ආණ්ඩු පෙරළන්නටත් අලුත් ආණ්ඩු හදන්නටත් ජනතාවට ඇති ලොකුම බලය කතිරයයි. එහෙත් කතිරයටත් වඩා බලවත් ආයුධයක් ලොව පවතී. එනම් ආහාර රටාවයි. රට කොතරම් සංවර්ධනය වුවත් සුපුරුදු ආහාර වේලට අත තැබුවොත් ආණ්ඩුව කණපිට පෙරළීමට තරම් එය බලවත් බවට ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ද සාක්ෂි දරයි.
යම් යම් යුගවල ඇතිවූ ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පරිභෝජනය, ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැනවූ අවස්ථා රැසක් ඇත. ඒ සමගම වගා සංග්‍රාමද බිහිවිය.
ගොවිතැන් කරපන් කරපන් කියලා ධර්මපාල මැති පළකෙරුවයි
එකලට සිහලුන් පිස්සා කියලා ඒ මහතාහට කෑගැසුවයි
දැන්නම් කාටත් ඒ උතුමාගේ වචනය ඇත්තයි වැටහෙනවයි
රජකම් කෙරුවත් ගොවිතැන් නොකළොත් බඩගින්නේ මිය යනවාමයි
එදා තත්ත්වය කවිකොළ කාරයන් දුටුවේ එලෙසිනි. රටට ඇවැසි තරම් සහල් නිපදවා වැඩිමනක් සහල් රට යැවීමට තරම් ස්වයංපෝෂිත යුගයන් තිබූ රටක ජනගහන වර්ධනය සරු ඉඩම් කොල්ලය, පහත් බිම ගොඩකිරීම හා සංවර්ධන නිසාත් අධිරාජ්‍යවාදී පාලකයන්ගේ බලපෑම් නිසා රට හාලට කර ගැසීමට ජනතාවට සිදුවිය.
1949-45 ලෝක සංග්‍රාම කාලය වන විට මේ රටේ වෙළෙඳාම පැවතුණේ ඉන්දීය වෙළෙඳුන් අතය. හිට්ලර්ට පක්ෂවූ ජපනුන් බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව තිබූ ලංකාවේ අගනුවරට බෝම්බ හෙළන විට ඉන්දියානු වෙළෙන්ඳෝ පලා ගියහ.
ආහාර අර්බුදයෙන් රට බේරා ගැනීමට එකල මහජන ආරක්ෂක කොමසාරිස් වූ සර් ඔලිවර් ගුණතිලක මහත් වෙහෙසක් ගත්තේය. ඒ ආහාර ආනයනය හා තොග වෙළඳාම රැකගැනීම සඳහාය. සමුපකාර සලාක ක්‍රමයට රජයේ අවධානය යොමු විය.
ඒ අනුව නොමිලේ සහල් සලාකයක් බෙදාහැරිණ. සමුපකාරය ස්ථාපිත ව්‍යාපාරයක් බවට පත්කෙරිණ. දුප්පත් ජනතාවගේ බලය හාල්පොත මත රැඳිණ.
1977 දී පිහිටූ රාජ්‍ය ධනවාදී පාලන ක්‍රමයත් විවෘත ආර්ථිකයක් නිසා සලාක ක්‍රමයට කණකොකා හැඬූ අතර හාල්පොතටද තිත වැටිණ. සහල් පමණක් නොව අධ්‍යාපන, රැකියා, විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය, පාසල් නිල ඇඳුම්, පෙළ පොත්, පොහොර, ජලය, විදුලිය වැනි අත්‍යාවශ්‍ය දෑ නොමිලේ දිය යුතුය යන සමාජවාදී සුභසාධන සංකල්පය පාලකයන්ට හිසරදයක් විය.
යූඑන්පී පාලනයක් ආ කල රට සහලින් ස්වයං පෝෂණය කරන බවටත් නගරයේ මෙන්ම ගමේ වෙළෙඳපොළද ඇපල්, මුද්දරප්පලම්, චීස්, බටර්, බුරියානි, බාස්මතී සහල්වලින් පුරවන බවට වූ පොරොන්දුවලින් සුරලොවක් මවන ලදී.
සිරිමා බණ්ඩාරනායක මැතිනිය හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කීමත් ජේ.ආර්. ධාන්‍ය රාත්තල් අටක් දෙනවා කීමත් පොරොන්දු අතර විය.
1953 දී ආහාර හිඟයට මුහුණදීමටත් අයවැය හිඟය පියවා ගැනීමටත් අගමැති ඩඞ්ලි සේනානායක ආණ්ඩුව කළේ හාල් සේරුවක මිල ශත 25 සිට ශත 75 දක්වා වැඩිකිරීමය.
සිරිමාවෝ අගමැතිනිය දරුණු තීරණයක් නොගත් නමුත් දේශීය වගා සංග්‍රාමයට අනුබලදීම සඳහා රටපුරා ආහාර පරිභෝජන හා ප්‍රවාහන සීමා නීති පැනවූවාය.
1973 දී මෙරටට ආනයනය කළ මුද්‍රණ කඩදාසි හිඟයක් ඇතිවිය. පත්තර ඇතුළු මුද්‍රණ කටයුතු අඩාළ විය. හාල් පොතටද මෙම තත්ත්වය බලපෑවේය.
1974 සිට “සහල් සලාක පොතත් පුංචිවේ.”
එසේ පුවත් පළවිය. එම වසරේ සලාක පොත් එක්කෝටි දහසය ලක්ෂයක් මුද්‍රණය කිරීමට ආහාර අමාත්‍යංශය තීරණය කළේය. මෙයින් ලක්ෂ 71ක් වතු කම්කරු ජනතාව වෙනුවෙනි. ලක්ෂ 05ක් විජාතිකයන් වෙනුවෙනි.
“සහල් සලාක පොතක් ශත 50 කටත් විජාතික සලාක පොතක් රු 2.00 කටත් මිල කෙරේ. නොමිලේ දෙන සේරුව ලබානොගන්න අයට ඒ සඳහා මුදලක් ගෙවන්න යයි”.
එසේම සතියකට දින 02ක් ආහාර අලෙවිසල්වල බත් විකිණීම තහනම් වූ අතර සහල් සේරු 02 කට වඩා රට තුළ ප්‍රවාහනයද තහනම් විය. සහල් සහ පාන් වෙනුවට අල බතල කොස් දෙල් පරිහරණයට රජය බල කළේය.
පරිභෝජනයට සුදුසු අල වර්ග අතර මඤ්ඤොක්කා, බතල, ඉන්නල, ගහල, හිඟුරල, කිරිඅල, කුකුළල, රාජාල හා හුළංකීරිය අලද විය.
එයිනුත් නොනැවතී 1971 ආහාර පාලන සීමා කිරීමේ නියෝගය යටතේ මංගල හෝ ප්‍රියසම්භාෂණ උත්සව සඳහා දෙපස නෑදෑ හිතවතුන් 150 කට සීමාවන සේ ඇරයුම් කර සංග්‍රහ කිරීමට නියෝග පැනවිණ. නියෝග නිකුත් වූයේ වෙළෙඳ අමාත්‍ය ටී.බී. ඉලංගරත්න මහතාගේ අත්සනිනි.
මෙම 150 දෙනාට සංග්‍රහය සඳහා කුලියට ගත් සේවකයන් වේටර්වරුන් සහ ගබඩාකරුවන් අයත් නොවිණ. මෙහිදී ආහාර යන්න වෙනම අරුත් දක්වා නොතිබිණ. එබැවින් මංගල උත්සවය ලියාපදිංචි දිනය මංගල දිනය හා පසුදිනය ලෙස 150 බැගින් ආරාධනා කර සාද තුනක් පැවැත්වූ අවස්ථාද වෙයි.
කලින් අවසර නොගත්තොත් අනවශ්‍ය භෝජන සංග්‍රහ ලෙස තහනමට ලක්විය. රට තුළ හාල් සේරු දෙකකට වඩා ප්‍රවාහනයද දඬුවම් ලද හැකි වරදක් විය. ආහාර පාලන රෙගුලාසි කඩන්නකුට රු 5000ක දඩයක් හෝ වසර දෙකක සිරදඬුවම් හෝ එම දෙකම නියම විය.
ජනතාවට මෙම රෙගුලාසි මහත් හිසරදයක් වූ අතර මෙයින් ප්‍රයෝජනය ගත්තේ ආණ්ඩු විරෝධී ප්‍රතිගාමීහුය.
මඤ්ඤොක්කා විසවී දරුවෝ මරුට.
විෂ අල කා මවත් බිළිඳාත් රෝහලේ
මෙවැනි මැවූ පුවත් පළවන්නට වූ අතර දවස පුවත්පත තහනමට ලක්වීමට තරම් එය බලපෑවේය.
එසේ වුවද මෙම ප්‍රවාහන සීමාවන් නිසා තම ගොවිබිම් තුළදීම වී සහ සහල් සාධාරණ මිලකට රජයට අලෙවි කිරීමට ගොවියන්ට වාසනාව ලැබිණ. අස්වනු සරුවත්ම සිංහල අවුරුදු හා වෙසක් සමයේ රට තුළ හාල් සේරු 3-4ක් ප්‍රවාහනය කිරීමට මැතිනිය අවසර දුන්නාය.
ඒ කෘෂිකර්ම ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුවගේ නිර්දේශය අනුවය. අතරමැදි සහල් ජාවාරම්කරුවන්ගේ ඒකාධිකාරය බිඳ වැටුණු අතර රජයේ ගබඩා පිරී ඉතිරිණ. මෙම උපක්‍රම පසුපස සිටි යෝධ හස්තය මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාය.
රජයට වී අලෙවි නොකරන ගොවීන්ගේ වී බුසල රු. 45 ට තක්සේරු කර ආදායම් බදු අයකර ගැනීමට තීරණය කළ බව ධීවර අමාත්‍ය ජෝර්ජ් රාජපක්ෂ නිවේදනය කළේය. මේ අතර ශ්‍රීලනිප නියෝජ්‍ය නායක අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක හා වෙළෙඳ අමාත්‍ය ටී.බී. ඉලංගරත්න යන මහත්වරු ලාංකික මිතුරන්වූ ඉන්දියාවේ හා චීනයේ සංචාරය කළ අතර එතුළින් අමතර සහල් ගෙන්වා ගැනීමට සමත් වූහ.
1965-70 අතර බිහිවූ යූ.ඇන්.පී. ආණ්ඩු සමයේ රටේ පැවති ශෝභන වටපිටාව එදා බේරුවල මන්ත්‍රී එම්.ඒ. බාකීර් මාකර් මහතා දුටුවේ මෙසේය.
චීස් බටර්වලට අද පෝලිම් නෑ (1969.02.12 දවස) මේ වගේ හොඳින් අඳින පලඳින යුගයක් කවදාවත් ආවේ නෑ. ශ්‍රී ලංකා ආණ්ඩු කාලෙ වගේ පෝලිමේ නොඉඳ චීස් බටර් ගන්න පුළුවන්.
77 ජේ.ආර්. පාලන යුගයේදී ඕනෑම දෙයක් ප්‍රමිතියකින් හෝ තහනමකින් තොරව රට තුළට ගෙන ඒමට දොර කවුළු ඇරිණ. හාල් පොත මනඃකල්පිතයක් වී සමුපකාරය අඩපණ වූයේ එදා සිටය.
1982 දී ජනාධිපතිවරණයේදී ජේ.ආර්. සමග සටන් වැදුණු ශ්‍රීලනිප අපේක්ෂකයා වූයේ එදා කෘෂිකර්ම ඇමැති ධුරය දැරූ හෙක්ටර් කොබ්බෑකඩුව මැතිඳුය.
ඔහුට සහයෝගයක් ලෙස ශ්‍රීලනිපයේ ඉඟුරු කල්ලියේ රැඩිකල් මතධාරීහු අපූරු උපක්‍රමයක් කළහ. ඒ ජේ.ආර්. අවලංගු කළ හාල්පොතේ අනුරුවක් ඡන්ද පත්‍රිකාවක් ලෙස බෙදාහැරීමය. මෙම සොඳුරු වරදට නඩු වැටී රක්ෂිත බන්ධනාගාර ගතවීමටද ඔවුන්ට සිදුවිය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි