දශක තුනක් තිස්සේ අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ චමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය අළලා පළ වන කතාවේ දෙවැනි කොටසයි මේ.
1970 මැතිවරණයේදී හිමි වූ දේශපාලන වරපත තම කනිටු සොයුරු මහින්දට පිරිනැමූ චමල් රාජපක්ෂ මහතාට දෙවැනි වරට ද හිමි වූ අවස්ථාව නැවත හිමිවුණේ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් රාජපක්ෂටය. එහෙත් එසේ වී යැයි කියා චමල්ගේ ඉරණම දේශපාලනයෙන් විතැන් කිරීමට කිසිවෙකු සමත් වූයේ නැත. මුල්කිරිගලට අතුරු මැතිවරණයක් එන්නේ මේ අතරේය. ඒ 1985 යි. එක්සත් ජාතික පක්ෂයේ ඒකාධිකාරී දූෂිත හා ප්‍රචණ්ඩකාරී මැතිවරණ ව්‍යාපාරය හමුවේ මැතිවරණ වර්ජනය කළ යුතුය යන තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වනවිට කටයුතු කර තිබිණි. එය එක්තරා ආකාරයකට දැඩි තීන්දුවකි. එහෙත් එවැනි දැඩි තීන්දුවක් පවා වෙනස් කිරීමට පක්ෂයට පුද්ගල සාධකයක් හේතු විය. ඒ චමල් රාජපක්ෂයි.
ඒ අනුව චමල් රාජපක්ෂ නමැති චරිතය තරග කරන්නේ නම් පක්ෂය සිටියේ ඊට ඉඩ ප්‍රස්ථාව දිය යුතුය යන සුවිශේෂී තීරණයේය. නාම යෝජනා බාරගැනීමේ අවසන් දිනය වූයේ 1985 ජනවාරි මාසයේ අවසාන දිනකය. අවස්ථා දෙකක දී අත්හළ දේශපාලන තීන්දුව මෙවර ගත් රාජපක්ෂ පවුලේ ලොකු අයියා රාජ්‍ය සේවයට ආයුබෝවන් කීවේ නාම යෝජනා පත්‍ර බාර දීමට අවශ්‍ය ලියකියැවිලි ද සකස් කරගනිමිනි. අවශ්‍ය ලියකියැවිලි ද ගෙන ආධාරකරුවන් ද සමග තරුණ චමල් හම්බන්තොට කච්චේරියට ගිය ද නාම යෝජනා බාර ගැනීමේ පරිසරය අමුතු ස්වරූපයක් ගනිමින් තිබෙන බව දැන සිටියේ නැත. ඊට හේතු වූයේ ඊට පෙරදින මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනයකි.
එමගින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා නියෝග කර තිබුණේ මුල්කිරිගල අතුරු මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවය. ඊට හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි හිටපු මන්ත්‍රී ආනන්ද කුලරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහිමිව තිබීමය. ප්‍රජා අයිතිය අහිමි වූවෙකුට මැතිවරණයකට තරග කිරීමට නොහැකිය. ඉතින් කළ යුත්තේ කුමක්දැයි එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගෙන තිබිණි. අතිරේක මැතිවරණ කොමසාරිස්වරයාට කරන්නට තිබුණේ සුළු රාජකාරියකි. ඒ, අදාළ ගැසට් නිවේදනය ගැන චමල් රාජපක්ෂ මහතා දැනුවත් කිරීම විතරය. ආනන්ද කුලරත්න මහතා ප්‍රජා අයිතිය ලබාගැනීම සඳහා අධිකරණයට යෑම විසින් මැතිවරණය පමා කරනු ලැබූ කාලය මාස ගණනකි. ජේ. ආර්. ජයවර්ධනගේ යකඩ මුද්‍රාව විසින් නැවතත් අතුරු මැතිවරණයට අවස්ථාව සලසනු ලැබුවේ 1985 සැප්තැම්බරයේය. 1982 ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුව මහතාගේ ඡන්දය පවා කොල්ලුපිටියේ දී කොල්ලකා තිබූ පසුබිමක මේ පමාව එක් අතෙකින් පුදුමයක් නොවීය. ඒ එවක පැවැති ධාර්මිෂ්ඨ පාලනයේ රඟ සොබාවය. ප්‍රජාතන්ත්‍රවාදයේ හැටිය.
ඡන්ද මධ්‍යස්ථාන 51 කින් 35 ක ඡන්ද ලැබී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. සෙසු ඡන්ද මධ්‍යස්ථානවල දී සිදුවුණේ පැවැති පාලනයේ මැති ඇමැතිවරු ඒවාට අරක් ගැනීමය. ඡන්ද පොළවලට කඩාපාත් වී ඡන්ද පෙට්ටි පිරවීම ඔවුන්ට තවත් ක්‍රීඩාවක් පමණක් විය. නිදහස හා සාධාරණත්වය යන වචන මැතිවරණ ගැන වූ අත්පොත්වලට සීමා වූ පරිසරයේ රජකම් කළේ බලහත්කාරිත්වයත් ප්‍රචණ්ඩත්වයත්ය. මේ බව දත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ කල්තියාම ඡන්දපොළ රාජකාරිවලට පක්ෂයට හිතවත් නීතිඥවරුන් සම්බන්ධ කිරීමය. එහෙත් නීතියේ ආධිපත්‍යයට වඩා අවනීතිය බලවත් වූයෙන් ඔවුන්ට සිදුවූයේ තැලුම් තෙල් ගා ගෙන පැත්තකට වෙන්නටය. එසේ පහර කෑ එක් චරිතයක් වූයේ ප්‍රකට ගී පද රචකයකු ද වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාය. එම ඡන්ද මධ්‍යස්ථානයේ හටගත් ප්‍රචණ්ඩත්වය අවසන් වූයේ පුද්ගලයන් දෙදෙනෙකුට ජීවිත අහිමි කරමිනි. අවසානයේ දී ඊට සොයුරු මහින්දගේ නම ද පැටලිණි. එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටි උඩුගම්පල මහතා ද එම මැතිවරණ ක්‍රියාන්විතයේ සුවිශේෂී චරිතයක් විය. එක්සත් ජාතික පක්ෂයේ සුවච කීකරු මිතුරෙකු වූ හෙතෙම පක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් කළ හැකි සෑම දේම කළේය. එම මැතිවරණයේ දී මැතිවරණ ක්‍රියාවලිය බාරව සිටියේ ජිම් බණ්ඩාරනායක නමැති පොලිස් අධිකාරිවරයෙකි. එහෙත් මැතිවරණයට පෙර දිනයේ රාත්‍රියේ බණ්ඩාරනායකට ලැබුණේ අනපේක්ෂිත ස්ථාන මාරුවකි. ඒ වෙනුවට එ.ජා.පයට අවශ්‍ය සුවච නිලධාරියෝ මැතිවරණ රාජකාරි බාරගත්හ.
ඡන්ද ගණන් කරන අවස්ථාව අපේක්ෂකයාට නිරීක්ෂණය කළ හැකිය. චමල් රාජපක්ෂ මහතා ද ඡන්ද ගණන් කරන ස්ථානයට ගියේ ඒ අනුවය. චමල්ගේ හයියට සිටියේ දකුණේ තවත් සුවිශේෂ දේශපාලන චරිතයක් වූ අමරසිරි දොඩංගොඩය. එහෙත් ඡන්ද ගණන් කිරීමේ අවස්ථාව ද තිබුණේ කල්තියා සූදානම් කර තිබූ සැලැස්මකට අනුවය. ඉහළින් අණ ආවේ එතැන සිටි නිලධාරින්ට රාජකාරියෙන් ඉවත් වෙන්නටය. ඒ වෙනුවට කොළඹ සිට පැමිණි විශේෂ කණ්ඩායමකට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය බාර විය. එසේ පැමිණි කණ්ඩායම බාරව සිටියේ පසුකලෙක ජනාධිපති ලේකම් ධූරය දක්වා පැමිණි ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. ඔස්ටින් ප්‍රනාන්දු යනු චමල් රාජපක්ෂ මහතාගේ මෙන්ම අමරසිරි දොඩංගොඩ මහතාගේ ද පාසල් මිත්‍රයෙකි. තිදෙනාම අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙනි. ඉතින් ඡන්ද ගණින තැන කාර්ය මණ්ඩලය උඩුයටිකුරු වුවද තමන්ට ප්‍රශ්නයක් නොවනු ඇතැයි චමල්ලා සිතූහ. ඒ ගැන වධ වෙන්නට දෙයක් නැත. සැබැවින්ම එය එසේම වීද?
ධාරා අබේගුණවර්ධන
ඡායාරූප අන්තර්ජාලයෙනි