ආණ්ඩුකාරවරයාට එරෙහි සටන ඇරැඹෙයි


සිංහල සහෝදරයින් සමින් කළු පැහැති වුවත් ඔවුනට ඇත්තේ සුදු හදවත්ය. පිරිසිදු හදවත්ය. ලක්දිව සිටින යුරෝපීයයන් හමෙන් සුදු වුවත් හදවතින් කළුය. අපිරිසිදුය. ඒවා ලෝකාන්ත නරකයෙහි පවත්නා අන්ධකාරය තරම්ම කළුය. ඒ වූ කලී බ්‍රෙස්ගාඞ්ල් ගාළු මුවදොර දී කළ ප්‍රකාශයකි. ඒ අන්දමට හදවතින් පවිත්‍ර වූ ලිස්ටර් බ්‍රේස් ගර්ඞ්ල් සම සමාජ නායකයන් සමග එක්වී පීඩිත කම්කරුවන් වෙනුවෙන් සටන් කළේය.

 

බ්‍රේස් ගර්ඞ්ල් රටින් පිටුවහල් කිරීමට ආණ්ඩුකාරවරයා ගත් තීරණය නීති විරෝධී බව අග්‍රවිනිශ්චයකාරවරයා ප්‍රමුඛ රජ තුන් කට්ටුව තීරණය කළේය. එම තීරණය සම සමාජ හිතවාදීන්ට නව ජීවයක් ගෙන දීමට සමත් විය.


බ්‍රේස්ගර්ඞ්ල් නිදහස් කළ දිනයේ දීම පිලිප් ගුණවර්ධන රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇමැතීය. ලක්දිව මහජනතාවට එරෙහිව කටයුතු කළ නිසා එවක පොලිස්පති පී. එන්. බෑන්ක්ස් වහාම ධුරයෙන් පහ කළ යුතු බවට ඔහු යෝජනාවක් ගෙන ආයේය. 


ඉන් නොනැවතී විපක්ෂය මර්දනය කරන ආණ්ඩුකාරවරයාට එරෙහිව ‘සටන’ ආරම්භ කළහ. එංගලන්තයේ රජ මගුල්දා එනම් මැයි 07දා ආණ්ඩුකාරවරයා රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇමතීමට නියමිතව තිබුණි. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළත්වීම ප්‍රමාද කිරීමට පිලිප් ගුණවර්ධන, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු පිරිසට අවශ්‍ය විය. 


ආණ්ඩුකාරවරයා රාජ්‍ය මන්ත්‍රණ සභාව අමතන හෙයින් ඇතැම් ඇමතිවරු යුධ නිල ඇඳුමෙන් පැමිණ සිටියහ. එහිදී ඇන්. ඇම්. රීති ප්‍රශ්නයක් මතු කළේය. බි්‍රතාන්‍යයේ පවා අවි ආයුධ මන්ත්‍රණ සභාවට රැගෙන පැමිණිය නොහැකි බවත් ආණ්ඩුකාවරයා පැමිණෙන අවස්ථාවේ එසේ ආයුධ රැගෙන ඒමට අවසර නැති බවද ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සඳහන් කළේය. 


ආණ්ඩුකාරවරයාගේ දේශනය පෙරවරු 9.55ට පැවැත්වීමට නියමිතව තිබුණි. ඇන්. ඇම්.ගේ රීති ප්‍රශ්නය සාකච්ඡා කිරීමෙන් පසු දකුණු කොළඹ මන්ත්‍රී ඒ. පී. ද සොයිසා යෝජනා එකොළහක් කියවා කල් දුන්නේය. ඉනික්බිතිව නැගී සිටියේ පිලිප් ගුණවර්ධනයන්ය. ඔහුද යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යෝජනා 25ක් ගෙනා බව කීවේය.

ආණ්ඩුකාරවරයා ආලින්දයේය. ඇන්. ඇම්. යෝජනා හතරක් ගෙන එනවිට පොන්නම්බලම් නැගී සිටියේය. සභාවේ වැඩ අවසන් කිරීමට ඔහු යෝජනා කළේය. එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. මෙතෙක් වේලා තම දේශනය පැවැත්වීමට බලා සිටි ආණ්ඩුකාරවරයා ඉන්පසු සභා ගැබට පැමිණියේය. එවිට සම සමාජ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගියහ. ආණ්ඩුකාරවරයාගේ කතාව අවසන් වීමෙන් පසු යළිත් ඔවුහු සභා ගැබට පැමිණියහ. සභාවාරය කල් තැබීමේ යෝජනාව සම්මතවීමෙන් පසු යළි ආණ්ඩුකාරවරයා රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇමතීම එහි ගෞරවයට පයින් ගැසීමක් යැයි සම සමාජ නායකයෝ ප්‍රකාශ කළහ. 


එදින හය වන ජෝර්ජ් රජතුමාට  රාජ්‍ය පාක්ෂිකභාවය පළ කරන යෝජනාවක් ඩී. එස්. සේනානායක රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන ආයේය. එවිට ඇන්. ඇම්. පෙරේරා දක්වා සිටියේ ලංකාවාසීන්ගේ මානව අයිතිවාසිකම්වලට පයින් ගසා ඇති මොහොතක රාජපාක්ෂිකවීම ජනතා ද්‍රෝහී ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් රාජපාක්ෂිකභාවය පළ කරන යෝජනාව සම්මත විය. 


සභාවේ රීති උපයෝගී කර ගැනීම මගින් ආණ්ඩුවේ අත්තනෝමතිකභාවය පාලනය කර ගැනීමට හැකිවිය. මෙය ආණ්ඩුවට හිසරදයක් විය. එනිසා මුදල් ලේකම්වරයා කියා සිටියේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය පාලනය කිරීමට එරෙහිව සභාවේ රීති යොදා ගැනීමට ඉඩ නොදිය යුතු බවයි. එවිට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති සුසන්තාද ෆොන්සේකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තීරණයකට පයින් ගසා තිබේ. එබැවින් මන්ත්‍රණ සභාවේ ගෞරවය රැක ගැනීමට යොදන සියලු විධිවිධානවලට ආධාරදීම තමාගේ යුතුකම බව කීවේය. 


මේ සටනේ උණුසුම එංගලන්තයටද දැනුනි. ඒ අනුව 1896 දී පනවන ලද ලක්දිව වැසියකු පැය විසිහතරක්  තුළ දී පිටුවහල් කර දැමීමට ආණ්ඩුකාරතැනට බලයදී වික්ටෝරියා රැජින විසින් පැනවූ නියෝගය 1937 ජූනි 29 වැනි දින අහෝසි කරන බවට ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. එය බ්‍රේස් ගර්ඞ්ල් සටනේ  උච්චතම අවස්ථාව වේ. එසේම එය මෙරට මානව අයිතිවාසිකම්  පරිච්ඡේදයේ පළමු ඡේදයයි. 


මේ සිදුවීම නිසාම ආණ්ඩුකාරතැන  විශ්‍රාම ගෙන සිය රට බලා පිටත්ව ගියේය. අභිනව ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ කොල්ඩිකොට් ‘බ්‍රේස් ගර්ඞ්ල් කොමිසම’ පත් කරමින් මෙහි සුලමුල සොයන්නට විය. ඊට විරෝධය පෑ ඇමැතිවරු තම තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
මේ අතර බ්‍රේස් ගර්ඞ්ල් සිදුවීම ස්වදේශ කටයුතු ඇමැතිවරයාට තමා දැන්වූ බව පොලිස් ස්ථානාධිපතිවරයා කළ ප්‍රකාශය නිසා ස්වදේශ කටයුතු ඇමැති ශ්‍රීමත් බාරොන් ජයතිලක හා පොලිස්පති බෑන්ක්ස් අතර සීතල  යුද්ධයක් ඇතිවිය. 


මෙම සිදුවීම් මාලාව හරහා මෙරට මානව අයිතිවාසිකම් පිළිබඳව යම් කතිකාවක් ගොඩනැගෙන්නට විය. ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සිටියේ ආණ්ඩුකාවරයාට පවරා ඇති බලතල හිතුමතයේ පාවිච්චි කළ නොහැකි බවය. ඒ 1937 තරම් ඈත යුගයේදීය. 


කෙසේ වෙතත් අවසානයේ මේ සියල්ලටම මුල පෑදු ලිස්ටර් බ්‍රේස් ගර්ඞ්ල් 1937 ඔක්තෝබර් 31 වැනි ඉරිදා ‘ඇන්ඩෙලැබොන්’ නෞකාවෙන් එංගලන්තය බලා පිටත්ව ගියේය.


නීතිඥ රුවන් හරිස්චන්ද්‍ර