අමතක නොකළ යුතු සුන්දර මතකය පෙරී සුන්දරම්


අද අප රටේ සිටින නායකයින් යැයි කියා ගන්නා මිනිසුන්ගේ භේදකාරී හා අදූරදර්ශී ක්‍රියාකාරකම් හමුවෙහි 1946 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් ද්විත්ව රාජ්‍ය පාලන ක්‍රමය (Bi-Cameral Legislature) යටතේ පළමුවරට පත්වූ සෙනෙට් සභා මන්ත්‍රී හා එහි උප සභාපති වූ පෙරී සුන්දරම් කම්කරු නායකයා හා මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන් අතර වූ ලිපි ගනුදෙනුවක් කෙරෙහි වර්තමාන නායක කාරකාදීන්ගේ අවධානය යොමු කරවීම මෙම ලිපියෙහි අරමුණය. 


පෙරී සුන්දරම් යනු මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ආසනයේ ‘නෙල්ලිමලේ’ වතුයායේ වතු ලයිමකදී කන්කානි කෙනෙකු වූ පෙරිය අන්නන් හා මීනච්චි දෙපලට දාව උපන් කුලුඳුල් දරුවාය. අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරන සමයෙහි උපන් මේ දරුවා ඉන් පසුව කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධි ලත් අප රටේ මෙතෙක් පහළ වූ සියලුම කම්කරු නායකයින් හෝ සුළු ජන නායකයින් යැයි කියා ගන්නා සියලු ජාතික දේශපාලන නායකයින් අබිබවා ගිය අද වනතුරුත් ඔහුට සමාන වූ කිසිම දේශපාලන නායකයකු පහළ නොවූ ශ්‍රේෂ්ඨ ආදර්ශමත් චරිතයකි. 


ඒ ගැන කරුණු සඳහන් කිරීම පසුවට තබා මා මුලින් සඳහන් කළ ලිපි ගනුදෙනුව ගැන පාඨකයාගේ අවධානය යොමු කරවමි.
ඩී. එස්. සේනානායක මැතිතුමා පෙරී සුන්දරම් සෙනෙට් මන්ත්‍රීතුමාගේ පත්වීම ගැන සිය ප්‍රසාදය හා සුබපැතුම් එක් කරමින් ඔහුගෙන් ඉල්ලා සිටියේ අපේ රටේ ජනතාවගේ දුගී බව තුරන් කර සුඛිත මුදිත හා ප්‍රීතිමත් සමාජයක් බවට පත්කිරීමට සෙනෙට් සභාවේ සහයෝගය ලබා දෙන ලෙසය. පෙරි සුන්දරම් එයට පිළිතුරු යවමින් සේනානායක මැතිඳුන් වෙත කියා සිටියේ තමාගේ සහයෝගය ලංකා වැසියන් සුඛිතමුදිත හා ප්‍රීතිමත් ජනතාවක් බවට පත් කිරීමට නොමසුරුව ලබාදෙන බවය. ඔහු තවදුරටත් සඳහන් කළේ සහයෝගයෙන් වැඩ කිරීමෙන්  තව තවත් සහයෝගය වර්ධනය වනවාක් මෙන්ම අප රටේ සියලු දෙනාම සහයෝගයෙන් වැඩ කරන්නේ නම් රට සෞභාග්‍යමත් වනවා මෙන්ම සියලු දෙනාටම ප්‍රීතියෙන් හා සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ඇතිවන බවත් ඒ සඳහා රට පාලනය කිරීමේදී හැකිතාක් දුරට එකඟතාව වර්ධනය කර ගැනීමය. (මෙම ලිපි රාජ්‍ය මන්ත්‍රණ සභා හැන්සාඞ් වාර්තාවල අඩංගු වේ.) 


ලංකාවට නිදහස දිනා ගැනීමේ සටනට 1916 දී සර්. පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම් දෙසොහොයුරෝ, ඩී. එස්. සේනානායක, සර් බාරොන් ජයතිලක, ඊ. ඩබ්. පෙරේරා ආදී සියලුම නායකයින් සමග එක් වී නිදහස ලබාදීමේ සටන දියත් කළෝය. එදා සිටි නායකයෝ ජාතික නායකයන්ය. ඔවුහු අද මෙන් වර්ගවාදී ජාතිවාදී ආගම්වාදී පක්ෂවාදී නොවූහ.


පෙරී සුන්දරම් සටන් කළේ ඉන්දීය වතු කම්කරුවන් වෙනුවෙන් නොව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ විමුක්තිය සඳහාය. අද මෙන් ඉන්දීය වතු දෙමළ, උඩරට දමිළ, කොළඹ දමිළ, මඩකළපුව මුස්ලිම්, නැගෙනහිර මුස්ලිම්, උඩරට මුස්ලිම්, මුහුදුබඩ මුස්ලිම්, යාපනය වෙල්ලාල දමිළ, කරා දමිළ ආදී විවිධ වශයෙන් ජනතාව භේද කොට බලය ලබා ගැනීමට එදා සිටි ජාතික නායකයන් අනුබල දුන්නේ නැත. එම නිසා සංහිඳියාවට වෙනම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ වැඩසටහන් අවශ්‍ය නොවීය. පෙරී සුන්දරම් ජන නායකයා කවුද යන්න නොදන්නා අයට ඔහු පිළිබඳව මේ සටහන තබමි. 


පෙරි සුන්දරම් ළදරුවා මෙළොව එළිය දකින විට වර්ෂ 1815 සිටම ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් විය. එදා පැවති වතුකරයේ ළදරු මරණ අනුපාතය ඉතා ඉහළ අගයක් ගත්තේ අප රටේ සෞඛ්‍ය සේවාවේ පැවැති දුර්වල තත්ත්වය නිසාය. අදත් ලංකාවේ ඉහළම ළදරු මරණ අනුපාතය වාර්තා වන්නේ වතු ජනතාව අතරිනි. නමුත් පෙරී සුන්දරම් ළදරුවා නිරෝගීව වතු ලැයිමක හැදී වැඩුණේ ඔහුගේ දෛවය අනුව උපතින්ම ගෙනා වාසනා ගුණය නිසාය. ඔහු තම සහෝදර වතු කම්කරු ජනතාව බිල්ලට දී තමාගේ බලය හෝ ඥාති  පරපුර පොහොසත් කළ නායකයකු නොවීය.


මඩොල්කැලේ වතු ලැයිමකදී ලංකාවට රන් කහවණු උපයා දුන් කම්කරු ලයිමේ ඉපිද ආරම්භ කළ ඔහුගේ දිවි ගමනේදී හමුවූ සියලුම බාධක හා අවහිරතා මැඩ ගත්තේ අධිෂ්ඨානශීලීව අප්‍රතිහත ධෛර්යෙන් ජීවිතයට මුහුණ දීමෙනි. පවුල් බලයක් හෝ පැලැන්තියක සම්බන්ධයක් නොතිබූ මේ වතු කම්කරු පුත්‍රයා මඩොල් කැලෙන් 1913 දී එකල ලෝක නායකයන් බිහිකරවූ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් හා කේම්බි්‍රජ් විශ්ව විද්‍යාල දෙකෙන් එකක් වූ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම් වාසනාවන්ත විය. ඔහු මොනතරම් දක්ෂයෙක් වූයේද යත් කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති හා ඉන්දීය මජිල් සංගමයේ උප සභාපති ද එමැනුවෙල් නීති සංගමයේ උප සභාපති හා දෙවරක්ම කේම්බි්‍රජ් විශ්වවිද්‍යාල කොමිටියට ද තේරී පත්විය. මොහු මාස තිස් තුනක් (33ක්) වැනි වූ කෙටි කාලයක් තුළ දී ඊ්ල ඛඛඊ උපාධි සමත්ව බැරිස්ටර්වරයකු වශයෙන් එංගලන්තයේදී වෘත්තීය දිවිය ඇරඹීය.


ඔහු එවකට මොහන්දාස් ගාන්ධි නමින් හැඳින්වූ මහත්මා ගාන්ධි පසු කලෙක ඉන්දියාවේ ජනාධිපතිවරයකු වූ වී. වී. ගිරි ආදීන් සමග ඉන්දීය නිදහස් සටනටද සහයෝගය ලබා දුන්නේය. 1916 ලංකාවට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණයේ අද්වකාත්වරයකු ලෙස මෙරට වෘත්තීය දිවිය ආරම්භ කළේය. ලංකාවේදී ද නිදහස් අරගලයට උරදී  සටන් ඇරඹීය. 


අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධව පැන නැගුණු යටත් විජිත වැසියන්ගේ උද්ඝෝෂණය නිසා බි්‍රතාන්‍ය  පාලකයින් ලංකාවේ පාලනයට වෙනසක් අවශ්‍ය බව අවබෝධ කර ගනිමින් 1928 පත් කරන ලද ඩොනමෝර් කොමිසම ජනතාවගෙන් නිර්දේශ ලබා ගත්තේය. එම කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුව සර්වජන ඡන්ද බලයෙන් 1931 එවකට පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවට :ීඕඔෑ ඣඹභක්‍ඛෑ* නිතරඟයෙන් පත් වූයේ හැටන් කොට්ඨාසයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙසිනි.


එවකට දුම්රියේ පළමුවැනි පන්තියේ ගමන් කළ හැකිව තිබුණේ සුදු හමක් තිබු අයට පමණි. පෙරී සුන්දරම් පළමුවැනි පන්තියේ ගමන් බලපත්‍රයක් මිලදී ගෙන දුම්රියට ගොඩ වුවත් ඔහුට එහි ගමන් කිරීමට අවකාශ නොදෙන ලදී. මෙම අසාධාරණයට විරුද්ධව, ඔහු නඩු මගට බැස්සේය. තමා සතුව තිබූ පුළුල් දැනීම, නීතියේ දක්ෂයකු ලෙස එංගලන්තයේදී ලද අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ඔහු නඩුවෙන් ජය ගත්තේය.


එදා ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට ප්‍රථම වරට කළු ජාතිකයෙක් කම්කරු ඇමැති ලෙස පත් කිරීමට ද සිදුවිය. ලංකාවේ ප්‍රථම වතාවට කම්කරු වන්දි පනත කම්කරු වෘත්තීය අයිතිවාසිකම් පනත, නව කම්කරු වැටුප් ආඥා පනත ආදිය ඔහු සම්මත කර දුන් පනත්ය.


සෝල්බරි කොමිසම හමුවේද කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුන්වා දුන් ව්‍යවස්ථාවෙන් ද මහජන සේවයට පත් වු අයුරු මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කර ඇත. එවකට කම්කරු කොමසාරිස් වූ බි්‍රතාන්‍ය සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කළු ජාතික අමාත්‍යවරයෙක් යටතේ සේවය කිරීමට සිදුවිය. මෙම ජාතික නායකයා වෙනුවෙන් සමරු මුද්දරයක් හෝ නිකුත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. 

 

 


(2012 මැයි 10 ඬේලි නිවුස් පුවත්පතේ පළවු ලිපියක් ආශ්‍රයෙනි)

 

 

 

 

 

 

 

 

 


ඇස්. බී. කරලියද්ද