ගිනි අවි හෙවත් තුවක්කු සහ පිස්තෝල පිළිබඳ මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ. විශේෂයෙන්ම ගණනය කළ නොහැකි ගිනි අවි පිළිබඳව මේ ප්‍රශ්නය මතුවී ඇත. ඇවන්ට්ගාඞ් නැව තුළ ඇතැයි කියන ගිනි අවි සොයා විමර්ශනයක්ද මේ දිනවල සිදු කෙරේ. මේ සියල්ල අතරින් මතුවන වැදගත් කරුණක් වන්නේ රට තුළ ඇති ගිනි අවි ගණනය කර ගැනීම අසීරුවී ඇති බවය.
අනවසර ගිනි අවි සොයා ගැනීම දැන් දශක ගණනක සිට රාජ්‍ය ආරක්‍ෂක අංශවලට බලවත් ගැටලුවක්වී තිබේ. රට තුළ ඇති ගිනි අවි පිළිබඳව ගණන් බැලීමක් මුල්වරට සිදු කරනු ලැබුවේ 1974 වසරේදීය. එයට හේතු වූයේ හැත්තෑ එකේ කැරැල්ලේ දී අනවසර තුවක්කු මගින් මිනිස් ඝාතන රැසක් සිදුවීම නිසාය.
රටතුළ ඇති තුවක්කු සහ පිස්තෝල ගණනය කිරීමක් වහාම සිදු කරන ලෙස හැත්තෑ හතර වසරේදී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය දිසාපතිවරුන්ට දැනුම් දෙනු ලැබීය. 1974 අප්‍රේල් මාසයේදී තුවක්කු බලපත්‍ර දීමද තාවකාලිකව නතර කර ඒ වනවිට දී තිබූ බලපත්‍ර අනුව බලපත්‍ර හිමියන් සතු ගිනි අවි ලැයිස්තුවක් පිළියෙල කිරීම එවකට පැවැති රජයේ බලාපොරොත්තුව විය. ඒ සඳහා නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගත්තේය. ඒ පිළිබඳ පුවත්පත් වාර්තාවක් පළවූයේ 1974 අප්‍රේල් 19 වැනිදාය.
“තුවක්කු පිස්තෝල ලැයිස්තුවක් ඕනෑකර තිබේ” යනුවෙන් ප්‍රධාන පුවතක් එවකට දවස පුවත්පතේ පළ කැරිණි. එය මෙසේය.
“දැනට රටේ තිබෙන තුවක්කු පිස්තෝල ආදියේ ලැයිස්තු වාර්තාවක් වහාම රජයට ඕනෑකර තිබේ. එම ලැයිස්තු ලබා ගැනීමට රාජ්‍ය ආරක්‍ෂක හා විදේශීය කටයුතු අමාත්‍යාංශය විධිවිධාන යොදා ඇත. මේ අනුව තුවක්කු රයිපල්, පිස්තෝල සහ අනෙකුත් භයානක අවි ආයුධ පිළිබඳ විස්තරයක් මේ සතිය ඇතුළතම දිසාපතිවරුන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයට වාර්තා කරනු ඇත.
අමාත්‍යාංශයේ තීරණය අනුව දිවයිනේ බලපත්‍ර යටතේ තුවක්කු පාවිච්චි කරන්නන්ගේ ලැයිස්තුවක් වහාම සපයන ලෙස රාජ්‍ය ආරක්‍ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් දිසාපතිවරුන් වෙත දන්වා යවා තිබේ. ඉකුත් සඳුදා සිට අලුතින් තුවක්කු බලපත්‍ර නිකුත් කිරීමද දිසාපතිවරුන් විසින් නතර කර තිබේ. දිසාපතිවරුන් විසින් මේ සතිය ඇතුළත මෙහි ලැයිස්තුවක් ආරක්‍ෂක අමාත්‍යාංශයට ලබාදෙනු ඇත.
තනි කානුවේ තුවක්කු කානු දෙකේ තුවක්කු, රයිෆල් සහ පිස්තෝල වාර්තා වෙන් වෙන් වශයෙන් දිසාපති කාර්යාල මගින් අමාත්‍යාංශයට දැන්වීමට නියමිතය. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් තනි කානුවේ තුවක්කු හාර දහසක්ද අනිකුත් තුවක්කු රයිපල් සහ පිස්තෝල දහස් ගණනක් බලපත්‍ර යටතේ පාව්චිචි කරනු ලබන බැව්ද වාර්තා වේ. කොළඹ මහ දිසාපති ඩන්කන්ද අල්විස් මහතා විසින් අද මේ පිළිබඳ වාර්තාවක් රජයට සපයනු ඇත.” යනුවෙන් එම පුවතින් අනාවරණය කර තිබිණි.
මින් අනතුරුව 1977 වසරේදී ද තුවක්කු පිළිබඳ දැඩි පරීක්‍ෂණයන් සිදු කිරීමට එවකට පැවැති රජය ක්‍රියා කළේය.
එය සිදුවූයේ හිටපු ඇමැතිවරයකුගේ නිවෙසකින් තුවක්කු රැසක් හමුවීම නිසාය. එවර මතු වී තිබූ බලවත් ප්‍රශ්නයක් වූයේ තුවක්කු තිස් දහසක් පමණ ලබාදී තිබූ අය පිළිබඳව පැහැදිලි වාර්තා නොතිබීමය. ඒ පිළිබඳව ද එක්දහස් නවසිය හැත්තෑ හතේ ඔක්තෝබර් 14 වැනිදා දවස පුවත්පත ප්‍රධාන පුවත මගින්ද අනාවරණය කරනු ලැබීය. තුවක්කු පිළිබඳව එම ප්‍රවෘත්තිය වූයේ “රට පුරාම දැඩි පරීක්‍ෂණයක් තුවක්කු තිස් දහස කෝ?” යනුවෙනි.
හිටපු ඇමැතිවරයකුගේ නිවෙසක තිබී තුවක්කු පහළොවක් හමුවීමෙන් පසුව විවිධ වර්ගයේ තවත් තුවක්කු තිස් දහසක් (30,000) දුන්නේ කාටද කුමකටද? කාගේ ඕනෑ කමකටද? යන්න පිළිබඳ රජය දැඩි පරීක්‍ෂණයක් පවත්වාගෙන යති. පසුගිය රජය පරාජය වන්නට පෙර මෙම තුවක්කු තොගය නිකුත් කර ඇති බව දැනට කෙරීගෙන යන පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. තුවක්කු තිස් දහසේ ප්‍රශ්නය පිළිබඳව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු භාර ඇමැති මොන්ටේගු ජයවික්‍රම මහතා විසින් දිසාපතිවරුන්ගේ සහාය ඇතිව දැඩි පරීක්‍ෂණයක් පවත්වනු ලබන අතර මේ කරුණු සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාපතීහූ සහ පොලිස්පති ද සාකච්ඡා කරගෙන යති.
තුවක්කු තොගය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කිරීමට ඇමැතිවරයා තීරණය කර ඇත්තේ පසුගිය රජයේ පරාජිත ඇමැතිවරයකුගේ නිල නිවාසයේ බඩු අස්කරගෙන යාමේදී බඩුගෙන ගිය ලොරියට තුවක්කු පහළොවක් පටවනු දුටු නියෝජ්‍ය ඇමැතිවරයකු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිට දැන්වීමෙන් පසුවය.
මෙම තොරතුරු ලැබුණු වහාම ඇමැති විසින් තුවක්කු නිකුත් කිරීමේ විස්තර පරීක්‍ෂා කරනු ලැබූ අතර තුවක්කු තිස් දහසක් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති අන්දම පෙනී ගියේය.
සිද්ධිය හා අදාළ කරුණු සම්බන්ධයෙන් මොන්ටේගු ජයවික්‍රම මහතා විසින් අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතාට කරුණු ඉදිරිපත් කරනු ලැබූ වහාම පරීක්‍ෂණ පැවැත්වීමට උපදෙස් දී ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිවරයා විසින් දිවයිනේ සියලුම දිසාපතිවරුන්ට නියෝගයක් යවමින් පසුගිය කාලය ඇතුළත තුවක්කු නිකුත් කිරීමේ විස්තර සම්පූර්ණ වාර්තාවක් එවනලෙස දැනුම් දී ඇත.
ඇමැතිවරයා විසින් පසුගියදා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන ලදී. තුවක්කු නිකුත් කර තිබීම ගැටලුවක් බව පෙන්වාදුන් ඇමැතිවරයා මෙම සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බැව් පෙන්වා දී තිබේ. දිස්ත්‍රික් මට්ටමේ විස්තර ලබාගත් පසු මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීමටද ඇමැතිවරයා තීරණය කර තිබේ.” යනුවෙන් තුවක්කු පිළිබඳ එම වාර්තාව පළකර තිබිණි.
එක්දහස් නමසිය පනස් හතර වසරේදීද තුවක්කු පිස්තෝල සහ ගිනි අවි ඇතුළු ආයුධ බලපත්‍ර පිළිබඳව ගැටලුවක් මතුවී තිබිණි.
බලපත්‍ර සහිත තුවක්කු වුව ද තහනම් කිරීමේ බලය පොලිසියට ලබාදෙන ලෙස එවකට හිටපු පොලිස්පතිවරයා ඇටර්නි ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණි. ගිනි අවි තබාගෙන සිටින අයගෙන් අවශ්‍ය වූ වහාම ඒවා රාජසන්තක කිරීමට පොලිසියට බලය දෙන ලෙසද පොලිස්පතිවරයා ඉල්ලා තිබිණි. එම වාර්තාවට ඇතුළත් කර තිබූ කරුණු අනුව 1953 වසරේදී සිදුවී තිබූ මිනීමැරුම්වලින් හැත්තෑ දෙකක්ම තුවක්කුවලින් සිදුකර ඇති බැව් පෙන්වා දී තිබිණි. පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීම ඇතුළත් එම වාර්තාව පළකර තිබුණේ 1953 මැයි අටවෙනිදා ලංකාදීප පුවත මගිනි.
නැවත වරක් 1980 වසරේදී තුවක්කු සහ පිස්තෝල පිළිබඳ නිවේදනයක් එවකට පැවැති රජය මගින් නිවේදනය කෙරිණි. ඒ පිළිබඳ ලංකාදීප පත්‍රයේ පළවූයේ මෙසේය. සිදුවූයේ තහනමට ලක්වී තිබූ ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කිරීමත් සමඟය. ජවිපෙ සහ රජය අතර සම්මුතියක් අත්සන් කිරීම සිදු කැරිණි. එහි එක් කොන්දේසියක් වූයේ ජවිපෙ සතු සියලු අවි ආයුධ බාර දෙන ලෙසය.
සම්මුතිය අත්සන් කිරීමෙන් පසුව එවකට ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි මහතා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි. ඒ අනුව පුවත්පත්වල ප්‍රධාන පුවත බවට පත්වූයේ එම සම්මුතිය පිළිබඳවය. ඒ වනවිට හමුදා සහ පොලිසිවලින් පැහැරගෙන තිබූ තුවක්කු 96ක් සහ සිවිල් වැසියන්ගේ අවි 600ක් පමණ වූ බැව් ප්‍රකාශ විය.
රජය වෙනුවෙන් එම සම්මුතියට අත්සන් තැබීම ලලිත් ඇතුළත්මුදලි මහතාත් ජවිපෙ වෙනුවෙන් රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක සහ කේ. සී. සේනානායක අත්සන් තැබූ බැව් වාර්තා විය.
සම්මුතිය අත්සන් කිරීම 1988 මැයි 10 වැනිදා සිදුවූ අතර මැයි 29 වැනිදාට පෙර සියලුම ගිනි අවි පන්සල්වලට බාරදෙන ලෙස රජය ඉල්ලා සිටියේය.
සම්මුතිය අත්සන් කිරීමෙන් පසු ජවිපෙට පනවා තිබූ තහනම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ඉවත් කරනු ලැබීය. තුවක්කු සහ පිස්තෝල භාවිත කිරීම පිළිබඳ වරින්වර රජය මගින් ගිනි අවි පනත් නිකුත් කරනු ලැබේ. දෙදාහේ වසරේදී ගිනි අවි ආඥාපනත මගින් තුවක්කු භාවිතා කිරීම සඳහා අවසර දී ඇති අවස්ථා පනත් එළිදක්වනු ලැබීය. එහි සඳහන් කරුණු අනුව කෘෂි භෝග ආරක්‍ෂා කිරීම, ආත්මාරක්‍ෂාව සහ දේපළ ආරක්‍ෂා කිරීම, ක්‍රීඩා කටයුතු සඳහා පාවිච්චි කිරීම සහ පාර්ලිමේන්තු සභිකයන් සඳහා යනුවෙන් ඇතුළත් කර ඇත.