ආණ්ඩු ගෙදර යැවූ පින්සලක මහිමය


 

බහු මන්ත්‍රී කොට්ඨාස තුනක දෙවැනි මන්ත්‍රී ධුර අහිමි වුණි නම් රටේ රාජ්‍ය බලය ඉසිලූ ප්‍රධාන පක්ෂ දෙකට එම පාර්ලිමේන්තු මහා මැතිවරණවලින් හිමිවන්නේ ඡන්ද කොට්ඨාස පහක ජයග්‍රහණයක් පමණි. එසේ වීමට පෙර එම පක්ෂ ආණ්ඩු බලය මෙහෙයවූයේ 2/3 බලයට ආසන්නව හා 2/3 ජනවරමක් හිමිකර ගනිමිනි.


1956 එක්සත් ජාතික පක්ෂයට හා 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවැනි දේශපාලන පාඩමක් ජනතාව ඉගැන්වූහ. එම ජනතා පෙළගැස්මට කාටුන් පෝස්ටර් දෙකක් ද ඉවහල්වූ බව දේශපාලන විචාරකයෝ පවසති.
දේශය හා ජනතාව ගැන නොසිතා බලධාරීන් ක්‍රියා කරන්නේ නම් රටේ බහුතරයට ඒ පිළිබඳව විවේචනයක් ඇත. එවැනි විවේචනයන්ට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ඇතිවන්නේ දේශපාලනමය නොසන්සුන් බවක් හා කෝපයකි. දෙන්නම් බැටේ න්‍යාය ඉදිරියට එන්නේ එලෙසිනි. පුවත්පත්හි කාටුන් ශිල්පියා එවැනි අවස්ථා උත්තේජනය කළත් එම උත්තේජනය තුළින් ජනතාව උපහාසය හාස්‍ය විඳ ගනිමින් තම දේශපාලන නොසන්සුන්තාවය මොහොතකට හෝ යටපත්කර ගනිති. එවැනි අවස්ථා ජනමතය හැසිරවීමක් ද වෙයි. නමුත් දේශපාලඥයෝ නොදන්නවුන් ලෙස හැසිරෙති.


ප්‍රධාන සිරස්තලයට දෙවනුව යොමුවෙන ඇත්ත පුවත්පතේ පාඨකයා පළමුව කියවන්නේ යූනුස් හෝ මොටාගෙදර ගේ කාටුන් බව ද පැවසේ. වරෙක යූනුස්ගෙ කාටුන් නිර්මාණයෙන් කියැවෙන දේශපාලනය විඳදරා ගැනීමට නොහැකි වූවෝ ඔහුට දැලිපිහි පහර කිහිපයකින් සංග්‍රහ කළහ.


කියන දේ කරන කරන දේ කියන සංශෝධන පවා නොකර තම හැඟීම් නිදහසේ හෙළිකර මතුවෙන ප්‍රශ්න නොතකා හරින සර් ජෝන් කොතලාවල මහතා කාටුන් නිර්මාණ අගය කළ බව ප්‍රකට කරුණකි. පැරණි ‘ලංකාදීප’යේ කාටුන් ශිල්පියෙකු වූ ජී. එස්. ප්‍රනාන්දු සර් ජෝන් කොතලාවලගෙන් නිතරම බිත්තර ආප්පවලින් සංග්‍රහ ලැබුවේ අගය කිරීමක් වශයෙනි. නමුත් සර් ජෝන්ගේ ඇරයුම් නිර්මාණ ශිල්පියා භාර ගන්නේ දෙගිඩියාවකිනි. ඒ කුමක් සිදුවේදැයි නොදන්නා නිසාය. තමා පිළිබඳව පළවූ කාටුන් එකතුවක් මේ අගමැතිවරයා සතුව තිබූ බව ද සඳහන්ය.


පුවත්පත් කාටුන් හා කාටුන් පෝස්ටර් සේවය කරන්නේ ජනතා මතය හැඩ ගැස්වීමටය. කාටුන් පෝස්ටර් එළිදකින්නේ මහා මැතිවරණයක දීය. එවැනි කාටුන් පෝස්ටර් දෙකක් 1956 හා 1977 ගස්, ගල්, තාප්ප, බිත්තිවල ඇලවී තිබිණි. ජන මනැසට වේගයෙන් කාවැදුණු එම පෝස්ටර් දෙකෙන් ගෙනා මත වාදය තුළින් ප්‍රධාන පක්ෂ දෙකේ කොඳු නාරටි බිඳ දැමුණි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර හෝ එම දෙපක්ෂයට හිමි නොවීය.
1956 එජාප විරෝධී කාටුන් පෝස්ටරය


අගමැති සර් ජෝන් කොතලාවල මහතාට හා අධිරාජ්‍ය ගැතිකමට එරෙහිව විරෝධයක් මෙම පෝස්ටරයෙන් දැක්වුණි. මාර යුද්ධය නමින් හැඳින්වුණ එහි නිර්මාණය ශ්‍රීලංනිප ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට ආධාර කළ එක්සත් භික්ෂු පෙරමුණේ සංකල්පයක් අනුව සිදුවිය.


ප්‍රවීණ මාධ්‍යවේ දී වික්ටර් අයිවන් මහතා එම අපූරු පෝස්ටරය පිළිබඳව හාවර්ඞ් රිගින්ස් පළකළ විග්‍රහයක් තම ‘පන්සලේ විප්ලවය’ කෘතියේ මෙලෙස දක්වා ඇත. (ජේ. ආර්. ජයවර්ධන පළමු වෙළුම සංස්කරණය කළේ කේ. එම්. සිල්වා මහතා හා හාවර්ඞ් රිගින්ස් මහතාය)


පෝස්ටරයේ එක් පසෙක බෝධියක් මුල වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවකි. චිත්‍රයේ ඉතිරි කොටස යූ.එන්.පියේ සලකුණ වූ ඇතා පිට නැගගත් සර් ජෝන් ප්‍රමුඛ කොට ගමන් ගන්නා දිග පෙරහැරකි. සර් ජෝන්ගේ අත තිබෙන්නේ බුදු පිළිමයේ හදට ඉලක්ක කළ හෙල්ලකි. ඇතා පිට සිටින ඔහුට පිටුපසින් ඉන්නේ ඔහුට සිටියේ යැයි කියන ප්‍රසිද්ධ බොහෝ යෙහෙළියන්ගෙන් එක්කෙනෙකි.


ඔහු පිටුපසින් එන පෙරහැරේ බාල් නටන්නෝය. ෂැම්පේන් බොන්නෝය. මුදලට ආවඩන පත්තර කාරයෝය. බෞද්ධ රටක මස් පිණිස සතුන් මැරීම පිළිකුල් කරනු ලැබේ. වරක් අගමැති ප්‍රසිද්ධියේ පිළිස්සූ වසු පැටවෙකු ඔහු අතින්ම මස් කිරීමේ සිත් කම්පා කරවන සිද්ධිය සැදැහැවතුන්ට මතක් කරනු සඳහා පෝස්ටරයේ ඉදිරි පසින් මැරූ වසු පැටියෙකු සහිත කරත්තයක් ද වේ. පසුබිමෙහි ඇමරිකානු මුදල් හිමියෝ කිහිපදෙනෙකු (අන්කල් සෑම්) විශාල ඩොලර් සලකුණු ඔසවා ගෙන සිටියි.


පෝස්ටරයේ මාතෘකාව වූයේ ‘මාර යුද්ධය 2500 ට පෙරත් අදත්’ යන්නයි. යටින් මේ කියමන විය. ‘මේ බුද්ධ ජයන්ති වර්ෂයේ දී ඔබගේ රට, ජාතිය, සමය ද්‍රවිඩ බලවේගයන්ගෙන් රැකගන්න’ මෙයින් හැඟවූ බව පැහැදිලිය. බොහෝ විහාර බිතු සිතුවම්වලත්, මීට නොවෙනස් දර්ශනයක් පෙන්නුම් කරයි. පවුකම්වල සංකේතය වූ මාර ඇතුපිට නැගී බුදුන්ට සහ බුදුන් අනුව යන්නන්ට පහරදෙයි. බුදුන්ගේ දැහැමි නිර්මල ගුණයේ බලයෙන් මාරගේ සිත අවුල්වේ. ඇතු බිම ඇද වැටේ. බිම හෙළනු ලැබූ මාර බෙලහීන වේ.


1952 දෙවන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 101 දෙනාගෙන් ඡන්ද කොට්ඨාස අනුව 54 ක් හා පත්කළ මන්ත්‍රීවරු 06 දෙනා ඇතුළුව මන්ත්‍රීවරුන් 60 ගෙන් සමන්විත විය. ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 1,026,005 කි. එය අති විශිෂ්ඨ ජයකි. 1956 තෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 738,551 ලබා ගනිමින් ජයගත් මන්ත්‍රී සංඛ්‍යාව 08 කි.


දොඩම්ගස්ලන්ද සර් ජෝන් කොතලාවල, හොරොව්පතාන ඊ. ඇල්. බී. හුරුල්ලෙ, මතුරට එම්. ඩී. බණ්ඩා, හක්මන සී. ඒ. ධර්මපාල, තලවාකැලේ කේ. හේමචන්ද්‍ර සහ මැදකොළඹ 2 වන මන්ත්‍රී සර් රසික් පරිඞ්, බදුල්ල 2 වැනි මන්ත්‍රී එස්. ඒ. පීරිස්, කඩුගන්නාව 2 වැනි මන්ත්‍රී එල්. එස්. ජිනසේන එම මන්ත්‍රීවරු අට දෙනාය.

 


1977 ශ්‍රීලංනිප විරෝධී කාටුන් පෝස්ටරය


හත් වසක සාපය ලෙස නම්කර තිබූ එම පෝස්ටරය පවුල් ගස ලෙස හැඳින්විය. ‘රට හදන්න ගස් වවන්න ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඔබේ පවුල සංවිධානය කරන්න’ යනුවෙන් සඳහන් කර ‘ජනතාවගේ ලේවලින් උරාගෙන වැඩෙන මේ ගස අනිකක් නොව බණ්ඩාරනායක පවුලයි. මේ ගස තවදුරටත් වැඩෙන්න ඉඩ හරිනවාද’ යනුවෙන් ඡන්ද දායකයින්ගෙන් විමසීමක්ද කරයි. දේශය වසාගෙන ජනතාව යට කර ගනිමින් නිර්මාණය කළ පවුල් ගසේ අතු ඉති බණ්ඩාරනායක හා රත්වත්ත පරපුරේ ඥාතීන් ගෙන් නම් කර ඇත. එජාප විද්වත් මඩුල්ලක අදහස් ලෙස මේ කාටුන් පෝස්ටරය නිර්මාණය කර තිබේ.


1970 සත්වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි පෙරමුණක් ලෙස ශ්‍රීලංනිප ලංසසප හා කො.ප. ඡන්ද 2,415,302 ලබමින් ඡන්ද කොට්ඨාස 115 ක් දිනා ගන්නා ලදී. එය 2/3 ක ජන වරමකි. 1977 අටවැනි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාගත හැකිවූයේ ඡන්ද 1,855,331 හා කොට්ඨාස අටක ජයක් පමණි. අත්තනගල්ල සිරිමාවෝ බණ්ඩාරනායක, මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක, ගම්පහ එස්. ඩී. බණ්ඩාරනායක, ආනමඩුව සද්ධාතිස්ස වඩිගමංගාව, කොත්මලේ ආනන්ද දසනායක සහ නුවරඑළිය මස්කෙළිය 2 මන්ත්‍රී අනුර බණ්ඩාරනායක, මැද කොළඹ 3 මන්ත්‍රී හලීම් ඉෂාක්, බේරුවල 2 මන්ත්‍රී ආර්. ජී සමරනායක, ජයගත් මන්ත්‍රීවරු අටදෙනා වෙති.


බහු මන්ත්‍රී ආසන නොතිබිණි නම් දෙපක්ෂයටම හිමිවීමට නියමිතව තිබුණේ මන්ත්‍රීවරු පස්දෙනා බැගිනි. දේශපාලකයින්ගේ කතා රට වැසියෝ සැලකිල්ලට නොගනිති. නමුත් කාටුන් තුළින් ගෙනෙන පණිවිඩයට උපහාසයෙන් වුවත් ඒකමතික වෙති. පාලකයින් මේ පිළිබඳව වටහා ගැනීම තම දේශපාලන සෞඛ්‍යයට හිතකරය.

 

 

 

 

ගණේමුල්ල - බුද්ධි බොල්ලත