අසල්වැසියාගේ නිදහස් සටනින්


 

ආදරය හෝ ප්‍රේමය යනු භාවමය සුන්දර අත්දැකීමකි. මේ ප්‍රේමය නිසා ඉතිහාසය පුරාම බොහෝ අය බොහෝ දේ පරිත්‍යාග කළහ. කැප කළහ. ඒ අතර ජීවිතය පරිත්‍යාග කළ අයද වෙති. සාලිය කුමරු සුරූපී අශෝකමාලාවගේ ආදරය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ මිණි කිරුළ අතහැර දැමීය. මෙයට සියවසකටත් මෙහා යුගයක දී එංගලන්තයේ අටවැනි එඞ්වඞ් රජු තම සිත දිනාගත් රාජකීය නොවන වැන්දඹු කාන්තාවගේ ආදරය පතා බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ ස්වර්ණමය සිංහාසනය කැප කළේය. විළියම් ෂේක්ස්පියර් නම් වූ මහා සාහිත්‍යධරයා විසින් ජගත් සාහිත්‍ය අම්බරයේ හිරු සඳු මෙන් ජීවමාන කරන ලද රෝමියෝ ජුලියට් වෘත්තාන්තයේ එම යුවළගේ අමරණීය ප්‍රේමය  ජයගත නොහී එම වටිනා ජීවිත විනාශ වූවේ ඔවුන් දෙදෙනා අයත් වූ මොන්ටේගු සහ කැපියුලට් යන පරම්පරා දෙකේ ප්‍රවේණිගතව පැවත ආ වෛරය නිසා ඛේදවාචකයක් බවට පත් කරමිනි. 
 
මුළු මහත් ශ්‍රී ලාංකේය ජන සමාජයම බියට පත් කරමින් නොබෝදා ඇවිළී ගිය ජාතිවාදී ගිනි ජාලාව ගැන සලකන විට මෙවැනි ඛේදවාචක ගැන මෙනෙහි කිරීමට තවමත් කල් ඉකුත්ව ගොස් නැත. මෙලොව එළිය දකින සෑම දරුවෙකුටම ජාතියක් සහ ආගමක් හිමිවනුයේ උපතින්මය. එය  ඇදහීම හෝ නොඇදහීම පසුකාලීනව එම දරුවන්ගේ පෞද්ගලික අයිතියක් බවට පත්වන්නේ වුවද එම ජාතිකත්වයට හෝ ආගමට හෝ ගරු බුහුමනින් යුතුව බැඳී සිටීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. යම් කෙනෙකු මෙම උරුමයන් දෙක ලබා ඇත්තේ මව්පියන් එම ආගමට හෝ ජාතියට අයත් වූ නිසාම බව වැඩි දෙනා අමතක කරති. සියලු ආගම් හදාරා නිවැරදි ආගම තෝරා ගත් අය සිටී නම් ඒ අතළොස්සක් පමණි. ජාතිය තෝරා ගැනීම එයටත් වඩා විරලය. මෙවැනි පසුබිමක් හමුවේ මෙවැන්නක් සඳහා ගහමරා ගැනීම තුළ ඇති යුක්තිය ගැන සිතා බැලිය යුතු නොවන්නේද? මේ එවැන්නකට ඉතා සුදුසු කාලයයි. 


බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඉන්දියාව වර්තමානයේ විශාල රාජ්‍ය තුනක් වශයෙන් පවතින ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල් ඒකාබද්ධව පැවති අති විශාල භූමි ප්‍රදේශය විය. දකුණින් කන්‍යා කුමාරි තුඩුවේ සිට උතුරු දිග පිහිටි ඇෆ්ගනිස්ථාන් මායිම දක්වා එය විහිද ගියේය. මේ අතර මැද සුන්දර පන්ජාබය නිල්වන් කෙත්වතුවලින් යුතුව ශක්තිමත් මිනිසුන්ගේ වාස භූමියක්ව පැවතුණි. භාරතයේ ධාන්‍යාගාරය යැයි විරුදාවලි ලත් මෙම ප්‍රදේශය බුද්ධ කාලීන ඉතිහාසයේ ගන්ධාරය නමින් හඳුන්වනු ලැබූ බව කියනු ලැබේ.


එමෙන්ම ඉන්දියානු නිදහස් සටන ඔදවත් තෙදවත් හා මුවහත් කරනු සඳහා මූලිකම සාධකය වූ ජාලියන් වලාබාග් මහා ඛේදවාචකය සිදුවූයේද පන්ජාබයේය. 1919 අප්‍රේල් 13 වැනිදා හින්දු සහ ෂික් අවුරුදු දිනයේ අමිර්තසාර් අගනුවර පිටියකට උත්සවයක් සඳහා රැස්වූ දහස් ගණන් පිරිසකට  නිකරුණේ වෙඩි තබා මරා දමන ලද්දේ කෲර බි්‍රතාන්‍ය පාලකයන් විසිනි. එම අමානුෂික සිදුවීම හේතු කොටගෙන ඉන්දීය ජාතික  රුධිරය කකියා ආවේය. නිදහස ලබන තුරු නොනවත්වා ඉදිරියටම ගිය අරගලය ප්‍රාණවත් කළ ඉන්ධන සැපයීම කෙරුණේ ජාලියන් වලාබාග් සමූල ඝාතනයයි.

 

 

මෙම කතාවේ පසුබිම අවබෝධ කර ගැනීම සඳහා තවත් එක් කරුණක් දැන ගත යුතුය. එනම් පන්ජාබයේ ජනතාවටම අනන්‍ය වූ ආගමක් පවතින බවය. භාරතයේ අනාදිමත් කාලයක සිට පවතින හින්දු දහම අන්තවාදී කුල භේදයක් මවා  පාන්නක් යැයි සමහරු විශ්වාස කළහ. බ්‍රාහ්මණ සංකල්ප වලින් පිරීගත් එම දහමේ රැකියාව සහ වෘත්තිය අනුව සමාජය බෙදා දක්වන බව ඒ අය වටහා ගත්හ. මෝගල් අධිරාජයින්ගේ බලපෑම මත  භාරතයේ ඉස්ලාම් ආගම පැතිරීමත් සමග එම දහමද ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූවේය.  මේ ආගම් දෙක එකිනෙකාට වෙනස් මත ප්‍රකාශ කළ නිසාත් වෙනස් සංස්කෘතීන් ගරු කළ නිසාත් ඉන්දියානු සමාජයේ හින්දු - මුස්ලිම්  ගැටුම් නිරන්තරයෙන් දක්නට ලැබුණි. මේවාට අනුබල දුන් නායකයෝද බහුලව වූහ. මෙය සමාජ ව්‍යසනයක් ලෙස දුටු ගුරු නායක් නම් විද්වතෙක් හින්දු මුස්ලිම් යන ආගම් දෙකේම හොඳ කොටස් එකතු කර වෙනමම දර්ශනයක් ඉදිරිපත් කළ බව කියනු ලැබේ. එය පන්ජාබ් ප්‍රදේශය පුරා පැතිර ගිය අතර තමන්ටම අනන්‍ය වූ සංස්කෘතියක්ද සහිතව පැතිර ගියේය. එය ෂික් ආගම නමින් හැඳින්වුණු අතර එම ජනවර්ගය ද එනමින්ම  ප්‍රකට විය.
 ඉන්දියානු නිදහස් සටන පවතිද්දී ලෝකමානය තිලක්, මෝතිලාල් නේරු, සාර්දාර් මල්හායි පතේල්, දේශබන්දු චිත්ත රන්ජන් දාස්, මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු වැන්නන් මෙන්ම ඛාන් අබ්දුල් ගෆාර් ඛාන්, මවුලානා අබ්දුල් කලාම් අසාද් වැනි මුස්ලිම් නායකයෝද භේදයකින් තොරව සටන් කළහ. එකට සිරබත් කෑහ. පොලිස් ප්‍රහාරවලට මුහුණ දුන්හ. එම සටනේ පතාක යෝධයන් වූ ෂික් ජාතිකයෝද වූහ. සර්දාර් භගත් සිං, සර්දාර් අජිත් සිං එවැන්නෝය. ෂික් වාර්ගිකයෙකු නොවුණද පන්ජාබයේ සිංහයා යනුවෙන් හැඳින්වුණු ලාලා ලාජ්පත් රායිද ලාහෝරයේ ප්‍රකට නායකයෙකි.

ඉන්දියානු නිදහස් සටන පවතිද්දී ලෝකමානය තිලක්, මෝතිලාල් නේරු, සාර්දාර් මල්හායි පතේල්, දේශබන්දු චිත්ත රන්ජන් දාස්, මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු වැන්නන් මෙන්ම ඛාන් අබ්දුල් ගෆාර් ඛාන්, මවුලානා අබ්දුල් කලාම් අසාද් වැනි මුස්ලිම් නායකයෝද භේදයකින් තොරව සටන් කළහ.


 දේශපාලනකයෝ නිතරම සංකල්ප බිහිකරති. ඒවා ක්‍රියාවට නැංවීමේදී යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලයන්ට මුහුණ දීමට සිදුවන්නේ ජනතාවටය. එකල භාරතයේ ජාතීන් වශයෙන් බෙදුම්වාදයන් තිබුණේ නැත. ප්‍රාදේශීය රාජ්‍ය වශයෙන් ඒ ඒ පෙදෙස්වල ජාතීන් තමන්ගේම සංස්කෘතික, භාෂාමය, භූගෝලීය ආදි වශයෙන් අභිමානයක් සහිතව ජීවත් වූ බව ඇත්තකි. පන්ජාබයේ ෂික්වරු, කාශ්මීරයේ එම වර්ගයා බොම්බායේ මරාතිවරුන් මදුරාසියේ ද්‍රවිඩයන්, කේරළයේ මලයාලින්, ගෝවේ පෘතුගීසි සම්භවයෙන් පැවතෙන්නන්, ආදි වශයෙනි. 


මෙම ගෝත්‍රික අභිමානය පැවතියා  වුවද හින්දු - මුස්ලිම් වශයෙන් තමන් අදහන ආගම අනුව ජාතීන් දෙකක් ලෙස බෙදී සිටියේ නැත. එහෙත් එකල බොම්බායේ නීතිඥයෙකු ලෙස කටයුතු කළ මොහමඞ් අලි ජින්නා, ඉන්දියාවේ එවකට දාර්ශනික කවියාව සිටි සර් මොහොමඞ් ඉක්බාල් මෙන්ම පන්ජාබ් ජාතික ශිෂ්‍ය නායකයෙකු වූ චෞද්රි රහමන් අලි යන අය දැඩි ලෙස ඉදිරිපත් කළ යෝජනාවක් වූවේ පන්ජාබය (ඡ) වයඹ දිග දේශ සීමා ප්‍රාන්තය (ඇෆ්ගන්) (්) කාශ්මීරය (ණ) සින්ද් ප්‍රාන්තය (ී) බලුකිස්ථාන් ප්‍රාන්තය (ීඕභ) යන  පළාත් ඒකාබද්ධ කර වෙනම මුස්ලිම් ජාතික රාජ්‍යයක් පිහිටූ විය යුතු බවය. මෙම අකුරු එක්කර සෑදෙන නාමය  පාකිස්ථානය නම් වූ අතර වාසනාවකට මෙන් එහි අර්ථය උර්දු බසින් ‘ශුද්ධ වූ භූමිය’ යනුවෙන් සඳහන්  විය.


 එකල ඉන්දියාවේ පාලන හාරය දැරූ බි්‍රතාන්‍යයන් වෙත මෙම යෝජනාව  ඉදිරිපත් වීමෙන් පසු එය සමස්ත ඉන්දියාවේ ජීවත්වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාවගේ මතය බවට පත්විය. ප්‍රායෝගික වුවත් නොවුවත් එය සලකා බැලීමට බි්‍රතාන්‍ය මවු රජය එකඟ වූ අතර මනෝරාජික සංකල්පයක් වශයෙන් මිනිසුන් තුන් දෙනෙකුගේ හිස් කුහර තුළ පමණක් රැඳී තිබුණු සංකල්පයක් මහ පොළවේ ගැටලුවක් බවට පත්විය. 
දිගු කතාවක් කෙටියෙන් සඳහන් කරමි. 


එවකට ඉන්දියාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ මවුන්ට් බැටන් සාමිගේ සහ ඔහුගේ සුවච කීකරු නිලධාරීන් කීප දෙනෙකුගේ අභිමතය පරිදි 1947 අගෝස්තු 15 වැනි දින පාකිස්ථානය නම් වූ රාජ්‍යය බිහි වූවේය. එය මිනිස් ඉතිහාසයේ බිහිසුණුම ලේ වැගිරීමකට හේතුවිය. ජාතිවාදී උන්මාදයෙන් පෙළුන දහස් ගණන් මැරයෝ  කිසිදු සදාචාර බවකින්  තොරව  එතෙක් කල් එක බත් පත බෙදා ගෙන කුසගින්න නිවා ගත් දුකට සැපට පිහිට වූ අසල්වැසියන් මරා දැමූහ. හින්දු, මුස්ලිම්, ෂික් වශයෙන් කිසිදු භේදයකින් තොරව මෙම අපරාධ සිදුකළහ. කාන්තාවන් දහස් ගණනින් දූෂණය කළහ. ළමා අවධියේ සිට එකට කෙළි සෙල්ලම් කළ යුවතියන් දුෂණය කර මරා දැමූහ. “ජන වාර්ගික පාරිශුද්ධත්වය  කෙලසීම” එහි අරමුණු වූ බව කියනු ලැබේ. තමාත් යම්කිසි දිනෙක මැරෙන  බවත් මැවුම්කාර දෙවියන්ගේ විනිශ්චයට  ලක්වෙන බවත් ඔව්හු අමතක කළහ. ඇමරිකානු පුවත්පත් කලාවේදියෙකු වූ රොබට් ට්‍රම්බල් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට මෙසේ වාර්තා කර තිබුණි. “ලෝක යුද්ධ සමයේ තරාවාහි වෙරළ තීරය දිගේ කඳු ගසා තිබූ මළ සිරුරු දැකීමෙන්වත්, ඉන්දියාවේ මා දුටු බිහිසුණු දර්ශනය තරම් කම්පනයක් මා තුළ ඇති නොකළේය. අද ඉන්දියාවේ රුධිර ගලනය වර්ෂාව පරදවයි. මිය ගියවුන් සිය ගණනින් මට දැකගත හැකිවිය. ඊටත් වඩා බියකරු දර්ශනය වූවේ අත් පා කපා දැමූ, කන් කපා දැමූ, ඇස්  උගුලුවා  දැමූ දහස් ගණන් වූ ජනතාවය. වෙඩි තබා මිනිසුන් මරා දැමීමක් මෙහි වූයේ නම් ඒ ඉතා කලාතුරකිනි. ඔවුන් කළේ පොලුවලින් හෝ ගල්වලින්  පහරදී මිනිසුන් බාගෙට මරා දැමීමය. ඉන්පසු සෙමින් මරණයට පත්වීමට ඔවුන් අත්හැර දමා ගියහ. ග්‍රීෂ්මය සහ මැසි සේනා මිය යාමට පණ අදිමින් සිටියවුන්ගේ මරණ වේදනාව දහස් ගුණයකින් වැඩි කළහ.

 

 

 අපේ මුල් කතාව ආරම්භ වන්නේ මෙම සමාජ පසුබිම තුළිනි. මෙය සත්‍ය කතාවකි. බූටා සිං පන්ජාබයේ ග්‍රාමිය පෙදෙසක දිවි ගෙවූ දුප්පත් තරුණයෙකි. ෂික් ජනතාවට උරුම වූ ශක්තිමත් දේහයක් සහිත තරුණයෙකු වූ ඔහු වඩු කර්මාන්තය සිය රැකියාව ලෙස තෝරාගෙනි තිබුණි. බොහෝ වෙහෙස මහන්සියෙන් සිය වෘත්තියේ යෙදුණු බූටා සිං ළඟදීම විවාහයක් කර ගැනීමේ අපේක්‍ෂාවෙන් පසු වුවේය. උතුරු ඉන්දියාවේ ගම්වැසි ජනතාව අතර පවතින චාරිත්‍රයකට අනුව විවාහ කර ගන්නා යුවතියගේ පියාට මනාලයා විසින් දෑවැද්දක් දීම මුදලක් ගෙවීම සිරිතක්ව පැවතුණි. වෙහෙස මහන්සියෙන් උපයා ගන්නා මුදලින් කොටසක් ඉතිරි කර ගැනීමට ඔහු උනන්දු වූයේ මෙම වැදගත් කාර්යය සඳහාය. දෙමාපියන්ගේ වියෝවීමෙන් පසු හුදකලාව ජීවත්වූ මෙම තරුණයාට බිරිඳකගේ අවශ්‍යතාව තදින්ම දැනී තිබුණි. රැකියාවේ කටයුතු නිම වෙද්දී ඇඟපත දොවා ගැනීමෙන් පසු ආහාරයට චපාති රොටියක් තනාදීමට කෙනෙකු සිටිනවා නම් කෙතරම් අපූරුදැයි ඔහුට සිතුණු වාර ගණන අපමණය. සිය ෂික් වංශයේ ජනතාවගේ ප්‍රතාපවත් නායකයා වශයෙන්ද පරමාදර්ශී චරිතය ලෙසද සලකන රන්ජිත් සිං වැනි උදාර මිනිසෙකු වීමට තමාටත් නොහැකි වූ නිසා උගත්කමින් වාසනා ගුණයෙන්  යුතු පුතෙකු ලබාගැනීමේ සිහිනයක්ද ඔහුගේ හදේ කොනක රැඳී තිබුණි. මේ සඳහා මනාලියක් අවශ්‍යමය.


 පන්ජාබයේ සත්ලේජ් නදියේ ජලය රත් පැහැ ගන්වමින් එහි මළ මිනි පාවෙන්නට වූයේ මේ දිනවලදීමය. කිට්ටු නගරයක් වූ ලාහෝරයේ මෙන්ම අම්රිත්සාර්හිදී ද ගැටුම් ආරම්භ වී ඇති බවත් පන්ජාබයේ වෙසෙන හින්දුන් දහස් ගණන් යාබද බිහාරයට පලායන බවත් කටකතා  මගින් දැන ගන්නට ලැබුණි. ෂික් වරුන්ට එරෙහිව ද ප්‍රහාර  එල්ල විය හැකි බවට අනාවැකි පළ විය. තමන්ට එරෙහිව සිදුවන ප්‍රහාරයන්ට පලි ගැනීමේ චේතනාවෙන් යුතුව සුළුතරය වූ හින්දුහු ද තම වාරය එනතුරු ඇඟිලි ගනිමින් සිටියහ. එක් දිනක එම අවස්ථාව උදාවී තිබුණි. මැර පිරිසක් බූටා සිංගේ ගම්මානයට කඩා වැදී මුස්ලිම් වැසියන්ට හිරිහැර කිරීම ඇරඹූහ. වැඩිහිටියන් කීප දෙනෙකු කපා කොටා ඝාතනය කළ මැරයෝ එම යුවතියන් කීප දෙනෙකු නිවෙස්වලින් පැහැරගෙන අවුත් දූෂණය කළහ. අසල පිහිටි වඩු මඩුවේ සිටි බුටා සිං මෙය දුටු අතර තමාගේ අසල්වැසි නිවසක දිවි ගෙවූ ෂෙනීබ් නමැති යුවතියද මෙම කනගාටුදායක ඉරණමට මුහුණ දී සිටින බවද දුටුවේය. අදහන ආගම හෝ  අයත් වන ජනවර්ගය කුමක් වුවද මෙම විපතේදී අසල්වැසි සොයුරියට උපකාර පිණිස ඉදිරිපත්වීමට ඔහු තීරණය කළේය. සටනක් කිරීමෙන් තනිව සිටින තමාට ජයගත නොහැකි බව වටහා ගත්  බූටා සිං දාමරිකයන් මැදට ගොස් ඇය මුදා හරින්නැයි ආයාචනා කළේය. එම ඉල්ලීම මැරයෝ ප්‍රතික්‍ෂේප කළහ. තවදුරටත් පින්සෙන්ඩු වීමේදී මැර නායකයා ප්‍රකාශ කළේ රුපියල් එක්දහස් පන්සියයක් තමන්ට ලබාදෙන්නේ නම් ෂනීබ් මුදාහරින බවය. එය ඇසූ වහාම බූටා සිංට සිහිපත්වූවේ විවාහයක් කර ගැනීම සඳහා තමා ඉතිරි කර ඇති මුදල් ටිකය. ආපසු ලබා ගැනීමට කිසිම ඉඩක් නොලැබෙන බව දැන දැනම ඔහු තමා සතු මුදල් මැරයන්ට භාර දුන් බූටා, ෂෙනිබ් මාර බන්ධනයෙන් මුදවා ගෙන ඇයගේ නිවසට ගෙන ගොස් ඇරලුවේය. තම දියණිය දිවි බේරාගෙන ආපසු කැඳවාගෙන ආ මෙම ෂික් ජාතික තරුණයා ඉදිරියේ වැඳ වැටුණු ෂෙනිබ්ගේ දෙමාපියෝ ඔහුට තම කෘතඥතාව පළ කළහ. නුදුරු දිනකදීම ඔහුගේ මුදල් ආපසු ලබාදීමටද පොරොන්දු වූහ. එහෙත් එය ඉටුකිරීමට ඔවුන් අපොහොසත් බවද ඔවුහු දැන සිටියහ.

 


මතු සම්බන්ධයි...

 


සෝමසිරි වික්‍රමසිංහ