නොවැම්බර් 16 වැනි දිනට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම නොබෝදා සිදුවිය. එහිදී අපේක්‍ෂකයෝ තිස්පස් දෙනෙක් නාමයෝජනා පත්‍ර භාර දුන්හ. හතළිස් එක් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබුණු බව මුලදී කියවුණත් එයින් හය දෙනෙකු නාමයෝජනා භාර දී නැත. මෙතරම් පිරිසක් ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත්ව සිටියද දිනන්නේ එක් අයෙකු බවත් තීරණාත්මක තරඟය පවතින්නේ දෙදෙනෙකු අතර බවත් නොදන්නා කෙනෙක් නැති තරම්ය. එනම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතරය. ජනතා බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාද යම් ප්‍රබල තත්ත්වයක පසුවන බව සත්‍යයකි. එයින් එහාට කව්රු කුමක් කරද්දෝයි සැකයක් ඇතිවීම ස්වභාවිකය.
මෙසේ අපේක්‍ෂක සංඛ්‍යාව වැඩිවීම නිසා මැතිවරණයෙදී රුපියල් මිලියන දහසක් පමණ වැඩිපුර වියදම්වනු ඇති බවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ බව මාධ්‍යවල පළ විය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් තුළ රටේ පුරවැසියෙකුට, අවශ්‍ය සුදුසුකම් ඇත්නම් මෙවැනි තරඟයකට ඉදිරිපත් වීමට ඇති අයිතිය ගැන ප්‍රශ්න කිරීමට කිසි කෙනෙකුට අයිති නැති බව සත්‍යයකි. එහෙත් කිසිඳු ඡන්ද පදනමක් නැති සමහරුන් මෙසේ තරඟයට ඉදිරිපත්වීම නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදාය පවා අනතුරට පත්වීම සහ ජනතා අප්‍රසාදයට ලක්වීමේ අනතුරක් පවතින බවද අමතක කළ යුතු නොවේ. අධික ජීවන බරින් සහ බදු බරින් මිරිකී දෛනික ජීවිතය ගෙවා ගැනීමට මහත් අරඟලයක යෙදෙන ජනතාවක් වෙසෙන රටකට රුපියල් කෝටි සියයක් වැඩිපුර වැයවීම යනු දරාගත නොහැකි බරක් බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ. රට බේරා ගැනීම සඳහා කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව යුද වැදී මිය ගිය රණවිරුවන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් සහ සමහර ඥාතීන්ද අතපය අහිමි වූ රණවිරුවන්ද පසුගිය දිනවල කොටුවේ දුම්රියපොළ ඉදිරියේ වාඩිවී අනුවේදනීය උද්ඝෝෂණයක නියැළෙද්දී බලධාරින්ට ප්‍රතිචාර දැක්වීමට සිදු වූයේ “මුදල් නැති බව” කියමිනි. එවැනි පසුබිමක් තුළ රුපියල් කෝටි පන්දහසක් වැයවෙන ජනාධිපතිවරණයක් සහ වැඩිපුර අපේක්‍ෂකයන් ඉදිරිපත් වීම නිසා රුපියල් කෝටි දහසක් නිකරුණේ වැය කිරීමට සිදුවීම ගැන ජනතාවගේ අවධානය යොමුවීම ස්වභාවිකය. අප මේ ලිපිය මගින් විමසන්නේ මෙරට දේශපාලන ඉතිහාසය තුළ මැතිවරණයන් සඳහා අපේක්‍ෂකයන් බහුලවීමට බලපෑ ප්‍රධාන කාරණයකි. වෙනත් හේතුද නැත්තේ නොවේ.
“බලය විසින් මිනිසා අන්ධ කරනු ලබයි” යනුවෙන් විලියම් ෆේක්ස්පියර් සඳහන් කළේ ස්කොට්ලන්තයේ ඩන්කන් රජුගේ රාජශ්‍රිය සහ නොහොබිනාකම් ගැන සඳහන් කරමිනි. එවැනි වෘන්තාන්තගත රජවරුන් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා වරමින් බලයට පත් වූ අපේ කාලයේ සමහර දේශපාලනඥයන්ද හැසිරුණේ ඒ අයුරිනි. ඒවාට හේතුවූවේ සීමාව ඉක්මවා ගිය අසීමිත බලයයි. එවැනි දේ සමකාලීන දේශපාලන ඉතිහාසයේ කොතෙකුත් දක්නට ලැබේ.
අපි 1970න් පටන් ගනිමු. එම මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව බලයට පත් වූ අය අනුගමනය කළ සමහර ක්‍රියාමාර්ගවල යටි අරුතවූවේ දේශපාලන පළිගැනීම් යයි බොහෝ දෙනා කීහ. එකල පැවති ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය ප්‍රතිවාදීන්ට රිදවීමක් යැයි නිරන්තයෙන් චෝදනා එල්ල වුණි. 1971 කැරැල්ල වැනි ක්‍රියාකාරකම් මත ඇතිවුණු පසුබිම නිසා ප්‍රතිවාදීන් සිරගත කිරීම්, මරාදැමීම්, අතුරුදන් වීම් ආදිය සුලබව සිදුවිය. වගකිව යුත්තන්ගේ අනුදැනුම ඇතිවම සිදුවූවායයි කිව නොහැකි නමුදු පසු පෙළ මන්ත්‍රීන් හෝ ඊටත් පහළ මට්ටමේ ගම්බද සංවිධායකයන්ගේ ඕනෑ එපාකම් අනුව හෝ මෙවැනි දේ සිදුවිය. කල්යාමේදී මෙම තත්ත්වය අතිශයින්ම උග්‍රවිය. කුමන හේතුවක් නිසා හෝ “ඉදිරියට හැමදාම බලයේ සිටින්නේ අපි තමයි” යන, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සහ මැති සබයෙන් බාහිර තරුණ නායකයන්ගේ හැසිරීමෙන් නිතරම පාහේ දක්නට ලැබුණි. 1973 වන විට රටේ බරපතළ ආහාර අර්බුදයක් නිර්මාණය වී තිබුණි. මැද පෙරදිග රටවල පැවති යුදමය තත්ත්වයේ යම් යම් සිදුවීම් පාදක කරගනිමින් තෙල් නිෂ්පාදනය ස්වේච්ඡාවෙන්ම කපාහැරීම නිසා අපේ රටේද තෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. මෙම සියලු කරුණු හේතුකොටගෙන ජනතාවගේ ජීවන බර අතිශයින්ම උග්‍රවිය. රජයට එරෙහි විරෝධතා මාලාවක් සංවිධානය කර දේශපාලන වාසියක් ලබාගැනීමට එ.ජා.ප නව නයක ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අවධානය යොමුව තිබුණි. එය එතෙක් නොතිබූ ආකාරයේ දැවැන්ත ව්‍යාපාරයක් විය. ශ්‍රී ලංකාව පුරා ආසන 150ම එකවිට රැස්වීම් 150ක් පවත්වා තම ශක්තිය රජයට හුවා දැක්වීම ජේ. ආර්. ගේ අරමුණ විය. මෙයට ඉඩ නොඳුන් රජයේ බලවත්තු හදිසි නීතිය උපයෝගී කර ගනිමින් මෙම රැස්වීම් මාලාව තහනම් කරන ලදී. විපක්‍ෂයේ රැස්වීම්වලට පමණක් නොව තම ආණ්ඩුවේම හවුල්කාර සඟයන් වූ ලංකා සම සමාජ පක්‍ෂයේ තරුණ සම්මේලනයේ සංවත්සරය සැමරීම සඳහා පැවැත්වීමට සූදානම් කළ පෙළපාළියක් රජය විසින් අදුරු නීතිය පනවා අවලංගු කරන ලදී. මෙම තත්ත්වයන්ගේ ඉහළම වර්ධනය පෙන්නුම් කරමින් ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් හිස් වූ දැදිගම ආසනයේ අතුරු මැතිවරණ දිනයේ රාජ්‍ය පාක්‍ෂිකයන් විසින් මුදාහරින ලද ප්‍රචණ්ඩත්වය කිසිදා අමතක නොවේ. එදින සමස්ත දැඳිගම ආසනය පුරාම ප්‍රසිද්ධ මාවත්වල පමණක් නොව ගම්වල කුඩා දෙවට පාරවල මංසන්ධිවල රංචු ගැසී සිටි පිට පළාත්වලින් පැමිණි මැර තරුණයෝ යන එන වාහන පරීක්‍ෂා කරමින් සල්ලි බෙදීම් කෙරේ දැයි පරීක්‍ෂාවට ලක් කළහ. රිසි පරිදි ප්‍රතිවාදීන්ට ඔව්හු පහර දුන්හ. එදින රජයේ අපේක්‍ෂකයාට සහාය දීමට දැදිගමට ගොස් සිටි මෙම ලියුම්කරු මෙවැනි සිදුවීම් රාශියක් සියැසින් දුටු බව කිව යුතුය. මෙදින සිදුවූ බරපතළ හෙයියන්මාරුව දැකීමෙන් ජේ. ආර්. මහත් කෝපයට පත්විය. ඔහු යම් කිසි තීරණයක් එදාම ගත්තා විය යුතුය. ඊළඟ මැතිවරණය එළඹෙන විට එහි ප්‍රතිඵල භුක්ති විදීමට තම පාක්‍ෂිකයන්ට අවස්ථාව ලබාදීම පිණිස පොලිසියට දින හතක් නිවාඩු දෙන බව ඔහු කීපවිටක්ම ප්‍රසිද්ධියේ කියා සිටියේය. එම කථාවේ අරමුණවන්නට ඇත්තේ රජයේ බිය ගැන්වීම්වලින් අධෛර්යට පත් විය හැකි තම ආධාරකරුවන් දිරි ගැන්වීම විය හැකිය. එමෙන්ම රජයේ හිතවාදීන් දුර්වල කිරීමද වූවා විය හැකිය. මේ දෙකමද විය හැකිය.
කෙසේ වූවත් 1977 ජූලි 21 වැනි දින පැවති මහා මැතිවරණයෙන් පසු විශේෂයෙන් ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු රටපුරා ඇවිළී ගියේ මහා ගිනි ජාලාවකි. විරුද්ධවාදීන්ගේ ගෙවල් දොරවල් කඩා බිඳ ගිනි තැබූ මැරයෝ එම නිවෙස් තුළ තිබුණු දේපළ කොල්ල කෑහ. උඩුගම්පොළ පිහිටා තිබුණු රෙජී රණතුංග මහතාගේ නිවසට පහර දී විනාශ කරන විට මෙම ලියුම්කරු සිටියේ එම නිවෙස තුළ බැවින් එම අත්දැකීම් ලැබීමට හොඳටම ඉඩ ලැබුණි. එදා කුඩා පාසැල් දරුවන්ව සිටි ධම්මික, අර්ජුන, නිශාන්ත, ප්‍රසන්න, සංජීව සහ රුවන් යන කුඩා දරුවන් මැරයන්ගේ ප්‍රහාරයෙන් තම නිවෙස විනාශ වන ආකාරයට බිය වී ගේ පුරා දිවු ආකාරය මට හොඳින්ම මතකය. ඒ කුඩා දරුවෝ කාලයාගේ ඇවෑමෙන් අද වන විට කීර්තිමත් පුද්ගලයන් බවට පත්ව සිටිති. හැත්තෑහතේ රාජ්‍ය පාලනය ඇරඹුණේ මේ අයුරිනි. පෙර රජයේ වැරදි ක්‍රියාවන්ට පිළිතුරු දීමට මෙවැනි දේ සිදු වූවා විය හැකිය. එහෙත් එය සාවද්‍ය ප්‍රතිපත්තියකි. වරඳ වරදකින්ම නිවැරදි කිරීමේ කලාවක් මේ මිහිපිට නැත. මැතිවරණ පරාජයෙන් පසුව ශ්‍රී.ල.නි.ප ය තම ප්‍රථම රැස්වීම් පැවැත්වූවේ කොළඹ හයිඞ් පිටියේය. හිටපු අගමැතිනිය මුලසුනේ සිටියදීම රැස්වීමට කඩා වැඳුණු මැර පිරිසක් විදුලි පහන් කණුවල බැඳ තිබුණු ශබ්ද විකාශන යන්ත්‍ර කපා ගෙන ගියහ. පිටියේ බැද තිබුණු නිල් කොඩිවැල් කඩා දැමූහ රැස්වීම අසාර්ථක විය.
මෙතැන් සිට බොහෝ දේ සිදුවූවේ මැර බලයෙනි. කම්කරු විරෝධතා මැඩ පැවැත්වූවේ පිහි පහරිනි. නැතිනම් බසියිකල් චේන් පහරකිනි. මෙවැනි ආක්‍රමණවලදී තුවාල ලැබුවෝ බොහෝය. වෘත්තීය සමිති නායක අලෙවි මව්ලානා මහතාට පිහි පහර වැදුණේ කොටුව දුම්රියපොළ ඉදිරියේදීය. තවත් උද්ඝෝෂණයකදී ස.තො.ස සමිති නායකයෙකු මරණයට පත්විය. අසූවේ වැඩ වර්ජනය කළේ දිනකට වැටුප රුපියල් දහයකින් වැඩිකරන ලෙස ඉල්ලමිනි. එහෙත් එයට කන් නොදුන් රජය වර්ජන පිරිස මුළුමනින්ම සේවය හැර ගිය අය ලෙස සලකා කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලය වශයෙන් හැට දහසකට අධික පිරිසක් රැකියා අහිමිව මහ මඟට වැටුණහ. මෙවැනි ඉරණමක් සේවකයන්ට අත්කර දුන් රජයේ එක් බලවතෙකු පැවසුවේ “තවම අලියා වල්ගය සෙලවූවා පමණයි. ඉතිරිය පසුව බලාගතෑකි” යි කියාය මුරණ්ඩුකම රජවූවේ ඒ අයුරිනි.
මෙසේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති රාජ්‍ය බලහත්කාරකම ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වන මැතිවරණ ක්‍රමයටද එල්ලවන්නට පටන් ගත්තේය. 1982 ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීම නිසැක අවශ්‍යතාවක් වුවද එසේ නොකොට පවතින හයෙන් පහේ වැඩි ඡන්දය සහිතව බලය දිගටම රඳවා ගැනීමට බලධාරීහු කටයුතු කළහ. ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ ජනමත විචාරණය උපාය මාර්ගයයි. මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් සේ සලකා පැවැත්වෙන මෙවැනි මැතිවරණයකදී අවශ්‍ය පමණට බලය යෙදීමට හැකි බව පාලකයෝ දැන සිටියහ. ඒ අනුව රිසි පරිදි කටයුතු කළහ. රජයේ පාර්ශ්වය ජනමත විචාරණය ජය ගත්තේය. නොයෙකුත් නීති විරෝධී ක්‍රියා සිය දහස් ගණනින් සිදු වූ බව වාර්තා විය. පසුව නිතුත් කළ, මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වා මහතාගේ වාර්තාවෙන්ම උපුටාගත් පහත සඳහන් කොටසින් ඒ බව මනාව පැහැදිලි වෙයි.
“හොර ඡන්ද දැමූ ඇතැම් අය අත්මිදී ගිය අතර තවත් ඇතැම් අය බලහත්කාරයෙන් මුදවාගෙන ගොස් තිබීම, ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡන්ද දායකයන් විසින් විඳහා පෙන්වීම, අනාරක්‍ෂාව නිසා ඡන්ද මධ්‍යස්ථාන නිරීක්‍ෂකයන් ඡන්ද මධ්‍යස්ථානවලින් ඉවත්ව යාම හා ඇතැම් අවස්ථාවලදී පිටස්තර අය විසින් ඡන්ද මධ්‍යස්ථානවල වැඩ කටයුතුවලට අවහිර කිරීම ආදිය සම්බන්ධයෙන් ජනමත විචාරණයේදී චෝදනා ඉදිරිපත් කර තිබුණි. මෙවැනි චෝදනා බලාපොරොත්තු කඩවූවන්ගේ පොදු ප්‍රකාශන හෝ ද්වේෂ සහගත අදහස් ලෙස පමණක් නිශ්ප්‍රභා කළ යුතු නොවේ. මෙවැනි සිදුවීම් යම් තරමක් දුරට සිදුවී තිබුණේද ඒ තරම් දුරට එම ඡන්ද මධ්‍යස්ථානවල නීතිය හා සාමය කඩ වී තිබුණේය.
දෙමසකට පෙර පවත්වන ලද ඡන්ද විමසීමකදී (ජනාධිපතිවරණය) කටයුතු කළ සමහර අය, එම සංයමය සුළඟේ පාකර හැර නීතියක් නැති හැටියට හැසිරී ඇති බව පෙනේ. නැතහොත් තම තමන්ට ඕනෑ අන්දමට නීතිය උපයෝගී කොටගත හැකියයි සිතූ බවක් පෙනේ.” මේ මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් උපුටාගත් කොටසකි. කෙබඳු තත්ත්වයක් පවතින්නට ඇතිදැයි අනුමාන කළ නොහැකිද? එම වකවානුවේ පැවති අතුරු මැතිවරණ ආදියේදීත් මෙම පාර්ශ්ව කටයුතු කළේ ඡන්ද පවත්වන්නේ තමනට දිනාගැනීමට” යැයි යන අදහස ඇතිවය.
සිදුවීම් මෙසේ පෙළ ගැසෙමින් තිබියදී 1977 මහා මැතිවරණයේදී මින්නේරිය ආසනය දිනාගත් මෙරිල් ද සිල්වා මහතා සහ කුණ්ඩසාලේ මන්ත්‍රී ඩී. ඇම්. චන්ද්‍රපාල මහතාද අභාවයට පත්වීම නිසා එම ආසන දෙකට අතුරු මැතිවරණ දෙකක් පැවැත්වීමට නියමිතව තිබුණි. 1984-10-25 දිනට මෙම අතුරු මැතිවරණය පැවැත්වීමට කටයුතු යෙදුණි. නාම යෝජනා භාර දීමේදී කුණ්ඩසාලේ ආසනයට අපේක්‍ෂකයන් තිස් අට දෙනෙකුත් මින්නේරිය ආසනයට පනස් එක් දෙනෙක්ද ඉදිරිපත්ව සිටියහ. සමානුපාත මැතිවරණ නියෝජන ක්‍රමය ක්‍රියාත්මකව නොතිබුණ එම යුගයේ ඒකල මැතිවරණ ක්‍රමය යටතේ ඉතිහාසයේ විශාලම අපේක්‍ෂක සංඛ්‍යාව ඉදිරිපත්ව තිබුණේ මෙම ආසන දෙකටය.
මේ වකවානුවේ නවතම දේශපාලන තත්ත්වයක් බිහිවී තිබුණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේ පැවති ශ්‍රී.ල.නි.ප ය දෙකඩ වී විජය කුමාරතුංග මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහජන පක්‍ෂය නමින් අලුත් පක්‍ෂයක් පිහිටුවාගෙන ප්‍රබල තැනක සිටියහ. වමේ අනෙකුත් පක්‍ෂ වූ ලංකා සමසමාජ පක්‍ෂය, ලංකා කොමියුනිස්ට් පක්‍ෂය, වාසුගේ නව ලංකා සමසමාජ පක්‍ෂය සහ තවත් ප්‍රගතිශීලි පක්‍ෂ සමග සමගි සන්ධානයක් පිහිටුවාගෙන ජනතා ආකර්ෂණය දිනාගෙන ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්‍ෂයක් වශයෙන් ඉහළින්ම නැගී පැවතුණි. 1984.10.25 දින පැවති මින්නේරිය ආසනයේ ඡන්ද ප්‍රතිඵල මෙසේ සටහන් විය.
නම පක්‍ෂය ඡන්ද
එස්. බී. විජේකෝන් එජාප 19,744
විජය කුමාරතුංග ශ්‍රී.ල.ම.පෙ 10,568
රත්න දේශප්‍රිය සේනානායක ශ්‍රී.ල.නි.ප 6260
පී. බී. විජේකෝන් ස්වාධීන 209
නිහාල් විජේනායක ස්වාධීන 97
චන්ද්‍රලතා සෙනෙවිරත්න ස්වාධීන 84
ජී. බර්ටි ස්වාධීන 81
ඒ. ජී. කපිලරත්න බණ්ඩාර ස්වාධීන 80
නිශ්ශංක වීරසිංහ ස්වාධීන 78
අරුණ ගුණවර්ධන ස්වාධීන 70
ඊ. ඩබ්ලිව්. ජී. විජේබණ්ඩා ස්වාධීන 61
එච්. එම්. යූ. දිසානායක ස්වාධීන 54
සුමනා අමරකෝන් ස්වාධීන 40
එස්. අමරකෝන් ස්වාධීන 36
ඒ. ඇම්. ගාමිණී අදිකාරම් ස්වාධීන 31
එච්. එම්. විජේරත්න ස්වාධීන 31
ඒ. ජී. සිරිවර්ධන ස්වාධීන 26
ජී. ජී. ජයරත්න ස්වාධීන 25
අශෝක විතානගේ ස්වාධීන 23
ආර්. එම්. පුංචි බණ්ඩා ස්වාධීන 21
එල්. චන්ද්‍රසේන ස්වාධීන 21
බන්දුල ගුණසේකර ස්වාධීන 19
අමරසිරි ජයසිංහ ස්වාධීන 19
ආර්. ජයතිලක ස්වාධීන 19
ඒ. ඩබ්ලිව්. ඒ. දයාරත්න ස්වාධීන 18
ඩබ්ලිව්. එම්. ඬේවිඞ් සිංඤෝ ස්වාධීන 17
සී. ප්‍රේමරත්න ස්වාධීන 16
වයි. ජී. පියසේන ස්වාධීන 15
ජේමිස් ආරියවංශ ස්වාධීන 14
ඒ. ජී. ඒ. ජයන්තිරත්න ස්වාධීන 13
පී. ඩබ්ලිව්. එන්. ජයරත්න ස්වාධීන 13
ජී. ඩබ්ලිව්. එන්. ධර්මකීර්ති ස්වාධීන 12
ආර්. ඇම්. ජී. ජයතුරා ස්වාධීන 11
එස්. ඒ. ආරියවර්ධන ස්වාධීන 10
ඒ. ජී. ඩී. බණ්ඩා ස්වාධීන 09
ආර්. එම්. නවරත්න ස්වාධීන 09
ඩී. නිමල් විජේසිංහ ස්වාධීන 09
ජේ. කේ. ඇන්තනී පෙරේරා ස්වාධීන 08
ධර්මසේන ලියනගේ ස්වාධීන 08
ආර්. විජේසිංහ ස්වාධීන 08
එස්. ජී. ඩී. වීරකෝන් ස්වාධීන 08
වෝල්ටර් ඩයස් ස්වාධීන 07
වයි. ජී. විජේරත්න ස්වාධීන 06
ආර්. ජයසිංහ ස්වාධීන 06
මහින්ද පී. විතානගේ ස්වාධීන 06
එස්. ඒ. විමලසේන ස්වාධීන 06
පී. එෆ්. ජයවර්ධන ස්වාධීන 05
නාරද නිශ්ශංක ස්වාධීන 05
ඇම්. ඒ. හේවා ජයවික්‍රම ස්වාධීන 04
එම්. ලයනල් පෙරේරා ස්වාධීන 04
එම්. ඒ. අප්පුහාමි ස්වාධීන 02
වැඩි ඡන්ද 9176
මෙම සිදුවීම සම්බන්ධව මගේ පෞද්ගලික අත්දැකීමක්ද තිබේ. එනිසා එම කථාව කෙටියෙන් මෙසේ සටහන් කරමි. පක්‍ෂයේ දේශපාලන කටයුතු සඳහා නිතර කාලය යෙදවූ අපි ඒ වන විට විජය කුමාරතුංග මහතා දැන හඳුනාගෙන සිටියෙමු. රජයට එරෙහි බලවේගයේ ප්‍රධානියා ඔහු බවත් මේ සියලුම කටයුතු කෙරෙන්නේ ඔහුගේ මෙහෙයවීම මත බවත් අපි දැන සිටියෙමු. එනිසා ඉඩපාඩු ඇති අවස්ථාවක් බලා මෙසේ වාර්තාගත ස්වාධීන අපේක්‍ෂක පිරිසක් ඉදිරිපත් කිරීමේ අරමුණ කුමක්දැයි මම විජයගෙන් විමසුවෙමි.
“ඇයි මල්ලී ඡන්දපොළේ ඡන්ද පෙට්ටි රැකගන්න බෑ. මැරයෝ පැනලා කොල්ල කනවා. ගණින මධ්‍යස්ථානෙදිත් එහෙමයි. දැන් අපේක්‍ෂකයොම පනහක් අපි එක්ක ඉන්නවා. එක අපේක්‍ෂකයෙකුට ඡන්ද පොළකට නියෝජිතයො පස්දෙනා ගණනේ දාන්න පුළුවනි. මේ ක්‍රමයෙන් හරි ඡන්ද ටික බේරාගන්න පුළුවන් වුණොත් ඒ ඇති. “විජය පිළිතුරු දුන්නේය. කෙසේ වූවත් මින්නේරි සටනින් විජය පරාජයට පත්විය. ඉහත සඳහන් කළ ඡන්ද ප්‍රතිඵලයෙන් සවිස්තරව එය දැක්වේ. පාර්ලිමේන්තු මැතිවරණවලදී අපේක්‍ෂකයන් තොග ගණන් වැඩිවුණේ ඒ ආකාරයටය.
ජනාධිපති අපේක්‍ෂකයන් වැඩිවීමේ කතාන්දරය වෙනම එකකි. නීතියට අනුව මේ සෑම අපේක්‍ෂකයකුම සමානයින් ලෙස සැලකේ. ප්‍රධාන අපේක්‍ෂකයන්ට ලැබෙන සියලු වරප්‍රසාද මේ අයටද හිමි වේ. යම් කිසි සීමාවකට තැපැල් පහසුකම්, ජනතාවට තම ප්‍රතිපත්ති පැහැදිලි කිරීම සඳහා ගුවන් විදුලි කාලපරිච්ඡෙද කීපයක්, රූපවාහිනී කාල පරිච්ඡෙද කීපයක් ආදී වශයෙනි. මෙම වරප්‍රසාද යම් කිසි ප්‍රධාන අපේක්‍ෂකයකුට ලබාදෙන අවස්ථා අපි අතීතයේදී දැක ඇත්තෙමු. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් සමහර ජනාධිපතිවරු මෙම අපේක්‍ෂකයන් තම කාර්ය මණ්ඩලවලට බඳවා ගනිති. ජනාධිපති උපදේශක සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරුන් වශයෙන් හසුව මෙවැන්නෝ පත්වීම් ලබති. යාන වාහනද වෙනත් වරප්‍රසාදද සහිතව ඉලක්කම් හතරේ පහේ සුවිශාල වැටුප් තල ඇතිව මෙවැන්නෝ එම ජනාධිපති නිල කාලය තුළ සුරසැප විඳිති. මෙවර ස්වාධීනව ඉදිරිපත්වන අපේක්‍ෂකයන් මෙවැනි අයයැයි අපි නොකියමු. එහෙත් අතීතයේදී මෙවැනි දේ සිදුවී තිබෙන බව අපි දනිමු. අතළොස්සක් හෝ මෙවැනි අයද අප අතර සිටිති. ජාතික ධනය රුපියල් කෝටි සිය ගණනින් විනාශ කරනුයේ මෙවැනි අයයි. නුදුරු අනාගතයේම මේවාට වැට බැඳෙන නීති සකස් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කටයුතු කරනු නිසැකය. නොඑසේ නම් මැතිවරණ පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයද යම් පමණකට හෑල්ලු වන බව නම් පැහැදිලි කරුණකි.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි