අවුල වියවුලක් කළ ජාතික ලැයිස්තුව


2010 පාර්ලිමේන්තු මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක මැතිවරණයක් වුණා. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විශාල ජයග්‍රහණයක් ලබා ගත්ත නිසා මහ මැතිවරණයට ඒක බල පෑවා.


යුද ජයග්‍රහණයත් එක්ක ආපු රැල්ලක් ඒකට බලපෑවා. අපේ පාක්ෂිකයොත් හරිම උදාසීන තතත්ත්වයකට පත් වෙලා හිටියේ. අපේ ප්‍රචාරක වැඩපිළිවෙළ වුණත් ටිකක් අමාරුවෙන් තමයි කර ගත්තේ. 


අපි අම්පාර දිස්ත්‍රික්කයට තරග කළේ මුස්ලිම් කොංග්‍රසය එක්ක එකතු වෙලා නුවරඑළියට තොන්ඩමන් නැති නිසා අපිත් එක්ක එකතු වුණේ පී. දිගම්බරන්. ඊට කලින් දිගම්බරන් පළාත් සභාවට ඉල්ලලා දිනලා තිබුණේ. මේ වගේ ප්‍රශ්න මැද්දේ වුණත් අපි මැතිවරණ ව්‍යාපාරය කර ගෙන ගියා. 


මැතිවරණ ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂයට ටිකක් නරක එකක් වුණා. අපිට අඩු ඡන්ද ප්‍රමාණයක් තමයි ලැබුණේ. ආසන හැට ගාණකට වඩා අපිට ගන්න බැරි වුණා. ඡන්දෙටත් වඩා අපි දුෂ්කාරතාවකට මුහුණ දුන්නේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු තෝරන්න ගියාම. අපේ පක්ෂයෙන් ජාතික ලැයිස්තුවට නම් කරපු අය අතර රුක්මන් සේනානායක, ජෝසප් මයිකල් පෙරේරා, රාමනාදන් ඇතුළු පිරිසක් තමයි හිටියේ. මමත් ජාතික ලැසිස්තුවෙන් එන්න හිටියෙ. අපි තීරණය කරලා තිබුණේ ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව ප්‍රතිපත්තිමය කාරණා උඩ නම් කරනවා කියලා. අපිට ලැබෙන මන්ත්‍රීධුර ප්‍රමාණයේ අනුපාතයට අනුව තමයි ඒක දෙන්න තීරණය කළේ. හකීම් - දිගම්බරන් - මනෝ ගනේෂන් වගේ අයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලලා තිබුණේ. මුල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හත එක්සත් ජාතික පක්ෂයට දීලා ඉතුරු මන්ත්‍රීධුර තමයි අනෙක් පක්ෂ වලට දෙනවා කියලා එකඟතාවයකට ආවේ. 


අපේ පක්ෂයේ හත් දෙනා ජාතික ලැසිස්තුවට පත් කරන්න ගිහිල්ලත් තමයි ලොකු අර්බුදයකට මුහුණ දුන්නේ. පක්ෂ නායකත්වයත් දේශපාලන කමිටුවත් තීරණයක් ගත්තා ජාතික ලැයිස්තුවට නම් කරලා ඉඳපු රුක්මන් සේනානායකට මන්ත්‍රී ධුරයක් නොදෙන්න. මේක ලොකු ප්‍රශ්නයක් වුණා. රුක්මන් එක්සත් ජාතික පක්ෂයට ළඟම සම්බන්ධකම් තියෙන ජ්‍යෙෂ්ඨයෙක්. රනිල් වික්‍රමසිංහගේ ඥාතියෙක්. ඒ කිසි දෙයක් නොසලකා ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අහිමි කළා. මේකට ලොකු විරෝධයක් ආවා. රුක්මන් මේ නිසා පක්ෂය එක්ක අමනාපයටත් පත් වුණා. ඔහු කිව්වේ ඔහුට තරග කරන්න අවස්ථාවක් දුන්නා නම් තරග කරලා පාර්ලිමේන්තුවට එන්න තිබුණා කියලා. ඔහු රැවට්ටුවා වගේ දෙයක් කළේ කියන එකටයි ඔහු අමනාප වුණේ. 


ඊළඟට ආපු ප්‍රශ්නය තමයි දයා ගමගේගේ සිද්ධිය. දයා ගමගේ විරුද්ධ වුණා අම්පාරට මුස්ලිම් කොංග්‍රසය එක්ක එකට තරග කිරීම ගැන. එහෙම කිරීම ගැන ඔහුත් පක්ෂය එක්ක අසතුටින් හිටියේ. ඒක සමනය කරන්න අපි කළේ ඔහුට මැතිවරණ ප්‍රතිඵල වලදි යම් අසාධාරණයක් වුණොත් ඒ වෙනුවට දයා ගමගේගේ නියෝජනයත් සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වෙන් කරනවා කියන එක. ඒක නිසා අනෝමා ගමගේ ජාතික ලැයිස්තුවට නම් කළා. මමයි කරු ජයසූරියයි තමයි දයා ගමගේට සහතිකවෙලා මේ ප්‍රශ්නය ඡන්දෙ ඉවර වෙනනකම් යටපත් කළේ. 


මැතිවරණයේ දී දයා ගමගේ තේරුණේ නෑ. ඒක ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඔහුට හෝ අනෝමා ගමගේට ඕනෑ කියලා පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පත් නොකරන්න පක්ෂය ගත්තු තීරණය නිසා දයා ගමගේට ඒ අවස්ථාව දෙන්න විදියක් නැති වුණා. ඒ වෙනුවට අනෝමා ගමගේට ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දෙන්න පක්ෂය තීරණය කළා. රනිල් වික්‍රමසිංහ මේ පත් කිරීමටත් මුලදි කැමති වුණේ නෑ. මේකත් ඇදි ඇදි තිබිලා තමයි විසඳුමකට ආවේ. 


ඊළඟට අපිට ආපු ලොකුම ප්‍රශ්නය මනෝ ගනේෂන්ගේ ඉල්ලීම. මනෝ ගනේෂන් මහනුවරට තරග කළා පරාද වුණා. කොළමින් තරග කරපු ඔහුගේ සහෝදරයා ප්‍රභා ගනේෂන් දිනුවා. ඒක නිසා මනෝටත් ජාතික ලැයිස්තුවෙන් එන්නම ඕනෑ කියලා ඉල්ලුවා. පරාජය චේච්ච අය ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ නෑ කියලා අරගෙන තිබුණු ප්‍රතිපත්තිය මෙතනදීත් ඉදිරියට ආවා. අපිට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර 9 ආවේ. ඒකෙන් මුල් 7 එක්සත් ජාතික පක්ෂයට දුන්නම ඉතුරු වුණේ දෙකයි. ඒ දෙන්නත් රවුෆ් හකීම් ඉල්ලන්න ගත්තා. මේක ලොකු අවුලක් නිසා රවුෆ් හකීම් එක්ක කතා කරලා විසඳගෙන එන්න කියලා මනෝ ගනේෂන්ට කිව්වා. ඒක හරි ගියෙත් නෑ. රවුෆ් මන්ත්‍රීධුර දෙකම ඉල්ලුවා. මේ නිසා මනෝ ගනේෂනුත් අමනාප වුණා. අපේ පක්ෂය එක්ක රවුෆ් හකීම්ට ඉතුරු මන්ත්‍රීධුර දෙකම දෙන්න සිද්ධ වුණා. 


පී. දිගම්බරන් තමයි ඊළඟ ප්‍රශ්නය දැම්මේ. එයාලටත් මන්ත්‍රී ධුරයක් හිමි වුණ නිසා ජාතික ලැයිස්තුවෙනුත් තව එකක් ඕනෑ කියලා තර්ක කළා. ඒක කරන්න බැරි වුණ නිසා අපිත් එක්ක එකතු වෙලා මැතිවරණයට තරග කළත් පාර්ලිමේන්තුවේ දී දිගම්බරන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැත්තට ගියා. දිගම්බරන් ඉල්ලීමේ සාධාරණයක් තිබුණෙත් නෑ. 

 


මේ විදියට තමයි ඒ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදීම ඉවර වුණේ. 

 

තව කොටසක් ලබන සතියට.

 

 

 

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි