ශ්‍රී ලංකාවේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වූයේ 1936 දීය. එවකට මෙරට තිබූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 50 කි. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් නියෝජිතයන් තොරා පත්කර එවීම සඳහා මෙරට ඡන්දදායකයන් හත් ලක්ෂ අට දහසක් සුදුසුකම් ලැබ සිටියත් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයෝ ලක්ෂ 21 ක් ලියාපදිංචිව සිටියහ. මහජන ඡන්දයෙන් තේරි පත් වූ මන්ත්‍රීවරු 1936 මාර්තු මස 16 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මුල් වරට රැස් වූයේ ශ්‍රීමත් වෛත්‍යලිංගම දොරේසාමි මහතාගේ සභාපතිත්වයෙනි.
ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරුන් අතරින් 5 දෙනෙකුටත් අණ්ඩුකාරවරයා විසින් රාජ්‍ය සභාවට පත් කළ මන්ත්‍රීවරුන් අතරින් තිදෙනෙකුටත් එරෙහිව අල්ලස් චෝදනා එල්ල වීම දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේ සිදු වූ සුවිශේෂම සිදුවීම විය. මෙම මන්ත්‍රීවරුන් අල්ලස් ගත් බවට ඔප්පු වී ඇතැයි අනාවරණය වන්නේ 1943 අප්‍රේල් 03 වැනිදා රාජ නීතිඥ එල්. එම්. ඩී. ද සිල්වා මහතා ආණ්ඩුකාරවරයා වෙත භාරදුන් අල්ලස් කොමිසන් සභා වාර්තාව මගිනි.
චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන් මෙසේය.
කළුතර මන්ත්‍රී චාල්ස් බටුවන්තුඩාව, නුවරඑළිය මන්ත්‍රී ඊ. ඩබ්ලිව්. අබේගුණසේකර, බණ්ඩාරවෙල මන්ත්‍රී ඩී. ඩී. ගුණසේකර, බළන්ගොඩ මන්ත්‍රී එච්. ඒ. ගුණසේකර, ත්‍රිකුණාමලය මඩකළපුව මන්ත්‍රී ඊ. ආර්. තම්බිමුත්තු සහ ආණ්ඩුකාරවරයා විසින් පත් කළ මන්ත්‍රීවරුන් වූ එම්. ඊ. නිවුන්හැම්, එච්. එෆ්. පාර්පිට්, ඊ. සී. විලියර්ස් වෙති.
බණ්ඩාරවෙල මන්ත්‍රී ඩී. ඩී. ගුණසේකර මහතාට එල්ල වූ චෝදනාව වූයේ නෙල්සන් නමැති බස් සමාගම වෙනුවෙන් බස් රථ අයිතිකරුවන් දෙදෙනෙකුගෙන් රුපියල් 25 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවයි. මන්ත්‍රීවරයා නිතරම අල්ලස් ගන්නා අයකු බව පෙනී යන බවද ඉහත චෝදනාව ඔප්පු වී යැයි ද අල්ලස් කොමිෂන් සභාවෙන් නිගමනය කර තිබිණි.
එකල වතු අයිති ඉංග්‍රීසි ජාතිකයන්ගේ බල පරාක්‍රමය බිඳ හෙළමින් හා හිටපු සුදු ජාතික මන්ත්‍රී පැලෝස් ගෝඩන් වැඩි ඡන්ද 9372 කින් පරාජයට පත් කරමින් බණ්ඩාරවෙල ආසනය දිනා ගත්ත ද ඩී. ඩී. ගුණසේකර මන්ත්‍රීවරයාට රුපියල් 25 ක් හේතුවෙන් සිය ධුරය හැර යන්නට සිදු වීම කිසිවකු බලාපොරොත්තු වූවක් නොවීය. ඔහු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සභාපතිත්වයෙන් යුතු අධ්‍යාපන විධායක කාරක සභාවේ සභිකයෙක් ද විය.
කළුතර මන්ත්‍රී චාල්ස් බටුවන්තුඩාව මහතාට එල්ල වූයේ අරක්කු රේන්දකරුවන්ගෙන් රුපියල් 2000 ක් ලබා ගැනීමේ චෝදනාවයි.
එයද ඔප්පු වී යැයි එම වාර්තාවේ සඳහන්ය. බටුවන්තුඩාව මන්ත්‍රීවරයාද ඩී. බී. ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතු ස්වදේශ කටයුතු පිළිබඳ විධායක සභාවේ සභිකයෙක් ලෙස කටයුතු කළේය.
ත්‍රිකුණාමලය මඩකළපුව රාජ්‍ය මන්ත්‍රී ඊ. ආර්. තම්බිමුත්තු මහතාත් බළන්ගොඩ රාජ්‍ය මන්ත්‍රී එච්. ඒ. ගුණසේකර මහතාත් නැගෙනහිර මාතලේ ප්‍රදේශයේ රටේ මහත්තයා තනතුරට එල්. බී. අත්තනායක නමැත්තකු පත් කිරීම සඳහා මුදලින් අල්ලස් ගත් බවට වූ චෝදනාව ද ඔප්පු වී යැයි රාජ්‍ය නීතිඥ ඇල්. ඇම්. ඩී. ද. සිල්වා මහතා සිය වාර්තාවේ සඳහන් කර ඇත. තම්බිමුත්තු මහතා ගත් මුදල රුපියල් 250 ක් ද 750 ක් ද යන්න පැහැදිලි නැති බවත් එහි සඳහන්ය. තම්බිමුත්තු මන්ත්‍රීවරයා එවකට ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු පළාත් පාලන විධායක කාරක සභාවේ සාමාජිකයෙකි. ගුණසේකර මන්ත්‍රීවරයා ස්වදේශ කටයුතු පිළිබඳ විධායක සභිකයෙක්ව සිටියේය.
නුවරඑළිය මන්ත්‍රී ඊ. ඩබ්ලිව්. අබේගුණසේකර මහතා රුපියල් 500 ක අල්ලසක් ගත් බව ඔප්පු වී යැයි ද ඔහු අන් මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමට මඟ පෑදු මූලිකයා බව හෙළි වූයේ යැයි ද අල්ලස් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.
ආණ්ඩුකාරවරයා විසින් පත් කළ සුදු ජාතික මන්ත්‍රීවරුන් තිදෙනාට එරෙහි අල්ලස් චෝදනා මීට වඩා වෙනස්ය. එනමුත් අල්ලස් යන වචනයෙහි අදහස අනුව ඔවුන් තිදෙනාට එරෙහි චෝදනාවලට ද ඔවුන් වරදකරුවෝ කරනු ලැබූහ.
එච්. ඊ. නිවුන්හැම් මහතාට එල්ල වූ චෝදනාව වූයේ යුරෝපීය වෙළෙඳ සංගමයේ අදහස් විධායක මණ්ඩලය ඉදිරියේ පැවැසීමට එම සංගමයෙන් මුදල් ලබා ගැනීමයි.
ඒ සඳහා නිවුන්හැම් මහතාට මසකට රුපියල් 2000 ක් ද ඒ මහතාගේ ලේකම්වරයකුට මසකට රුපියල් 200 ක් ද ගෙවා තිබෙන බව ඔප්පු විය. එහෙයින් ඉහත කාරණයම අල්ලස් ගැනීම යැයි පැවැසීමට ප්‍රමාණවත් බව කොමිසමෙන් කියැවිණි.
ඊ. සී. විලියර්ස් මන්ත්‍රීවරයාට ලංකාවේ වැවිලිකරුවන්ගේ සංගමයෙන් මසකට රුපියල් 2000 බැගින් ගෙවා ඇති බව හෙළිවිය. ඒවා ත්‍යාග මුදල් ලෙස හඳුන්වා ඇති අතර ඒවා පිළිගෙන ඇත්තේ එම සංගමයේ අදහස් රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ විධායක මණ්ඩලය ඉදිරියේ තබා ඒවා ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා බව අනාවරණය කෙරිණි.
ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාගේ සභාපතිත්වය දැරූ ස්වදේශ කටයුතු පිළිබඳ විධායක කාරක සභාවේ සභිකයකු වූ එච්. එෆ්. පාර්පිට් මහතා ලංකාවේ ඉඩම් හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා වශයෙන් සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයා වශයෙන් මසකට රුපියල් 2000 බැගින් ලබාගෙන තිබෙන බව කොමිසම හමුවේ අනාවරණය වී තිබිණි. ඒ මහතා එවකට සීමා සහිත මැක්වුඞ් සමාගමේ අධ්‍යක්ෂවරයා ද විය.
මේ කාරණා අල්ලස් ගැනීම යන අර්ථකථනයට ප්‍රමාණවත්ය යනුවෙන් රාජ්‍ය නීතිඥ ඇල්. එම්. ඩී. ද. සිල්වා මහතාගේ වාර්තාවේ සඳහන් වීම හේතුවෙන් ඉහත මන්ත්‍රීවරුන් අට දෙනාටම සිය මන්ත්‍රී ධුර හැර යන්නට සිදු විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටියදී තමා කරන සේවයක් සම්බන්ධයෙන් අල්ලසක් දීම, ගැනීම හෝ ඉල්ලීම ඔප්පු වුවහොත් එකී මන්ත්‍රීවරයා ධුරයෙන් පහර කර දැමීමට හැකි පනතක් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ඉන් පසුව සභා සම්මත කර ගැනිණි.
රඛිත හේමවර්ධන
ඡායාරූපය : අන්තර්ජාලයෙනි