අප්‍රේල් කැරැල්ල මැද “බල්ලන්ට” ගිය ප්‍රවෘත්ති වාරණය


 

මෙරට ඇතිවූ මුල්ම තරුණ අරගලය ලෙස හැඳින්විය හැකි 1971 අප්‍රේල් කැරැල්ල ආරම්භ කෙරුණු මුල් දිනවල දවසේ පැය 24 පුරාම ඇඳිරිනීතිය පනවා තිබුණේය. ඒ දිනවල විශේෂයෙන්ම නගරබද ජනතාවට තමන්ගේ දෛනික ආහාරපාන සපයා ගැනීමට තරම්වත් ඉඩ ප්‍රස්ථාවක් නොතිබිණි. එම තත්ත්වය රටේ වැඩිදෙනෙකුගේ බලවත් නොසතුටට හේතුවක් විය.


මේ අතර එතෙක් තමන් කිසි දිනෙක නොදුටු පැතලි හැඩයෙන් යුතු ගුවන්යානා විශේෂයක් අධික වේගයෙන් අහසේ ගමන් කරන අයුරුද බොහෝ දෙනක් දැක්කහ. එවැනි ගුවන්යානා බලවත් ශබ්දයක් නගමින් වාත වේගයෙන් අහසේ පියාසර කරන අයුරු දෙස විශේෂයෙන්ම මෙරට ගම්බද ජනතාව බලා සිටියේ දැඩි විස්මයකිනි.


“අන්න චේගුවේරාකාරයන්ට ගහන්න ආණ්ඩුවෙන් ගුර්කා භටයන් ගෙන්නලා...” යි මේ අතරතුර රටපුරා දූෂමාන ආරංචියක්ද පැතිරෙමින් තිබුණේය. ඒ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ හෝ පොලීසියේ කොමාන්ඩෝ රෙජිමේන්තුවක් නොතිබුණද කොමාන්ඩෝ පුහුණුව ලත් භටයන්ගේ වීර වික්‍රමාන්විත ක්‍රියාවන් පිළිබඳව මෙරට තිරගතවූ ඉංග්‍රීසි චිත්‍රපටිවලින් බොහෝ අය විවිධ තොරතුරු දැන සිටියහ. එම විදේශීය භට කණ්ඩායම් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇති බවටත්, තමන් මෙතෙක් නොදුටු අමුතුම මාදිලියේ ගුවන්යානා වලින් ඔවුන් කැරලිකරුවන් සොයා රටපුරා සැරිසරන බවටත් ජනතාව අතර විවිධ කටකතා පැතිරෙමින් තිබුණේ විදුලි වේගයකිනි.


අවසානයේදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු පවා ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න පිට ප්‍රශ්න නැගූහ. එලෙස ජනතාව වෙනුවෙන් ප්‍රශ්න කළ මන්ත්‍රීවරුන් ලෙස එවකට පාර්ලිමේන්තුවේ හබරාදූව අසුන නියෝජනය කළ ප්‍රින්ස් ගුණසේකර මහතාත් ගාල්ල අසුන නියෝජනය කළ ආචාර්ය විජයානන්ද දහනායක මහතාත් කැපී පෙනුණහ.


කිසිම ගුර්කා භටයෙක් ගෙන්වලා නැහැ. ඒත් රුසියාවෙන් අපට මිග්යානා කීපයක් ලැබී තිබෙනවා. එම ගුවන්යානා යොදාගෙන තිබෙන්නේ හමුදා භටයන් රට තුළ ප්‍රවාහනය කරන්න පමණයි. එසේ කියමින් ඔවුන් නැගූ ප්‍රශ්නවලට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු සපයන ලද්දේ එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුවේ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා විසිනි. ඇමැතිවරයා සඳහන් කළ එම තොරතුරු නිවැරදි වුවද ජනතාව අතර ඒ ගැන පැවතුණේ දැඩි අවිශ්වාසයකි.


ඒක මහ පට්ටපල් බොරුවක්. අපි ඇස් දෙකට දැක්කා කටුනායක එයාපෝට් එකට ගොඩබස්සපු පිටරටින් ආපු ගුර්කාරයෝ... යි කියමින් කටුනායක ගුවන්තොටුපොළ අසලින් ගමන් කළ ඇතැමුන් ප්‍රචාරය කළ කටකතාවලට තටු ලැබී තිබුණේය. විශේෂයෙන්ම එවැනි කටකතා රට තුළ පැතිරීමට මුල්වූ ප්‍රබල හේතුවක් වූයේ රජය මගින් ප්‍රවෘත්ති පාලනයක් ක්‍රියාත්මක කර තිබූ බැවිනි. එය තනිකරම ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක ඇමැතිවරයා යටතේ පැවැති ක්‍රියාන්විතයක් විය.


එවකට රජයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි කටයුතු භාර ඇමැතිවරයා වූයේ ආර්. එස්. පෙරේරා මහතා වුවද එම කාලය තුළ රටේ සියලුම මාධ්‍ය කටයුතු පාලනය කෙරුණේ ෆීලික්ස් ඩයස්ගේ අධීක්ෂණයෙනි. රජයේ ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම්වරයාවූ සෝමසාර දසනායක සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සරත් අමුණුගම යන මහත්වරු එම ප්‍රවෘත්ති පාලනය යටතේ ප්‍රවෘත්ති බලධාරීන් වශයෙන් පත්කර තිබුණි.


මේ අතර ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ද ගුවන්යානා කීපයක් මෙරටට ලැබී තිබුණේය. එකල ඉන්දියාව සහ පාකිස්ථානය අතර එතරම් සුහද බවක් නොතිබුණෙන් දෙපාර්ශවයම ඔවුනොවුන් දෙස බැලුවේ සැකමුසුවය. එම තත්ත්වය යටතේ තම තමන්ගේ ගුවන්යානා ආරක්ෂා කර ගැනීම සඳහා දෙරටින්ම සන්නද්ධ හමුදා භට කණ්ඩායම් දෙකක් මෙරටට එවා තිබුණි. ඒ අනුව ඔවුන්ගේ රාජකාරිය වූයේ තම තමන්ගේ ගුවන්යානා ආරක්ෂා කිරීමය. ඒ හැරෙන්නට එම කිසිදු භට පිරිසක් මෙරට මෙහෙයුම් කටයුතු සඳහා යොදා නොගැනිණි.


එසේම යුද භටයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගැනීමෙන් පසු එම ගුවන්යානා නතර කර තබන ලද්දේ කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයේ දෙපැත්තකය. එලෙස නතර කර තිබූ ඉන්දීය සහ පාකිස්ථානු ගුවන්යානාවල ආරක්ෂාව සඳහා යොදවා සිටි දෙරටේ හමුදා කණ්ඩායම් ඒ අවට විසූ ප්‍රදේශවාසීන් විසින්ද දැක තිබුණේය. ඔවුන් අන්න ගුර්කාකාරයන් කටුනායකට ඇවිල්ලා යි කියමින් කටින් කට ප්‍රචාරය කර තිබුණේ තම තමන්ගේ ගුවන්යානා ආරක්ෂා කරමින් සිටි දෙරටේ යුද භටයන් ගැනය.


කෙසේ වෙතත් ඒ බව සහසුද්ධියෙන්ම ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට ද ආණ්ඩුවට නොහැකි විය. එසේ වූයේ ඒ දිනවල ආණ්ඩුව මගින්ම පනවා තිබූ ප්‍රවෘත්ති වාරණය ඊට හරස්වූ බැවිනි.


එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පැවතුණේ මුළුමනින්ම රජයේ පාලනයට යටත්වය. එසේම එකල ජාතික පුවත්පත් ආයතන වශයෙන් පැවැති ලේක්හවුස්, ටයිම්ස්, දවස සහ වීරකේසරී පුවත්පත්ද රජයේ ප්‍රවෘත්ති බලධාරීන් සමග යම්තාක් දුරකට සහයෝගයෙන් කටයුතු කරන බවක් පෙනී ගියද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පුවත්පත අනුගමනය කළේ තරමක දඩබ්බර ප්‍රතිපත්තියකි.


එකල ඇත්ත පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධුරය දරන ලද්දේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකුවූ බී. ඒ. සිරිවර්ධනය. මෙරට වාමාංශික ව්‍යාපාරයේ දැවැන්තයෙකු වූ එච්. ජී. එස්. රත්නවීර එහි උපදේශක කර්තෘවරයා විය. රජයේ ප්‍රවෘත්ති බලධාරීන් විසින් වාරණයට ලක්කළ ප්‍රවෘත්ති සහ ඡායාරූප වෙනුවට ජාතික පුවත්පත් පුරුදුව සිටියේ වෙනත් ප්‍රවෘත්ති සහ ඡායාරූප එම හිස්තැන්වලට යොදා සුපුරුදු පරිදි තම ප්‍රකාශනයන් පාඨකයා අතට පත් කිරීමටය. එහෙත් ඇත්ත පත්‍රය මුලදී ප්‍රවෘත්ති බලධරයා විසින් කපා දැමූ තැන් හිස්ව තබා පත්‍රය නිකුත් කිරීමට පියවර ගෙන තිබුණේය.


“ඔය හිස්තැන්වලට දානවා අපේම බල්ලො කෑවා යි කියලා එතකොට තමයි හොඳට වදින්නේ”යි දිනක් මහ රෑ ඇත්ත කාර්යාලයට පැමිණි එච්. ජී. එස්. එසේ කීවේ තම පාඨක පිරිස උපහාස රසයකින්ද සන්තර්පනය කිරීමේ අදහසිනි. ඉන්පසු ඇත්ත පත්‍රයේ ප්‍රවෘත්ති, ලිපි, ඡායාරූප සහ කර්තෘවාක්‍ය පවා රජයේ ප්‍රවෘත්ති බලධාරීන් විසින් වාරණයට ලක්කළ හැම අවස්ථාවකදීම පාහේ එම හිස්තැන්වල ‘ගෙඩිය පිටින්ම බල්ලො කෑවා.. අපේම බල්ලො කෑවා වැනි කර්කශ වදන් පළවී ඇති අයුරු එකල සුලබ දර්ශනයක් විය.


එම තත්ත්වය යටතේ සමගි පෙරමුණේ එක් පාර්ශවයක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එවකට පැවැති ඇමැති මණ්ඩලයේ සිටි පීටර් කෙනමන් සහෝදරයාට ඇතැම් අවස්ථාවලදී දැඩි අසීරුතාවලට මුහුණ පෑමට ද සිදුවී තිබුණේය. එසේ වුවද එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඇත්ත පත්‍රයේ අලෙවිය පෙරට වඩා දෙතුන්ගුණයකින් ඉහළ ගොස් පාඨකයන් වෙතින් ලැබෙන ඉල්ලුම සපුරාලීමට නොහැකි තත්ත්වයකට පවා පත්වීමය.

නිහාල් ජගත්චන්ද්‍ර