙරමුණේ (අහස් යානය) ආර්. ඇම්. පියසේන (1276) තරගයට ඉදිරිපත්ව සිටියේය. එවර මුළු ඡන්ද 7917ක් ලබා ගෙන ගුණසේකර මහතා ආසනය රැකගත් නමුත් වැඩි ඡන්ද සංඛ්‍යාව 1511 දක්වා පහත වැටී තිබුණි. 


බණ්ඩාරවෙල අතුරු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම 1966-09-22 දින බදුල්ල කච්චේරියේ දී සිදු කෙරිණ. එදින නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් මෙසේය. ආර්. ඇම්. අප්පු හාමි (ශ්‍රී.ල.නි.ප.) සී. සිරිල් මැතිව් (එ.ජා.ප.) ඒ. ඇම්. හේරත් (ස්වාධීන) සිරිල් මැතිව් මහතා 1960 මාර්තු මැතිවරණයේදී අංක 145 කොලොන්න ආසනයට එ.ජා.ප.යෙන් තරග කර ජයග්‍රහණය කළ පළපුරුදු දේශපාලනඥයෙකු විය. එපමණක් නොව, උඩරට වතුකරයේ ද්‍රවිඩ ජන ව්‍යාප්ති සිංහල බෞද්ධ ජන කොට්ඨාසයට බලපාන ආකාරය ගැන සංවේදී වූ ජනතා නියෝජිතයෙකු වශයෙන් ද ඔහු පිළිගැනීමට ලක්ව සිටියේය. ඔහු විසින් සම්පාදනය කරන ලද සිංහලයාගේ අදිසි සතුරා (1970) නමැති ග්‍රන්ථයේ මෙම කාරණය සම්බන්ධයෙන් විස්තරාත්මකව තොරතුරු සපයා ඇත. එවකට එ.ජා.ප.යේ. සම ලේකම්වරයෙකු ද වූ සිරිල් මැතිව් මහතා බණ්ඩාරවෙල ආසනයේ සංවිධායක වශයෙන් පත් කර, අතුරු මැතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ සිංහල බෞද්ධ ඡන්ද පදනම කෙරෙහි විශ්වාසය තබාගෙන විය හැකිය. ශ්‍රී.ල.නි.ප.යෙන් ඉදිරිපත් වී සිටි ආර්. ඇම්. අප්පුහාමි මහතා කබිල්ලවෙල ගම්කාර්ය සභාවේ සභාපතිවරයා විය. මෙම අතුරු මැතිවරණය සඳහා ල.ස.ස.ප.යෙන් සිය අපේක්ෂකයා ලෙස ජේ. සී. ටී. (ජැක්) කොතලාවල මහතා ඉදිරි පත් කිරීමේ යෝජනාවක් ද සලකා බැලුණි. ඊට හේතු වූයේ අංක 76 බදුල්ල බහු මන්ත්‍රී ආසනයක්ව පැවති වකවානුවේ (1947 - 1956) ජැක් කොතලාවල මහතා ල.ස.ස.ප. බලය තහවුරු කර ගෙන සිටීමයි. 1947 ප්‍රථම මැතිවරණයේදී ඡන්ද 16,654ක් ලබා ගත් ඔහු දෙවැනි මන්ත්‍රී ධුරයට පත් වීය. (පළමුවැනි මන්ත්‍රී එස්. එම්. සුබ්බයියා කරත්ත රෝදය 27,121) 1952 සහ 1956 මහා මැතිවරණවලදී ඔහු බදුල්ල පළමුවැනි මන්ත්‍රී ලෙස තේරී පත් විය. (1952 “අත” ඡන්ද 12,450, දෙවැනි මන්ත්‍රී ඇස්. ඒ. පීරිස්-කරත්ත රෝදය 12,047) 1956 මැතිවරණය “යතුර” ඡන්ද 20,908 දෙවැනි මන්ත්‍රී ඇස්.ඒ. පීරිස් (එ.ජා.ප.-අලියා 14,724) ඉහත සඳහන් මැතිවරණ ප්‍රතිඵල ද කොතලාවල මහතාට කුඹල්වල කෝරළයේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත හැකිව තිබුණ නිසාද ඔහුගේ අපේක්ෂකත්වය ගැන පක්ෂය තුළ සලකා බැලුණි. එහෙත් වර්ෂ හයක පමණ කාලයක් බණ්ඩාරවෙල ආසනය ශ්‍රී.ල.නි.ප.ය. දිනාගෙන තිබීමද වාමාංශික ඡන්ද බෙදීයාමෙන් එ.ජා.ප.යට අත්විය හැකි වාසියත් සැලකිල්ලට ගෙන අවසානයේදී ල.ස.ස.ප.ය. පමණක් නොව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද ආර්. ඇම්. අප්පුහාමි මහතාට සහය දැක්වීමට තීරණය කළේය. 


මෙම අතුරු මැතිවරණයෙන් බණ්ඩාරවෙල ආසනය තමන් සතු කර ගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ප්‍රබල උත්සාහයක් දැරීය. ආණ්ඩුව බලය තම පක්ෂයට පවතින නිසා ද, ජාතික ආණ්ඩු ස්වරූපයේ රජයක් පිහිටුවා රට සංවර්ධනය කිරීමට උත්සාහ දරමින් සිටින නිසා ජනතාව පාලක එ.ජා.ප.යට පක්ෂපාතී වෙතැයි එම පක්ෂය අදහස් කරගෙන සිටියේය. අනිත් අතට ආණ්ඩු බලය පරදා බණ්ඩාරවෙල ආසනය තමන් සතු කර ගැනීම කාරණා දෙකක් අතින් වැදගත් වන බව ශ්‍රී.ල.නි.ප.ය. අවබෝධ කරගෙන සිටියේය. ඉන් පළමුවැන්න වූයේ එවකට දේශපාලන ක්ෂේත්‍රයේ හත් හවුල යනුවෙන් ප්‍රකටව තිබූ එ.ජා.ප. හවුල් ආණ්ඩුවේ අපේක්ෂකයා පරාජය කිරීමයි. දෙවැනි කාරණය වූයේ තම පක්ෂයට අයත්ව තිබූ ඡන්ද කොට්ඨාසයක බලය නැවතත් තමන් සතු කර ගැනීමෙන් පක්ෂයේ සංවිධාන ශක්තිය ද පක්ෂයට තිබෙන මහජන කැමැත්ත ද උසස් මට්ටමකට පවතින බව ජනතාවට එත්තු ගැන්වීමය. එම පක්ෂය එසේ කල්පනා කිරීමට පෙලඹ වූ තවත් කාරණයක් වූයේ අවසන් වරට පැවැත් වූ 1965 මැතිවරණයේදී 123 බදුල්ල (බී. එච්. බණ්ඩාර, 124 සොරණාතොට (කේ. වයි. ඇම්. විජේරත්න බණ්ඩා) 12 හපුතලේ (ඩබ්ලිව්. පී. ජී. ආරියදාස) යන බණ්ඩාරවෙල ආසනයට සමීපතම ආසන ශ්‍රී.ල.නි.ප.ය. ජයග්‍රහණය කර තිබීමයි. එම පක්ෂය වෙනුවෙන් අතුරු මැතිවරණ සටන මෙහෙයවීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වු මැදවච්චිය මන්ත්‍රී මෛත්‍රීපාල සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සහ හිටපු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබුණි. 


අතුරු මැතිවරණය සාමකාමී අයුරින් පැවතිය ද තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් ආකාරය දැක ගත හැකි විය. ජයග්‍රහණය කවර පක්ෂයකට හිමිවේ දැයි සිතා ගැනීමට පවා අසීරු කරුණක් විය. පැවැතියා වූ මෙම තත්ත්වය ස්ථිර කරමින් අවසානයේ දී ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා වැඩි ඡන්ද 148ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළේය. සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ආර්. ඇම්. අප්පුහාමි (ශ්‍රී.ල.නිප. - අත) 8636 සී. සිරිල් මැතිව් (එජාප-අලියා) 8488 ඒ. ඇම්. හේරත් (ස්වාධීන-මේසය) 182 වැඩි ඡන්ද සංඛ්‍යාව 148 නරක් වූ ඡන්ද පත්‍රිකා ගණන 122, ඡන්දය දුන් මුළු ගණන 17,423 ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ මුළු ගණන 21,935 මෙම ප්‍රතිඵලයට අනුව මැතිසබයට පිවිසි ප්‍රථම “අප්පුහාමි” වශයෙන් වාර්තාවක් තබමින් ශ්‍රී.ල.නි.ප.යේ. ආර්. ඇම්. අප්පුහාමි මහතා 1966 නොවැම්බර් 06 දින කතා නායක ශ්‍රීමත් ඇල්බඞ් ඇෆ්. පීරිස් මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය.
 

 

 

 

 

 

 

 

 

 

පී. ආර්. ඩී. බණ්ඩාර