1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු පළමු වරට අතුරු මැතිවරණයක් පැවැත්වූයේ 1948.05.18 දින අංක 24 මහනුවර මන්ත්‍රී ආසනය සඳහාය. (ඊට පෙර අංක 11 අවිස්සාවේල්ල ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට 1948.04.19 දින නාම යෝජනා පත්‍ර භාර ගැනීම සිදුවූ අතර එදින කුසුම්සිරි ගුණවර්ධන මහත්මිය නිතරගයෙන් තේරී පත්වූ නිසා අතුරු ඡන්දය පැවැත්වූයේ නැත) 1947 ප්‍රථම මහා මැතිවරණයේදී මහනුවර ආසනයේ මන්ත්‍රී ධුරයට තේරී පත්වූයේ එජාපයෙන් තරග කළ ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාය. ඔහු ඩොනොමෝර් කොමිසම යටතේ පිහිටවනු ලැබූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මහනුවර ආසනය සඳහා දෙවරක්ම තේරී පත්ව සිටියේය.
1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී එෆ්. ඒ. සේනාරත්න (5346) හා ඒ. බී. සී. විජේකෝන් (4652) යන දෙදෙනා පරාජය කරමින් මුළු ජන්ද 10,444 ද වැඩි ඡන්ද 5098 ද ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ඡන්ද 13,614ක් ලබාගෙන ඒ. ගොඩමුනේ (8212) එෆ්. ඒ. සේනාරත්න (2315) හා ඒ. එෆ්. ඩී. ජොන්ක්ලාස් (2040) යන තිදෙනා පරදවා වැඩි ඡන්ද 5402ක ජයග්‍රහණයක් වාර්තා කළේය. 1942 දී ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අවස්ථාවේ එම තනතුරට පත්වුයේ ද ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාය.
ලංකා ජාතික සංගමයේ සභාපතිධුරයට සිව් වතාවක්ම තේරී පත්ව සිටි ද සිල්වා මහතා එජාපය පිහිටවූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ද වූයේය. ලංකාවට සර්වජන ඡන්ද අයිතිය ලබාගැනීමට මූලිකව ක්‍රියාකළ අය අතර ප්‍රමුඛයකු වූ ද සිල්වා මහතා සිංහාසනය හා ඔටුන්න ආපසු ලබා ගැනීමටද මූලිකව ක්‍රියාකළ අයෙකු විය. මෙවැනි ශක්තිමත් දේශපාලන පසුබිමක් තිබූ ද සිල්වා මහතා සමග තරගයට ඉදිරිපත් වූයේ පසුකාලීනව ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාරය තුළ දැවැන්ත චරිතයක් බවට පත්වූ ටී. බී. ඉලංගරත්න මහතාය.
ශ්‍රී ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ අමතක නොවන සිදුවීමක් ලෙස සටහන්ව ඇති 1947 මහා වැඩවර්ජනය දියත් වූ අවස්ථාවේ ප්‍රබල වෘත්තීය සමිතියක් වූ රජයේ ලිපිකරු සේවා සංගමයේ (ජී.සී.ඇස්.යූ) සභාපති ධුරය දරමින් සිටියේ එවකට මහනුවර කච්චේරියේ ජ්‍යෙෂ්ඨ ලිපිකාර නිලධාරියකු ලෙස සේවය කළ ටී. බී. ඉලංගරත්න මහතාය. වැඩවර්ජනයට නායකත්වය දීම හේතුකොට ගෙන රජය ඉලංගරන්ත මහතාගේ වැඩ තහනම් කළේය. මහා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ප්‍රගතිශීලි වාමාංශික කණ්ඩායම්වල ඉල්ලීම් පිට මහනුවර ආසනයට තරග කිරීමට එකඟවූ ඔහු රජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහනුවර ආණ්ඩුවේ ඒජන්තවරයාට භාර දුන්නේය. වැඩිදුර උපදෙස් සඳහා එය ස්වදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කෙරිණි. තීරණයක් නොගෙන ආණ්ඩුව කල් මරමින් සිටි අතර තමා මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව දන්වා යැවීමෙන් පසු ඉල්ලා අස්වීම භාර නොගෙන රාජ්‍ය සේවයෙන් පහකළ බව දන්වා එවීය.
සියලු රාජකාරී බැඳීම්වලින් නිදහස් වූ ඉලංගරත්න මහතා තරගයට ඉදිරිපත් වූ අතර ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාට ප්‍රබල සටනක් දීමට සමත් විය. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ හෙතෙම ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 205ක් වැනි සුළු සංඛ්‍යාවකිනි. ප්‍රථම මහා මැතිවරණයේ මහනුවර ආසනයේ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ජෝර්ජ් ඊ. ද සිල්වා (අලියා) 7942, ටී. බී. ඉලංගරත්න (අත) 7737, ඒ. ගොඩමුනේ (මල) 2350, ටී. බී. වඩුගොඩපිටිය (කරත්ත රෝදය) 172. වැඩි ඡන්ද ගණන 205. නරක් වූ ඡන්ද පත්‍රිකා ගණන 332. ඡන්දය ප්‍රකාශ කළ මුළු සංඛ්‍යාව 18,533. ලියාපදිංචි ඡන්දදායකයන්ගේ මුළු ගණන 32,119. මහා මැතිවරණයෙන් පසු පිහිටුවූ එජාප රජයේ කර්මාන්ත ඇමැතිධුරයට පත් කෙරුණේ ද සිල්වා මහතාය. එහෙත් ඔහුගේ මන්ත්‍රීධුරය පැවතියේ කෙටි කාලයක් පමණි. ටී. බී. ඉලංගරත්න මහතා විසින් ගොනු කරන ලද ඡන්ද පෙත්සමක තීන්දුව අනුව ඔහුගේ මන්ත්‍රීධුරය අහිමි කෙරිණ. (මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පළමු ඡන්ද පෙත්සම වශයෙන් සටහන්වී ඇත) මෙම මැතිවරණ පෙත්සමට පදනම් වූ ‘වැරදි’ විග්‍රහ කරමින් අභාවප්‍රාප්ත ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇස්. පියසේන සූරීන් තබා ඇති සටහනක මෙසේ දැක්වේ.
චෝදනාව වූයේ බූස්සේ අමරසිරි නම් භික්ෂු නමක් මැතිවරණ කාලයේ පළවු සඟරාවක ඉලංගරත්න මහතාට අපහාස වන අන්දමේ අසත්‍ය ලිපියක් පළ කර තිබීමය. වගඋත්තරකාර ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාගේ නීතිඥයින් තර්ක කළේ එම භික්ෂුව හෝ එම සඟරාවේ ඇමැතිවරයාට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එහෙත් පෙත්සම්කාර පක්ෂය සාක්ෂි ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ අමරසිරි හිමියන් මහනුවර කොට්ඨාසයේ මාවිල්මඩ හා සුදුහුම්පොල යන ප්‍රදේශවල ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාගේ ඡන්ද වේදිකාවල කථිකයෙකු වූ බවය. ඡන්ද පෙත්සම් නඩුව විභාග කළ වින්ග්හෙම් විනිශ්චයකාරතුමා එම තර්කය පිළිගෙන ජෝර්ජ් ඊ. ද සිල්වාගේ මන්ත්‍රීධුරය අවලංගු කරමින් ඔහුගේ ප්‍රජා අයිතිය ද වසර හතකට අහිමි කළේය. මෙම නඩු තීන්දුව හේතුකොට ගෙන 1948.05.18 දින මහනුවර ආසනය වෙනුවෙන් ප්‍රථම අතුරු මැතිවරණය පැවැත්වීමට කටයුතු සැලසුනි.
මෙම අතුරු මැතිවරණයට එජාපයෙන් තරග කළේ ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාගේ පුත් ඇෆ්. (ෆ්‍රෙඞ්) ඊ. ද සිල්වා මහතාය. පළමු මැතිවරණයෙන් පරාජයට පත්වූ ටී. බී. ඉලංගරත්න මහතා ප්‍රතිවාදී අපේක්ෂකයා විය. අතුරු මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අනුව මුල සිටම ඉලංගරත්න මහතාට වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කළේය. අතුරු මැතිවරණයෙන් පසු ප්‍රකාශයට පත් කළ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ටී. බී. ඉලංගරත්න (කුඩය) 10,365, එෆ්. ඊ. ද සිල්වා (තරාදිය) 6508, වී. බී. වඩුගොඩපිටිය (කෝප්පය) 153. වැඩි ඡන්ද ගණන 3857. ඡන්දය ප්‍රකාශ කළ මුළු ගණන 17,026. ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ මුළු ගණන 32,119. මෙම ඡන්ද ප්‍රතිඵලයෙහි විශේෂත්වයක් වූයේ නරක් වූ ඡන්ද පත්‍රිකා එකක්වත් නොතිබීමය. කෙසේ වෙතත් ඉලංගරත්න මහතාට ද මන්ත්‍රීධුරය දැරිය හැකිවූයේ එක් වර්ෂයකට ආසන්න කාලයක් පමණකි. පරාජිත ඇෆ්. ඊ. ද සිල්වා මහතා විසින් පවරන ලද මැතිවරණ පෙත්සමකට මුහුණ දීමට ඔහුට ද සිදුවිය. දීර්ඝ නඩු විභාගයකින් පසු විනිසුරු නාගලිංගම් මහතා ප්‍රතිවාදියා පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම යන චෝදනාව ඔප්පු වූ බව පිළිගෙන වගඋත්තරකාර ඉලංගරත්න මහතා මහනුවර ආසනයට තේරී පත්වීම අවලංගු කරමින් ඔහුගේ ප්‍රජා අයිතිය ද සත් වසකට අහෝසි කළේය. මෙම නඩුව එදා මෙදා මැතිවරණ පෙත්සම් ඉතිහාසයේ සුවිශේෂී එකක් ලෙස සටහන් වනුයේ නාගලිංගම් විනිසුරුතුමා ප්‍රකාශයට පත්කළ අතුරු තීන්දුවක් හේතුවෙනි. එම තීන්දුව එදා මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක වූ අයුරු තහවුරු කරන හොඳම සාක්ෂියක් විය. පෙත්සම විභාගවන අතරතුර ඉලංගරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි රාජනීතිඥ නඬේසන් මහතා පරාජිත අපේක්ෂක එෆ්. ඊ. ද සිල්වා මහතාගෙන් දිගින් දිගටම හරස් ප්‍රශ්න ඇසුවේ තමා සූක්ෂම ලෙස සොයාගත් කාරණයක් අධිකරණය ඉදිරියේ හෙළි කරන්නටය.
ප්‍රශ්නය: ඔබ ඔබගේ ඡන්ද ප්‍රකාශය දෙමළ බසට පරිවර්තනය කිරීම සඳහා කේ. ගනේෂන් මහතාට චෙක් පතකින් රු. 25ක් ගෙවා ඇති බව ඔබ දන්නේද?
පිළිතුර: ඔව්. මම එය පිළිගන්නවා.
ප්‍රශ්නය: ඔබ ඒ මුදල පිළිබඳව ඔබගේ වියදම් ලැයිස්තුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේද?
පිළිතුර: මැතිවරණ වියදම් ලැයිස්තුව සකස් කරන ලද්දේ මගේ නීතිඥ මහත්වරුන් විසිනි. එය ඇතුළත් කරන ලද්දේද නැද්ද යන්න ගැන මට මතකයක් නැහැ.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා එෆ්. ඊ. ද සිල්වා මහතා සිය අනිවාර්ය මැතිවරණ වියදම් ලැයිස්තුවේ රුපියල් 25ක මුදලක් අන්තර්ගත නොකිරීම මැතිවරණ නීතිය යටතේ වරදක් බව තීරණය කරමින් ඔහුට ද වසර තුනකට මැතිවරණ තරග කිරීමේ තහනමක් ප්‍රකාශයට පත් කළේය.
මේ අයුරින් ඉලංගරත්න මහතාට ද මන්ත්‍රීධුරය අහිමිවීම හේතුවෙන් ප්‍රථම අතුරු මැතිවරණය පවත්වා වර්ෂයකුත් මාස 01ක් ගතවුණ 1949.06.18 දින දෙවැනි අතුරු මැතිවරණය පවත්වන්නට යෙදුණේය. මෙවර ප්‍රගතිශීලි වාමාංශික කණ්ඩායම් වෙනුවෙන් තරගයට ඉදිරිපත් වූයේ ටී. බී. ඉලංගරත්න (තමරා කුමාරි) මහත්මියයි. එජාප අපේක්ෂකයා වූයේ ඒ. සී. එල්. රත්වත්තේ මහතාය. ප්‍රථමවරට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසිය ද ඉලංගරත්න මහත්මිය දේශපාලන ව්‍යාපාරය පිළිබඳව මනා වැටහීමක් ඇති කාන්තාවක වූවාය.
දෙවැනි අතුරු මැතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් ලබාගත් ඇය කඳුරටින් මැති සබයට පිවිසි ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස වාර්තාවක් තබන්නට ද සමත් වූවාය. දෙවැනි අතුරු මැතිවරණයේ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ටී. බී. ඉලංගරත්න මහත්මිය (තරුව) 10,062, ඒ. සී. එල්. රත්වත්තේ (එජාප - අත) 8012, ආර්. ඊ. ජයතිලක (ස්වාධීන - අලියා) 1137, ඩී. බී. වඩුගොඩපිටිය (ස්වාධීන - කරත්ත රෝදය) 270. වැඩි ඡන්ද සංඛ්‍යාව 2050, නරක් වූ ඡන්ද පත්‍රිකා ගණන 346, ඡන්දය දුන් මුළු ගණන 19,827, ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 33,160. මෙම අතුරු මැතිවරණයෙන් තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය ජයග්‍රහණය කළහොත් ඇයගේ තේරී පත්වීමට ද එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරනු ඇතැයි තදබල ලෙස විශ්වාස කළ සංවිධායකයින් ආරම්භයේ පටන්ම ආරක්ෂාකාරී පියවර ගනිමින් ක්‍රියාකළ ආකාරය ටී. බී. ඉලංගරත්න මහතාගේ යුගයක ගමන නමැති ග්‍රන්ථයේ සඳහන් කර ඇත.
නාමයෝජනා දිනයට පෙරදා තමරා වෙනත් නිවසක පදිංචි කරවා පසුදා උදෑසන එච්. ශ්‍රී නිශ්ශංක හා අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහත්වරුන්ගේ ආරක්ෂාව ඇතිව ඇය කච්චේරියට ගෙනයනු ලැබුවාය. ඉන්පසු ඇය නීත්‍යානුකූලව අපේක්ෂිකාව ලෙස නිල ප්‍රකාශය කරනු ලැබුවාය. සංවිධායකයින් සිතූ පරිදිම ඇයගේ පත්වීමට ද එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් වූ ආකාරය එම ග්‍රන්ථයේ තවදුරටත් මෙසේ සඳහන් කර තිබේ.
තමරාට ද ඡන්ද පෙත්සමත් ඉදිරිපත් විය .ඒ සඳහා හේතු වූයේ ප්‍රජා උරුමය තහනම් කරනු ලැබ සිටි මා ඇගේ මැතිවරණ නියෝජිතයෙක් ලෙස ක්‍රියා කර ඇති බවයි. තමරා සමග ඡන්ද හැරවීමේ ව්‍යාපාරයේ මා යෙදුන බව ඔප්පු කිරීමට ඡායාරූප ඇති බව ද කලක සිටම ප්‍රසිද්ධව තිබුණ නිසා ඇය ජයග්‍රහණ කළ දා සිටම මගේ ඇඳුම ජාතික ඇඳුමට වෙනස් කර ගතිමි. කොතරම් සාක්ෂි ඉදිරිපත් කළත් ඵ්වා ඔප්පු කළ නොහැකි වූයෙන් පෙත්සම නිෂ්ප්‍රභා කරන ලදී. මේ අනුව පළමුවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය 1952 අප්‍රේල් 06 දින දක්වා ඇය මහනුවර ආසනයේ මන්ත්‍රීධුරය දැරුවාය.
මහනුවර ආසනයට බලපෑ ඡන්ද පෙත්සම් ව්‍යාධිය එතෙකින් නිමාවට පත් නොවීය. 1952 දෙවැනි මහා මැතිවරණයෙන් පසුව ද ඡන්ද පෙත්සමක් විභාගකොට දුන් තීන්දුවකට අනුව මහනුවර ආසනය පුරප්පාඩු වූයෙන් නැවත වරක් ඡන්ද පොළ කරා යාමට ඡන්දදායකයින්ට සිදු විය. 1952 මහා මැතිවරණයේදී මහනුවර ආසනයට එජාපයෙන් තරග කළේ ඊ. ඇල්. සේනානායක මහතාය. ඒ වනවිටත් මහනුවර නගර සභවේ ලේවැල්ල කොට්ඨාසයේ නගර සභිකයකු ලෙස පත්ව සිටි ඔහු ප්‍රාදේශීය දේශපාලනයේ අත්දැකීම් ලබා සිටි තැනැත්තෙකු විය. ප්‍රතිවාදී අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූයේ හිටපු මන්ත්‍රීනී තමරා කුමාරි ඉලංගරත්න මහත්මියයි. මෙවර ඇය වැඩි ඡන්ද 2705න් පරාජයට පත්වූවාය. ඇයට ලබත හැකි වුයේ ඡන්ද 7644 කි. ජයග්‍රාහි අපේක්ෂකයා වූ ඊ. ඇල්. සේනානායක මහතා ඡන්ද 11,349ක් ලබාගෙන මහනුවර ආසනයේ මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දුන්නේය. එහෙත් මෙම පත්වීමට ද එරෙහිව ගොනුකළ ඡන්ද පෙත්සම විභාගකොට දුන් තීන්දුවකට අනුව ඊ. ඇල්. සේනානායක මහතාට ද මන්ත්‍රීධුරය අහිමි විය. ඔහු රාජාධිකරණය දක්වා ඇපෑලක් ගෙන ගිය ද මුල් තීන්දුව වෙනස් කර ගත නෙහැකි විය. මේ හේතුවෙන් ඔහුගේ පත්වීමෙන් වර්ෂ 02 මාස 05 ගතවීමෙන් පසු මහනුවර ආසනය සඳහා තුන්වැනි අතුරු මැතිවරණය 1954.10.23 දින පවත්වන බව ප්‍රකාශයට පත් කෙරුණි. එජාප අපේක්ෂක නම් ලැයිස්තුවට පී. බී. ඒ. වීරකෝන්, හෙන්රි විජේවර්ධන, සහ ඊ. ඇල්. සේනානායක මහත්මිය යන අයගේ නම් ඇතුළත්ව තිබුණ ද අවසානයේදී ඊ. ෆෙඞ්රික් ද සිල්වාගේ නම ස්ථිර විය. ශ්‍රීලනිපයෙන් හිටපු ආදායම් පාලක නිලධාරී එවකට නීති ශිෂ්‍යයෙකුව සිටි පියසේන තෙන්නකෝන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි. පියසේන තෙන්නකෝන් මහතා හරියාල හත්පත්තුව (1944 - 1946) පාත හේවාහැට (1947 - 1950) සහ කොලොන්න කෝරළේ (1951) ප්‍රදේශීය ආදායම් නිලධාරී (ෘඍධ) වශයෙන් සේවය කර තිබූ අතර ග්‍රාමීය දිළිඳු ජන කොට්ඨාසවල ගැටලු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත් අයකු විය. ඔහු ප්‍රථම වරට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1952 මැතිවරණයේ දී අංක 25 ගලහ ආසනයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරාදිය ලකුණෙන් තරග කරමිනි. එවර ඔහු එජාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ටී. බී. පානබොක්කේ මහතා (ගෙය 10,962) වෙතින් පරාජය ලැබූ නමුත් දෙවැනි ස්ථානයට පත්ව ඡන්ද 6356ක් ලබාගැනීමට සමත් විය. 1954.09.28 දින එවකට මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත ඩබ්ලව්. ඒ. ජේ. වැන්ෆ්‍රෙඞ් ලැන්ගන්බර්ග් මහතා විසින් නාමයෝජනා පත්‍ර භාර ගන්නා ලදී. එදින ප්‍රේඞ් ඊ. ද සිල්වා (එජාප) පියසේන තෙන්කෝන් (ශ්‍රීලනිප) පී. බී. තෙන්නකෝන් (කොමියුනිස්ට් එක්සත් පෙරමුණ) එස්. ආර්. බිබිලේ (මිය) න.ල.ස.ස.ප. සහ එන්. එල්. කුරේ (ස්වාධීන) යන අය නාම යෝජනා පත්‍ර භාර දුන්හ. අනතුරුව පසුව කී තිදෙනා සිය නාම යෝජනා ඉල්ලා අස්කර ගත්හ. ඊ. ෆෙඞ්රික් ද සිල්වා මහතාගේ ජයග්‍රහණය උදෙසා හිටපු අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා ද මැතිවරණ වේදිකාවට පිවිසියේය. පියසේන තෙන්නකෝන් මහතා වෙනුවෙන් විපක්ෂ නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, පීටර් කෙනමන් (මැද කොළඹ පළමු වන මන්ත්‍රී) එස්. ඩී. බණ්ඩාරනායක (ගම්පහ) සී. ඒ. ඇස්. මරික්කාර් (කඩුගන්නා දෙවැනි මන්ත්‍රී) ඩබ්ලිව් දහනායක (ගාල්ල) ද මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වූ ආකාරය දැකගත හැකි විය. අතුරු මැතිවරණ ඡන්ද සටන ඉතා තියුණු මුහුනුවරක් ගත්තේය. ඊ. ෆෙඞ්රික් ද සිල්වා මහතාට ජයග්‍රහණය සිතූ තරම් පහසු එකක් නොවීය. ඔහු ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 399ක් වැනි සුළු සංඛ්‍යාවකිනි. තුන්වැනි අතුරු මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵලය මෙසේය. ඊ. ෆෙඞ්රික් ද සිල්වා (එජාප තරුව) 9892 පියසේන තෙන්නකෝන් (ශ්‍රීලනිප අලියා) 9493 වැඩි ඡන්ද ගණන 399 ප්‍රතික්ෂේප කළ ඡන්ද පත්‍රිකා ගණන 90 ඡන්දය දුන් මුළු ගණන 19,475 ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 30,821.
1954.10.25 ‘දිනමිණ’ වාර්තාවකට අනුව මෙම අතුරු මැතිවරණයෙන් විශේෂ සිදුවීමක් වූයේ පාවිච්චි කරන ලද ඡන්ද පත්‍රිකා අඩංගු පෙට්ටි 24න් 03ක් පරීක්ෂා කර බලා වාර්තා කිරීමට ආණ්ඩුවේ රස පරීක්ෂක වෙත යැවීමය. සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා දැමීමට දුඹුරු පැහැති පෙට්ටි ද සීල් තැබීමේ ද්‍රව්‍ය හා අනෙකුත් උපකරණ බහාලීමට සුදුපාට පෙට්ටි ද පාවිච්චි කිරීමට තීරණයවී තිබුණි. නමුත් අම්පිටිය, උඩපොල හා උඩුගම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පත්‍රිකා දැමීමට සුදුපාට පෙට්ටි භාවිතා කර තිබුණි. විපක්ෂනායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මෙයට විරුද්ධත්වය දැක්විය. මෙම ඡන්ද මධ්‍යස්ථාන තුනම තම පක්ෂයට වැඩිපුර බලයක් තිබූ ඒවා බව ඔහු කියා සිටියේය. මේ හේතුවෙන් ඡන්දය ගණන් කිරීම ද පැයකින් පමණ ප්‍රමාද විය. ඡන්ද පත්‍රිකා දෙවන වරටත් ගණන් කරන ලෙස ශ්‍රීලනිපය ඉල්ලා සිටි අතර එය අවසන් වනවිට අලුයම් කාලය උදා වෙමින් පැවතින.
ජී. ආර්. ඩී. බණ්ඩාර