අභයාරාමයෙන් දුරකථන ඇමතුමක්


 ගතවූයේ විනාඩි දහයකටත් අඩු කාලයකි. ඒ සමගම අභයාරාමයේ දුරකථනය හැඬවුනෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ඊට පිළිතුරු දුන්නේය. එම දුරකථන ඇමතුම ලැබී තිබුණේ ජනාධිපතිතුමාගේ බ්‍රෙමාර් නිවසෙනි. අනතුරුව ආනන්ද හිමියන් දුරකථන රිසිවරය ගෙන කන තබා ගනිත්ම එහා කෙළවරේන් ඇසුණු ගොරහැඩි කටහඬ උන්වහන්සේ එසැණින් හඳුනා ගත්තේය.
 
 ”ඇයි ඔබවහන්සේ මට කතා කෙරුවේ?”
 
”ජනාධිපතිතුමා මම ඔබතුමාට කතා කෙරුවෙ වැදගත් කාරණාවකට. අර තී‍්‍රමාවිතාරණගේ දේහය වෛද්‍ය විද්‍යාලයට ගෙනියන්න ශිෂ්‍යයන්ට අවශ්‍ය වෙලා තියෙනවා. ඒත් පොලිසියයි හමුදාවයි ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒ ශිෂ්‍යයන් ඉන්නේ ලොකු ආවේගයකිනුයි. මෙහෙම ගියොත් මේ ප‍්‍රශ්නය කොතැනකින් කෙළවර වේදැයි හිතාගන්නවත් බෑ. ඒ නිසා තී‍්‍රමා විතාරණ ශිෂ්‍යයාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට ගෙනයන්න ඔබතුමාගේ අවසරය ගන්නයි අපට  ඕනෑ” යි කී ආනන්ද හිමියෝ ශිෂ්‍යයන්ගේ අරමුණ ඉටු නොවුණු හොත් ඔවුන් විසින් ගැනීමට යන බිහිසුණු තීරණය ගැනද ජනාධිපතිවරයාට කෙටියෙන් පැහැදිලි කළහ.
 
 උන්වහන්සේ එසේ කී විට මොහොතක් නිහඬව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා යළි තම කටහඬ අවදි කළේය.
 
 ”හාමුදුරවනේ ඔය ගැන අද මට කීපදෙනෙක්ම කතා කෙරුවා. ඒත් මම ඒ ගැන කිසිම උත්තරයක් දුන්නෙ නෑ. කොහොම වුණත් ඔබවහන්සේගේ ඉල්ලීමට ඒ අවසරය දෙන්න මම කැමතියි. ඒත් හාමුදුරුවනේ ඊළඟට සිද්ධවෙන දේවල් ගැන කවුද වග කියන්නේ.?”
ජේ.ආර්. ගේ ඒ කතාව ඇසූ ආනන්ද හිමියන්ට පුදුම හිතුණේ අතිශය දරදඬු පුද්ගලයෙකුවූ ඔහු තමන්ගේ අදහසට එකඟවීම ගැනය. ඔහු විසින් මතු කළ ප‍්‍රශ්නය සිසුන් ලවාම විසඳාගත හැකි යැයි ඒ සමගම උන්වහන්සේට සිතුණි.
 
 ‘‘ජනාධිපතිතුමා ඔය කියන විදියේ වගකීමක් ගන්න මට අමාරුයි. ඒත් ඔය ප‍්‍රශ්න ඒ ශිෂ්‍යයන් ලවාම විසඳාගන්න බැරිවෙන එකක්  නෑ.ෟ යි. ඊට පිළිතුරු වශයෙන් ආනන්ද හිමියන් කී විට ඒ ගැන සාකච්ඡුා කිරීමට වගකිව යුතු කෙනෙකු ඉක්මනින්ම අභයාරාමයට එවීමට පොරොන්දු වූ ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කළේය.
 
ඒ වනවිට වෙලාව රාතී‍්‍ර 8.30ත් පසුවෙමින් තිබුණේය. විශේෂයෙන්ම දිනේෂ් සහ රාජිත කලබලවී සිටියේ එදින රාතී‍්‍ර 12.00ට පෙර අදාළ අවසරය නොලැබුණහොත් ශිෂ්‍යයන් විසින් ගැනීමට යන බරපතළ තීරණය ගැන මනාව දැන සිටි බැවිනි.
 
 ඊළඟ විනාඩි දහය ඇතුළත සන්නද්ධ රථ දෙකක් පිරිවරාගෙන ජිප් රියකින් යුද හමුදාවේ උසස් නිලධාරීහු දෙදෙනෙක් අභයාරාමයට පැමිණියහ. එයින් එක් අයකු වූයේ එවකට බි‍්‍රගේඩියර් වැනි තනතුරක් දැරූ විජය විමලරත්නය.
 
 උද්ගතවෙමින් තිබෙන තත්ත්වයේ බරපතළකම ගැන දිනේෂ් සහ රාජිත පැහැදිලි කරද්දී හමුදා නිලධාරීන් දෙපළ කළේ සංසුන්ව ඊට සවන්දීමය. අනතුරුව ‘‘එහෙමනං ස්වාමින් වහන්ස අපි වෛද්‍ය විද්‍යාලය පැත්තට ටිකක් ගිහින් බලමුද? යි  හමුදා නිලධාරිහු ආනන්ද හිමියන්ගෙන් විමසා සිටියහ.
 
 ආනන්ද හිමියන් ඊට එකඟත්වය පළකර හමුදා ජීප් රියට ගොඩවූයේ රාජිත සේනාරත්න මහතාද සමගය. දිනේෂ් ගුණවර්ධන සහ සුනිල් රත්නපි‍්‍රය දෙපළ විහාරස්ථානයේ රැඳී සිටියහ. 
 
ආනන්ද හිමියන් ඇතුළු පිරිස කිංසි පාරේ පිහිටි වෛද්‍ය විද්‍යාලය වෙත  යනවිට එහි පැවතුණේ මුද්‍රණ ආයතනයක් තුළ පවතින්නාක් වැනි තත්ත්වයකි. සරසවි සිසුන් අතිවිශාල පිරිසක් එහි රැුස්ව සිටි අතර පෝස්ටර්, කටවුට්  සහ බැනර් එහි තැන් තැන්වල ගොඩගසා තිබුණේය. තවත් පිරිසක් සිිටියේ සුදු පැහැති රැුළි පාලම් සහ කොඩි වැල් සකස් කරමිනි.
 
 එම පිරිස අතර සිටි කොල්ලූරේ නමැති වෛද්‍ය ශිෂ්‍යයෙකු තමන් අසලට පැමිණි ආනන්ද හිමියන් දැක හුන් තැනින් නැගී සිටියේය.
 ‘‘ආ.... මොකද හාමුදුරුවනේ අපි ටික කුදලගෙන යන්නද මේ හමුදාවේ මහත්වරුන් එක්ක මේ පැත්තේ. ආවේ.?’’  යි ඇසූ ඔහු ආනන්ද හිමියන් දෙස බලා වියරු සිනාවක් පෑවේය.
 
 
 ‘‘ අනේ නෑ දරුවො අපි මේ ආවේ ඔය ළමයින්ට උදව්වක් කරන්න පුළුවන්ද කියලා බලන්නයි’’ 
 
උන්වහන්සේ එසේ කී විට ඔවුන් වටකරගත් සිසු පිරිස කියා සිටියේ තම සගයාගේ දේහය වෛද්‍ය විද්‍යාලය වෙත ගෙනැවුත් අවසන්  ගෞරවය දැක්වීමට ඉඩ ලබා දෙන ලෙසයි.
 
 ‘‘හරි ළමයිනේ ජනාධිපතිතුමා දැන් ඒ අවසරය දුන්නා. හැබැයි  කිසිම කලබලයක් නොකරන බවට ඔය ළමයිනුත් පොරොන්දු වෙන්න  ඕනෑ......ෟ ’’ කී ආනන්ද හිමියන් ඇතුළු හමුදා නිලධාරින් දෙපළ ආපසු පැමිණියේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පූර්ණ අවසරය පරිදි තී‍්‍රමාවිතාරණ ශිෂ්‍යාගේ දේහය වෛද්‍ය විද්‍යාලය තුළට ගෙනවුත් අවසන් ගෞරවය දැක්වීමට  සිසුන්ට ඉඩ සලසා දෙමිනි.
 මේ අතර ඝාතනයට ලක්වූ වෛද්‍ය ශිෂ්‍යයාගේ අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳ වගකීම භාරගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය  ශිෂ්‍ය බල මණ්ඩලය ද එක්තරා කොන්දේසියක් රජයට ඉදිරිපත් කර තිබුණි. ඔවුන්ගේ එම පූර්ව කොන්දේසිය වූයේ  තී‍්‍රමාවිතාරණ ශිෂ්‍යයාගේ දේහය වෛද්‍ය විද්‍යාලයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති කාලය තුළ හා එම අවසන් කටයුතු සිදුකෙරෙන කනත්ත ප‍්‍රදේශයේ සහ එම මග දෙපස කිසිදු හමුදා ආරක්‍ෂාවක් නොයෙදිය යුතු බවය. රජයේ පාර්ශ්වයෙන් ඒ සඳහාද අනුමැතිය ලැබී තිබුණේය.
 
 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් තමන්ගේ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් ලැබීම ආනන්ද හිමියන් ඇතුළු පිරිසට  ඉමහත් අස්වැසිල්ලක් විය. එසේ වූයේ එම අවසරය ලැබීමට තවත් සුළු වේලාවක් හෝ ප‍්‍රමාද වූවා නම් සිදුවන්නට තිබූ  විනාශයේ බරපතළකම ඔවුන් හොඳාකාරවම දැන සිටි බැවිනි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු වෛද්‍ය ශිෂ්‍ය පිරිස ඊට පසුදාම ශ්‍රීමාවිතාරණ ශිෂ්‍යයාගේ දේහය වෛද්‍ය විද්‍යාලය වෙත රැුගෙන ආවේය. මහජන ගෞරවය සඳහා එහි දින කීපයක් තැන්පත් කර තැබුණු දේහය පිළිබඳව අවමංගල්‍ය උත්සවය බොරැුල්ල කනත්තේදී සිදුකෙරුණේ ලක්‍ෂයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙනි.
 
 එහිදී දකින්නට ලැබුණු සුවිශේෂි ලක්‍ෂණය වූයේ වෛද්‍ය විද්‍යාලයේ සිට කනත්ත දක්වාම මග දෙපස කිසිදු පොලිස් හෝ හමුදා නිලධාරියෙකු රඳවා නොසිටීමයි. එම මග දෙපස මෙන්ම කනත්තේ පැවැති අවමංගල්‍ය උත්සවය අවසන් වනතුරුම එහි ආරක්‍ෂාවට සිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පමණි.
 
 
 
 
 
නිහාල් ජගත්චන්ද්‍ර