තෙල් මෙටි්‍රක් ටොන් 40,000 ක් අරන් ලේඩි නෙවර්ස්කා අද කොළඹට.
තෙල් හිඟය ගැන සැකයි - අගමැති.
පෙට්‍රල් නැතිව කැබිනට්ටුවත් රත්වෙයි. තෙල් වැඬේ මෛත්‍රී අතට ගනී. තෙල් පෝලිම් තවදුරටත්, තෙල් නැව් දෙකක් හෙට ලංකාවට - අගමැති, තෙල් වැඩි කරන්නේ නැහැ. අඩුකරන්නෙත් නැහැ- අර්ජුන, තෙල් පෝලිම් තවදුරටත්. තෙල් හිඟයට හේතු හොයන්න ඇමැති කමිටුවක්. අයි.ඕ.සී. සමාගම හිතා මතා රට තුළ තෙල් හිඟයක් ඇති කළා දැයි සැකයක් - අනුර කුමාර දිසානායක, බාලතෙල් ගෙනල්ලා මිනිස්සු අමාරුවෙ දාන්න අපට බෑ - රන්ජන් රාමනායක, සරල ප්‍රශ්නයක්වත් විසඳා ගන්න ආණ්ඩුවට බෑ - උදය ගම්මන්පිල, තෙල් නැති නිසා රටම අවුල්වෙලා - දිනේෂ් ගුණවර්ධන, ඛණිජ තෙල් සම්බන්ධයෙන් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා - චම්පික රණවක. මෙම සියලුම පුවත්පත් සිරස්තල පළවූයේ මෙම නොවැම්බර් අටවැනිදා දිනපතා පුවත්පත් කීපයකය.
පසුගිය දිනවල උද්ගත වූ තෙල් හිඟය රට කෙතරම් අර්බුදයකට පත් කර ඇතිදැයි වටහා ගැනීමට මෙම සිරස්තල කීපය පමණක් වුවද සෑහේ. දුම්රියේදී බස් රියේදී කාර්යාලයේදී පමණක් නොව මිනිසුන් ගැවසෙන ඕනෑම තැනකදී මේ දිනවල අසන්නට දකින්නට ලැබෙන්නේ තෙල් හිඟය නිසා ඇතිව තිබෙන අපහසුතාවන් ගැනය. එමෙන්ම තෙල් අලෙවිසල් අසල පොදි කන පැය ගණන් පෝලිමේ යන තෙල් පාරිභෝගික භවත්හුය. වාහනයේ තෙල් ටැංකියට මිස බෝතල්වලට හෝ කෑන්වලට තෙල් නොදෙන නිසා ආරවුල් කරන පාරිභෝගිකයන්ට පහර දෙන පොලිස් නිලධාරීන් පෙන්වන ජනමාධ්‍ය ප්‍රචාරයන්ය.
මෙම තෙල් අර්බුදය ජාත්‍යන්තර මාෆියාවක් විසින් ඇති කරන ලද්දක් යැයි කියන අයද නැත්තේ නොවේ. අතීතයේ සිට ලෝකයේ නොයෙක් රටවල සිදුව ඇති විවිධ සිදුවීම් අනුව සලකන විට එවැනි අදහසක් වුවද එක එල්ලේම ප්‍රතික්ෂේප කළ නොහැකි වන්නේ එවැනි බරපතළ සිදුවීම් මෙම තෙල් හේතුකොටගෙන සිදුවී ඇති නිසාය. කලකට පෙර ඛණිජ තෙල්, නිෂ්පාදන සහ වෙළෙඳ භාණ්ඩයක් ලෙස පැවතියද මේ කාලය වන විට තෙල් යනු දේශපාලන අවියක් බවට පත්ව තිබෙන වාතාවරණය හමුවේ ඕනෑම දෙයක් සිදුවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. මෙයට හොඳම නිදසුන දැක්විය හැක්කේ ඉරානයෙනි.
වර්තමානයේ අයතුල්ලාවරුන් නමින් හැඳින්වෙන පූජකවරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති ඉරානය 1979 විප්ලවයට පෙර පාලනය කලේ ෂා රජ පරපුර විසිනි. රටේ සර්වබලධාරී පාලකයා ලෙස ඔහු කටයුතු කළා වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මජ්ලිස් නමැති පාර්ලිමේන්තුවක්ද එයින් පත් කෙරෙන අගමැතිවරයෙකු සහ ඔහු යටතේ ඇමැති මණ්ඩලයක්ද විය. රට පාලනය කළ යුතු වූවේ අගමැතිවරයාත් ඇමැති මණ්ඩලයත් විසින් වුවද රෙසා පාලවි ෂා රජතුමා කිසි විටෙකත් එයට ඉඩ දුන්නේ නැත. බි්‍රතාන්‍ය පාලනයට අවශ්‍ය පරිදි ඉරානයේ තෙල් සම්පත භුක්ති විඳීමට නිදහසේ ඉඩ සලසා දී තිබුණු නිසා ෂා රජු ආරක්ෂා කිරීමට බි්‍රතාන්‍යය සහ ඇමෙරිකාව නිති කැපවී සිටියේය. එකල කාන්තාරවාසී දුගී දුප්පත් ජනතාවක් වශයෙන් සිටි ඉරානයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තම රටේ තෙල් ආදායමින් කොටසක් යෙදවිය යුතු යැයි අගමැති මොසාඩෙක් තෙල් සමාගම්වලට නියෝග කළේය. එකල ඉතා බලගතු තත්ත්වයක පැවැති තුඬේ නමින් හැඳින්වුණු ඉරාන කොමියුනිස්ට් පක්ෂයද මොසාඩෙක්ට ධෛර්ය දුන්නේය. ෂා රජු තෙල් සමාගම්වල පැත්ත ගත්තේය. ජනතාවට සුබ සාධනය සඳහා මුදල් දීම් ඔවුහු ප්‍රතික්ෂේප කළ අතර මොසාඩෙක් මජ්ලිස් හි බලය යොදවා සියලු තෙල් සමාගම් ජනසතු කරනු ලැබීය. එයින් ඇතිවුණු බල අරගලය දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය කළේය. ෂා රජුට බලය අතහැර රටින් පැන යාමට සිදුවුවත් බටහිර කඳවුරේ ආධාර ඇතිව නැවත බලයට පත්විය.
යුද්ධාධිකරණය හමුවට පමුණුවන ලද මොසාඩෙක්ට රාජ ද්‍රෝහී චෝදනා එල්ල කරන ලදුව සිරගත කරන ලද අතර ඔහුගේ විදේශ ඇමැතිවරයා අභිරහස් ලෙස ඝාතනය කර කැබැලිවලට කපා දමා තිබුණි. කොමියුනිස්ට්වාදී තුඬේ පක්ෂයේ සාමාජිකයන් සමූලඝාතනය විය. තෙල් සමාගම් හිමියෝ ජයගත්හ. ෂා රජු බිසවුන් මාරු කරමින් තවත් බොහෝ කාලයක් ඉරාන සිංහාසනයේ යෙහෙන් වැජඹුනි.
අරාබි යුදෙව් ගැටුම බයිබලය යුගයේ සිට පැවත එන්නක් බව කියනු ලැබේ. පොරොන්දු වූ දේශයක් ඇතැයි ද එය තමන්ගේ අයිතිවාසිකමකැයිද යුදෙව් ජනතාව විශ්වාස කළහ. 1945 දී ලෝක යුද්ධය අවසන් වන විට හිට්ලර්ගේ මිනීමරු හමුදා අතින් කෝටි ගණනක් යුදෙව්වන් මරා දමා තිබුණි. ජනවාර්ගික ශුද්ධ කිරීමට ලක්වූ මෙම අසරණයෙන් දුටු තැන මරා දැමීමට නාසීහු පසුබට නොවූහ. යුද්ධයෙන් පසු මෙම රටක් නොමැති මිනිසුන් පලස්තීනය වෙත රැගෙන විත් මෝසෙස් මුනිවරයාගේ සමයේ සිදුවූ මහා සංක්‍රමණයේදී ඊශ්‍රායලයෙන් පිටව නොගොස් පදිංචිව සිටි තම මුල් ඥාතීන් අතරට එකතු කරනු ලැබූහ. පසුකාලීනව තම බටහිර හිතවත් රාජ්‍යයන්ගේ ආශීර්වාදයෙන් ඉතා ශක්තිමත් රාජ්‍යයක් බවට ඊශ්‍රායලය පත් විය. මෙසේ නැගී එන ඊශ්‍රායෙල් රාජ්‍යය තම දොරකඩ පැවතීම යාබදව පැවැති අරාබි රටවලට රිස්සුවේ නැත. එවකට අරාබි රාජ්‍යයන්ගේ ජනප්‍රියම සහ බලවත්ම නායකයා වූ මිසර ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ගේ මැදිහත්වීම මත මුළු මහත් අරාබි රාජ්‍යයන්ගේ ශක්තිය යොදවා 1967 ජුනි මාසයේදී අතිවිශාල ප්‍රහාරයක් දියත් විය. මෙම පහරදීමට පෙර නසාර් ගර්ජනා කරමින් දිවුරා කියා සිටියේ ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දමන බවයි. සමස්ත අරාබි රාජ්‍ය පද්ධතියම ඒකාබද්ධව සිදු කළ මෙම ආක්‍රමණයට ඊශ්‍රායලය නොබියව මුහුණ දුන්නේ තම බටහිර සගයන්ගෙන් ලැබෙන නොමද ශක්තිය උපයෝගී කර ගනිමිනි. දින හයක් යුද්ධය පැවතුණි. එය අවසාන වනවිට මිසරයේ සූවස් ඇලේ බටහිර ඉවුරත් ගාසා තීරය හා සිනාසි අර්ධද්වීපයත් සිරියාවේ ගෝලාන් කඳුකරයත් ජෝර්දානයේ බටහිර ඉවුරත් මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය සමත් විය. ඬේවිඞ් බෙන් ගුරියන් මෝෂේ දයාන්, ගිට්ෂාක් රාබින් ආදී නායකයන්ගේ අප්‍රතිහත ධෛර්යෙන් ගොඩ නැගූ ඊශ්‍රායෙල් හමුදාවෝ ජයග්‍රහණය අත්පත් කර ගත්හ.
මෙසේ යුද්ධයෙන් අත්පත් කරගත් විශාල භූමි භාගය අරාබින්ට ආපසු දෙන ලෙස එජා සංවිධානය ඇතුළු ජාත්‍යන්තරය විසින් කරන ලද කිසිදු ඉල්ලීමක් ඊශ්‍රායලය පිළිගත්තේ නැත. එම පෙදෙස් තම පාලනය යටතේ ජනාවාස කිරීමට එරට ක්‍රියා කළේය. මේ වන විට තෙලේ බලයෙන් සමෘද්ධිමත් වෙමින් සිටි අරාබි නායකයෝ 1973 දී නැවතත් යුද්ධයක් ආරම්භ කළහ. එයද අවාසනාවන්ත ලෙස පරාජයට පත් විය.
මේ අවස්ථාවේදී කෝපයට පත් අරාබි නායකයෝ තමන් සතු තෙල් සම්පත ආයුධයක් ලෙස භාවිත කිරීමට තීරණය කළහ. තමනට කෙතෙකෙුත් බාධා කරන ඊශ්‍රායලයට පාඩමක් ඉගැන්වීමට නොහැකිව ඇත්තේ ඇයගේ මිතුරු රාජ්‍යයන් වන බි්‍රතාන්‍ය, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය ආදී බටහිර කඳවුර නිසා බැවින් ඔවුනට පාඩමක් ඉගැන්වීම සඳහා තෙල් මිල ඉහළ යාමට සලස්වනු පිණිස අරාබි රටවල් තෙල් නිෂ්පාදනය සිය කැමැත්තෙන්ම විශාල ප්‍රතිශතයක් අඩු කළේය. තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ නැංගේය. බටහිරට මරු පහරක් එල්ල වුවත් එම රටවල ධන සම්පත උපයෝගී කර ගනිමින් එම ගැටලුවට මුහුණ දුන්නේය. විද්දෙ පඳුරට වැදුනෙ හාවාට කීවාක් මෙන් මෙම තීරණයෙන් අපසුතාවයට පත්වූයේ බටහිර කඳවුර නොව ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ දුප්පත් රටවල්ය. ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක රජය, ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි රජය, සුළි සුළඟකට අසුවූවාක් මෙන් ගසා ගෙන යාමට මූලිකම හේතුව වූයේ මෙම තෙල් අර්බුදයයි. පසුව කුමන අර්ථකථන ලබා දුන්නත් මෙම අර්බුදයේ මූල බීජය තෙල්ය.
ලංකාවේ තෙල් ගෙන්වීම බෙදාහැරීම සහ අලෙවිය යන අංශ තුනම අයත්ම තිබුණේ බටහිරට අයත් බහුජාතික සමාගම්වලටය. බි්‍රතාන්‍යයේ ෂෙල් සමාගම, ඇමරිකාවේ එසෝ සහ කැල්ටෙක්ස් සමාගම් එම අධිකාරිය අත්පත් කොට ගෙන සිටියේය.
උපයා ගන්නා ලාභාංශ කෙළින්ම තම රටවල භාණ්ඩාගාරයට ගලා යාමට සලස්වනවා මිස මෙරට ජනතාවට කිසිදු සහනයක් සැලසීමට ඔවුහු උනන්දුවක් නොදැක්වූහ.
මේ වන විට ශ්‍රී ලංකාවේ පැවතියේ බොහෝ සෙයින්ම වාමාංශික මුහුණුවරක් ගත් රජයකි. 1960 ජුලි මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් තරග කළේ ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය යන වාමාංශික පක්ෂ දෙක සමග නිතරඟ ගිවිසුමක් ඇතිවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආසන 75 ක් ලැබුණු නිසා තනිව ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකි විය. එම පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලද නමුදු පෙර කී වමේ පක්ෂ දෙකේ විවේචනාත්මක සහයෝගය නිරන්තරයෙන්ම රජයට ලැබුණි. එනිසා එම පක්ෂවල ප්‍රතිපත්තිමය බලපෑම රජය වෙත නිතරම පාහේ එල්ල විය. රජයේද එම ප්‍රතිපත්ති ගරු කරන හා පිළිගත් ප්‍රබල ඇමැතිවරු මෙන්ම මුල් පෙළේ මන්ත්‍රීවරුද වූහ. දීර්ඝ කාලයක් තිස්සේ තෙල් ජනසතුව සහ වතු ජනසතුව ගැන හඬ නැගීම රතු පක්ෂ සිරිතක් ලෙසට පවත්වාගෙන ආවේය. මෙම රජය වැඩ බාරගත් වහාම වාගේ උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබුණි. ඒ තේ මිල පහළ වැටීමයි. එනිසා එම වෙළෙඳ පොළ පුළුල් කර ගැනීම අත්‍යවශ්‍ය විය. ලංකාවේ සම්ප්‍රදායික තේ ගැනුම්කරුවා වූයේ මැද පෙරදිග රටවල්ය. එහෙත් ඒ වකවානුවේ එම රටවල් සියල්ලම පාහේ දැඩි විදේශ විනිමය අර්බුදයකට මැදිවී සිටි නිසා තේ මිලදී ගැනීම සීමා කිරීමට සිදුවී තිබුණි.
මෙම ගැටලුවේදී ශ්‍රී ලංකාවේ යෝජනාව වූයේ ශ්‍රී ලංකාවේ තේ ලබාගෙන අරාබි රටවලින් ඒ වෙනුවට තෙල් ලබාදෙන ලෙසය. එහෙත් එවැනි ද්වීපාර්ශ්වික ගිවිසුම්වලට ඉඩක් නොමැති බව ලංකාවට තෙල් සපයන බහුජාතික සමාගම් කියා සිටියේය. රට මුහුණපාන අර්බුදය ගැන ඔවුනට හැඟීමක් නොවීය. එම සමාගම් මුල් තැන දුන්නේ තමනට ලැබෙන ලාභය ගැන පමණි.
මුහුණ පා ඇති ප්‍රශ්නයට පිළියමක් වශයෙන් ද්වීපාර්ශ්විකව අපේ තේ වෙනුවෙන් රජය මැදිහත්ව තෙල් ආනයනය කර අලෙවිය එම සමාගම්වලට ලබා දීමට වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මහතා කළ යෝජනාවටද තෙල් සමාගම් එකඟ නොවීය. මෙම මතභේදය දිගින් දිගටම උග්‍ර අවස්ථාවට පත්වෙද්දී රජයේ ගැටලුව විසඳීමට ඇති එකම විකල්පය වූවේ තෙල් ව්‍යාපාරය රජය සතු කිරීමය. එම යෝජනාව වටින් ගොඩින් කලඑළි බසිද්දීම වාමාංශිකයෝ ප්‍රීතියෙන් පිනා ගියහ. රටපුරා රැස්වීම් පෙළපාළි පවත්වමින් නොපමාව එය සිදුකරන ලෙස රජයට බල කරනු දක්නට ලැබුණි. එය හොරාට පෙර කෙසෙල් කැන වැට පැන්නාක් බඳු සිදුවීමක් විය.
නිල වශයෙන් නොවුණත් මෙම ප්‍රවෘත්තිය ආරංචි වීමත් සමග බි්‍රතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයන් මෙම තෙල් ජනසතුව කළහොත් ලංකාවේ රජය කරන්නේ බලවත් වරදක් බවත් එයින් එම රටට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අනතුරු හැඟවීය.
ලංකාවේ ඇමරිකානු තානාපතිව සිටි ෆ්‍රාන්සස් වීලීස් මහත්මිය වී පැදුරට ඇදෙන කිකිළියක මෙන් අගමැතිනිය හමුවීමට අරලියගහ මැදුරට නිතර නිතර පැමිණීම සිරිතක් කොටගෙන විවිධාකාර යෝජනා ඉදිරිපත් කළාය.
එකල මෙරට සියලුම පාසල් දරුවන්ට දිවා ආහාරය වශයෙන් බනිස් ගෙඩියක් සහ කිරි වීදුරුවක් ලබාදුන්නේය. එහි බරපැන දැරුවේ එකල ක්‍රියාත්මක වූ ඇදිහැස නම් වූ ඇමරිකානු ප්‍රතිපාදන මත යැපෙන එරට සංවිධානයකි. මෙම ආහාර ආධාර ඇමරිකාව විසින් අත්හිටුවන ලදී.
මෙසේ තෙල් ව්‍යාපාරය ජනසතු කිරීමෙන් පසු එය කඩාකප්පල් කිරීම සඳහා නොයෙකුත් උපක්‍රම සකස් කිරීමට තෙල් සමාගම් කටයුතු කරනු දක්නට ලැබුණි. එක් පියවරක් වූයේ රජය විසින් ඇති කර තිබූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් මිලදී ගැනීම අවහිර කිරීමයි. වෙළෙඳපොළ අල්ලා ගෙන සිටි එම සමාගම් හිමියෝ එවැනි ශක්තියක් ඇතිව සිටියහ.
මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුව සිටි රජය ඒ වන විටත් සෝවියට් රජය සහ ඊජිප්තුව ලංකාවට තෙල් ලබාදීම සඳහා එකඟ කරවාගෙන තිබුණි. එම එකඟතාවය මත අවශ්‍ය පමණ ඛණිජ තෙල් සපයා ගැනීමට රජය සමත් විය. එහෙත් එම තෙල් දුගඳ හමන බවත් ඒවා භාවිත කළහොත් වාහන අබලන්වනු ඇතැයි තදබල ප්‍රචාරයක් යැවීමට ප්‍රතිවාදියෝ කටයුතු කළහ. එයට රජය දැක්වූ ප්‍රතිචාරනය වූවේ “අනවශ්‍ය තැන්වලට නහය නොදමනු” යන්නය. එහෙත් එම රුසියානු ඛනිජ තෙල් දමා කිසි අවහිරයක් බාධාවක් නොවන බව ක්‍රියාවෙන්ම පෙන්වා මාධ්‍ය දැනුවත් කිරීමට රජය කටයුතු කළ බව අපට මතකය.
මේසා පරිත්‍යාගයෙන් ගොඩනගා ගත් රාජ්‍ය සතු ඛණිජ තෙල් ව්‍යාපාරයට නොයෙක් විට කණ කොකා හැඬූ ආකාරය අපි දුටිමු. එයින් සමහර ව්‍යාපාරික අංශ වෙනත් ආයතන වෙත පවරා දෙනු ලැබීය. පසු කාලීනව ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කර සිපෙට්කෝ නම් සමාගමක් බවට පත් කරනු ලැබීය. අර්බුදය එය තවදුරටත් දියුණු තියුණු කරමින් ඛණිජ තෙල් සංස්ථාවට සමගාමීව මුහුණට මුහුණ තරගකාරිත්වයක් නිර්මාණය කරමින් ඉන්දියානු තෙල් සමාගමට ශ්‍රී ලංකාවේ තෙල් වෙළෙඳාමට අවතීරණ වීමට ඉඩ සලසා දී තිබේ. එහි ප්‍රතිඵල අද නොයෙක් අතින් දක්නට ලැබේ.
අරාබි රටවලට අමතරව විශාල තෙල් නිෂ්පාදනයක් පැවැති රටක් වශයෙන් වෙනිසුලාව ප්‍රසිද්ධය. ඇමෙරිකානු රාජ්‍ය පද්ධතියේ විශාල වෙළෙඳ බලයක් හිමිව තිබුණු එම රටේ විප්ලවවාදී නායකයෙක් වන හියුගෝ චාවේස් බලයට පත්වූවේ ජනතා වරමින්ය. ජනතාවගේ අභිලාෂයන්ට ගරු කරමින් ඔහු තම රටේ තෙල් ව්‍යාපාරය ජනසතු කළේය. ඒවා අයිතිව තිබුණේ බහුජාතික සමාගම්වලටය. එය අසාර්ථක කිරීමට එකී සමාගම් නොයෙකුත් උපක්‍රම භාවිත කළ ආකාරය ජාත්‍යන්තර මාධ්‍යවල පළ විය. ජනතාව උසිගන්වා විරෝධතා ව්‍යාපාර දියත් කළ අතර චාවේස්ට කොතෙකුත් මරණ තර්ජන එල්ල විය. කලකට පසු හියුගෝ චාවේස් රෝගීව මිය ගියේය. එය ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් එක්ව පිළිකා විෂබීජ ශරීරගත කිරීම නිසා සිදු වූවක් බවට කට කතා ලෝකය පුරා පැතිර ගියේය. වසර ගණනාවක් ගතව ගොස් ඇතත් එම චෝදනා තවමත් මුළුමනින්ම ප්‍රතික්ෂේපව නැත.
මෙයට දශක දෙකකට පමණ පෙර ඉරාකය විසින් කුවේට් රාජ්‍ය ආක්‍රමණය කළේ ඒ රට තුළ පැවැති තෙල් නිධිවල තැන්පත්ව තිබූ අප්‍රමාණ තෙල් සංචිතවලට ඇති ලෝභය නිසාය. කෙටියෙන් සඳහන් කළහොත් ඉරාකයද මුළුමනින්ම විනාශ කර දමා එහි නායකයාව සිටි සදාම් හුසේන්ද මරා දැමීමෙන් පසු වුවද මෙම අර්බුදය නිමාවූවේ නැත. මිනිස් ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හැඳුන්වුණු මෙසපොටේමියාව යැයි නම් ලද මෙදා ඉරාකය තවමත් අරාජික ගිනි ගොඩකි.
එයිනුත් අනතුරුව අරාබි වසන්තය නමින් ආ සටන් රැල්ල ටියුනීසියාව, මොරොක්කෝව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව, හරහා බහරේන් රාජ්‍ය දක්වා පැතිර ගියේය. රටවල් ගණනාවක නායකයන් ඇදවැටුණු එම සටන් රැල්ල තවමත් නිමා වී නැත. සිරියාව තවමත් ගිනි ගනී. නොයෙක් විවේචනයන්ට ගොදුරු වුවත් තම රට ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි ජනප්‍රිය පාලකයෙකු වූ ලිබියාවේ ජනාධිපති මුවම්වර් අල් ගඩාබි මරා දමනු ලැබුවේ පොලුවලින් පහර දීමෙනි. ජාත්‍යන්තර මාධ්‍ය එය හැඳින්වූවේ ජලභීතිකාව වැලඳුණු සුනඛයෙකු මරා දමන අයුරින් මෙම රාජ්‍ය නායකයා ඝාතනයට ලක් කළ බවයි. මේ සියල්ලට මුල එම රටවල් සතු තෙල් සම්පත බව කාගේත් විශ්වාසයයි.
ශ්‍රී ලංකාවටද තෙල් ලැබෙන්නට ඔන්න මෙන්න බව කීප වරක් අසන්නට ලැබුණි. පේසාලේ තෙල් ළිඳකින් තෙල් මණ්ඩි හමුවූ බවට වාර්තා අපි කියවීමු. පසු කලෙක ගෑස් හමුවූ බව කියවුණි. ලෝකයේ රටවල තෙල් නිසා සිදුවන අපරාධ සහ විනාශය දුටු විට අපට නම් සිතෙන්නේ එය නොලැබෙන්නේ නම් හොඳ බවය. වරෙක දහසින් බැඳි පියල්ලක් සහිත පසුම්බියක් බුදු හිමියෝ දුටහ. උන්වහන්සේ විමසුවේ ආනන්දය, සර්පයා දුටුවෙහිද කියාය. තෙල් සම්පතද එයටත් වඩා හලාහල විසකි. ඉඳහිට ඇතිවන තෙල් හිඟයක් අපට මෙසේ පිඩා ගෙන දෙන බව ඇත්තකි. එහෙත් තෙල් නිෂ්පාදකයෙකු වීම යනු නියත මරණයකට අතවැනීමකැයි යමෙකුට සිතුනොත් එයද සාවද්‍ය නොවේ.
සෝමසිරි වික්‍රමසිංහ